Image
අම්මා සඳකි ගීතයේ පද රචනය මාලනී ජයරත්න වන අතර සංගීතවත් කරන ලද්දේ රෝහණ වීරසිංහයන් විසින්.ලංකාවේ බිහිවු විශිෂ්ඨ ගායන  ශිල්පියෙකු වන ටී.එම්. ජයරත්න මහතා මෙම ගායනා කරනවා.අම්මා සඳකි ගීතය පියෙකුගේ සිතෙහි නැගෙන සංකල්පනාවක් ඉදිරිපත් කරනවා.
       අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
       ඒ ඉර හඳින් නුඹෙ ලෝකය එළිය වුණි
       රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
       පිය සෙනෙහසට කව් ගී ලිය වුණාමදී
මෙම පද පෙළෙන් පැහැදිලි කෙරෙන ආකාරයට අම්මා යනු සඳක් මුළු ලොවටම එළිය බෙදාලන.අප සියලු දෙනාගේම අඳුරු ලෝකයට ආලෝකයක් ලබා දෙන්නේ ඒ පුන්සඳයි මේ පසු පසින් සිට එළිය දෙන්නේ හිරුයි.ලෝකයට හිරුගේ ආලෝකය වගේම සඳුගේ ආලෝකයත් අවශ්‍යයි.ඒ ලෙසටම අපගේ ජීවිතවලට හිරු සඳු ලෙසින්, මව සහ පියා ආලෝකය ලබා දෙනවා.අපගේ ජීවිත ආලෝකමත් වන්නේ ඒ දෙදෙනා ලබා දෙන ආලෝකයෙන්.දරුවන් උස්මහත් කරන්න,දරුවන් පෝෂණය කරන්න,දරුවන්ට ශිල්ප සතර ලබා දෙන්න පියවරුන් විඳින දුක් අපමණයි.තමාගේ දරුවන් වෙනුවෙන් ඕනම දුකක්,කරදරයක් විඳ දරා ගන්නවා.නමුත් ඔවුන් එම වේදනාවලින් අංශු මාත්‍රයක් ලෝකයට පෙන්වන්නේ නැහැ.මේ නිසා පියාගේ සැගවුණු ආදරය පිළිබඳව ලෝකය කතා කරන්නේ අඩුවෙන්. ඒ නිසාම පිය සෙනෙහසට කව් ගී ලිය වෙන්නේ අඩුවෙන්.
         සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
         කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුණේ
         මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
         පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුණේ
Image
පියාගේ රුධිරය තමා අපගේ මුළු සිරුර පුරා දුවන්නේ.පියා දුක් මහන්සි වී අපරිමිත සෙනෙහේ සමඟින් දරුවන් පෝෂණය කරනවා.එම වේදනාවන් මවක් දරුවෙකු කුසේ තබාගෙන සිටිනවා හා සමාන දුකක් වෙනවා.පියෙකු තමගේ දරුවා ජීවිත කාලය පුරා තමාගේ හිසේ තියාගෙන හදනවා.පියෙකු වෙත තමා පවුලේ සියලුම බර පැටවෙන්නේ.පියාට දිවියේ සියලු බර උසුලන්නට වෙනවා.දරු සෙනෙහස නොපෙන්වා, ඒ සෙනෙහේ සඟවා දරුවන් වෙත ආදරය පෙන්වන්නට පියවරුන් බොහෝ විට උත්සහ කරනවා මෙතරම් සෙනෙහස දක්වන පියෙකුගේ ලේ කිරි නොවීම ඇත්තටම පුදුමයක්.
          මවකට මුවාවී නුඹ වෙත දිවිදුන්නේ
          මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
          පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
          අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ
පවුලක දරුවන් බොහෝ වෙලාවට වැඩි බැඳීමක් ඇත්තේ අම්මා සමඟයි.දරුවන්ට අවශ්‍ය දෙයක් වුවත් ඉල්ලන්නේ අම්මාගෙන්.දස මාසයක් කුසේ දරාගෙන දරුවෙකු මෙලොවට බිහිකරාට පසුව, ඔවුන් උස් මහත්වන තුරු,ලෝකය දිනන තුරු සියලු දෙවල් ලබාදෙන්නේ පියවරුන්.ඒ වෙනුවෙන් ඔවුන් නොවිදිනා දුක් විඳිනවා.මේවා දරුවන්ට හැගෙන්නවත් පියවරුන් ඉඩදෙන්නේ නැහැ.දරුවන්ට සෑම විටම පියවරුන් ආදරය පෙන්වන්නෙ නැහැ.නමුත් ඔවුන්ගේ සිත තුළ අපරිමිතවු සෙනෙහසක්,ආදරයක් ගැබ්වී තිබෙනවා.මේ දක්වන සෙනෙහස බොහෝවිට දරුවන්ට හදුනගන්නට නොහැකි වෙනවා.ඒ නිසා ගොඩක් දරුවන් පියවරුන්ගෙන් ඈත් වෙනවා.මේ ලෝකයේ ගොඩක් දරුවන් බුදු බව පතන්නේ අම්මාට,නමුත් පියාට බුදු වෙන්න බැරිද.මවගේ සෙනෙහේ තරම්ම අසීමාන්තිකවූ සෙනෙහසක් පියාගේ පපුව ඇතුලෙ තියනවා.පියෙකුගේ පපුව ඇතුලේ කැකෑරෙන සෙනෙහස පිළිබඳව දියණියක විසින් ලියූ අර්ථවත්,අපුර්ව ගීතයක් අම්මා සඳකි ගීතය.අපගේ ජීවිතවලට සඳ කෙතරම් වැදගත්ද හිරුත් ඒ තරම් වැදගත් වෙනවා.අම්මා කෙතරම්ද අපේ ජීවිතයට අවශ්‍ය,පියාද අපේ ජීවිතවලට අවශ්‍යයි.මේ ලෝකයේ වටිනාම වස්තු දෙක ලෙස සලකා ඔවුන් රැකබලා ගතයුතුයි.
රුවන් පුෂ්පකුමාර 
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය 
කැලණිය විශ්වවිද්‍යාලය.