Image
ආආඅ,අනේ අම්මේඒඒ ආආආආආආආආආ.
ඔහැ ඔහැ ඔහැ ඔහැ
හ්ඥ් ඔහැඥ්...
ඔන්න අම්මට ලස්සන දුවෙක්.නර්ස් නෝනා දරුවා දික් කරනවා.මං අහක බලාගත්තා.
තනේ කිරි නෑ මිස්, මට කිරි එරෙන්නෑ.
ඔය බෙඩ් ජැකට් එකත් තෙමිලනේ කිරි වලට, පිස්සු නැතුව මේ ළමයට කිරි ටික පොවන්න අම්මා.
කාගෙද මේ මූණ.? මට මතක නෑ.
මං දරුවට කිරි දුන්නා. හිතින් නෙවේ තනෙන්.
අම්මා දරුවගේ උප්පැන්න ලියන්නෝනි. හෙට තාත්තට එන්න කියන්න දරුවගේ නමත් අරගෙන.
තාත්තා,
ඒ මොකාද.?
පුතේ පුතේ
මං අඳුරන්නෑ.
මං අර එහා ඇඳේ බබා හම්බුණු දැරිවිගේ අම්මා.
…………………………………….
මං පොළොස් මාළුවක් හදාගෙන ආවා.ඔය ළමයටත් එක්ක බත් එකක් ගෙනාවා.
…………………………….
සීදේවි කෙලි පොඩ්ඩ.
…………………………….
ඔය දරුවා බත් එක කන්ට..
දරුවගේ තාත්තා ආවද අම්මේ,දරුවා ලියාපදිංචි කරන්නෝනේ.?
…………………………..
අම්මේ,
දරුවට තාත්තෙක් නෑ..
නර්ස් නෝනා මගේ ඔළුව අතගානවා.ගෙදරින් කවුද ආවේ
කවුරුත් නෑ මිස්.
අම්මා එහෙම.?
අම්මා මැරුණා.
තාත්තා.?
මැරුණා.
හ්ම්ම්ම්ම්ම්.
මේ දරුවට මොකද්ද කරන්නේ අම්මේ.?
මං දන්නෑ මිස්.
කවුද මේ අපරාදේ කලේ.?
………………………………..
මට කිරි එරෙන්නෑ මිස්.
හ්ම්ම්.
………………………………..
හනේ ලොකු අක්කේ.
මෙච්චර කල් කොහෙද උන්නේ.?
ඇයි මං කතා කරේ චූටියෝ,සල්ලිත් එව්වේ?
කතා කරා නං තමා, ඒත් මාස හය හතක් තිස්සේ අම්මා වගේ ඉන්න ඔයත් පේන්න නැති උනාම.
කෝ මල්ලිලා?
ආං ලොකු අයියා නං දොළට ගියා. පොඩි අයියට හවස පන්ති කිව්වා ඉස්කෝලේ.
චූටි අක්කා පොළට ගියා. ලොකු අක්කා ගිය මාසේ එවපු සල්ලි තව චුට්ටයි තියෙන්නේ කිය කිය ගියේ.
පොඩි අක්කා ආවේ නෑ? මං ඇහුවේ පුංචි එකී ළඟට ගන්න ගමන්.
සතියකට උඩහ ආවා. වැඩ වැඩියි කියලා මේ සතියේ එන්න වෙන්නැති වෙයි කීවා. අක්කා ආවොත් කැම්පස් එකට එන්න කියන්න කීවා.
හ්ම්ම් යංකෝ ගෙට. තේ ටිකක් බොන්න හරි තිබහයි.
ලොකු අක්කා මහත් වෙලා,කළුත් වෙලා.
රෑටත් වැඩනේ සිඟිතියෝ.
මේ මොකො ඇඳ රෙදි වලින් වහලා.
දැං දවස් ගාණක් තිස්සේ චූටි අක්කා ඕක අස්සේ මාව දාලා. එළියට එන්නෙපාලු.ඕක අස්සේ ඉන්න බෑ ලොකු අක්කේ මං ඉතින් අක්කා ගියාම එළියට ගිහින් ටීක් ගැහුවා.
මොකක්,
ලොකු අයියට කියලා ගියේ නැද්ද ඉන්න කියලා.
කිව්වා.
එහෙනං?
ලොකු අයියා කැත්‍ත මා ළඟ තියලා. මට තෑගි ගේන්න සල්ලි අරන් එන්නම් කියලා ගියා.
සීවරං දෙයියනේ…!
හා දැං මං ඉන්නවනේ.ඇතුළට වෙලා ඉන්න. එන්නෙපා.
මං එහෙමම පුටුවකින් වාඩි වුණා.තව බරක්. හ්ම්ම්ම්
ලොකු අක්කේ,
අනේ කොයි වෙලේද ලොකු අක්කේ ආවේ.
එළවළු මල්ල බිම.
අනේ සිඟිති ගෙට වෙලා. මං පොඩි අක්කා දීපූ නොම්මරේට කතා කරලා පණිවිඩේ කිව්වා. හෙට ම එනවාය කිව්වා.
ඇයි පොඩි නංගි මට දැන්නුවේ නැත්තේ.
ඇයි ලොකු අක්කමනේ කිව්වේ. පහුං මාසේ කතා කරාම මේ මාසේ දෙකේ අක්කව වෙන තැනකට මාරු කරනවය. ඒ දිහාට ටෙලිෆෝන් නැතය. මං ගෙදර එනකං කතා කරන්න එපාය කියලා. හෙට පොඩි අක්කා ආවට පස්සේ අක්කා එවාපු සල්ලි වලින් කළමණා අරන් කටයුත්ත කරන්නයි හිතන් උන්නේ.
මේ ටිකේ ඉස්කෝලේ එතකොට,
කොහේ යන්නද ලොකු අක්කේ.මං මල්ලිලා දෙන්නව නං ඉස්කෝලේ ඇරියා.
………………………………..
ලොකු අක්කේ වෙලාව හරී, කළේ නාවන්ට,
මගේ නංගිගේ දොස් මෙපිටින් නොයන් එපිටින්ම පලයන්.මපිටින් ම පලයන්.මපිටින් ම පල..ය..
………………………………..
ඔහේ අම්මා කෙනෙක් නේද දැං? කාගේ වරදින් ආවා උනත් දැං මේ දරුවා හින්දා තමුං අම්මා කෙනෙක්. ලැජ්ජා නැද්ද..
මං අම්මා කෙනෙක් වෙනකොට මට අවුරුදු 13 මිස්.එකෙකුට නෙවේ පස් දෙනෙකුට. බාල එකීට අවුරුද්දයි. මට තවත් නම් බෑ මිස්.
ඒත්,
බෝ හාමුදුරුවන්ට දුක කිය කිය එතන්ට ආපු මිනිස්සු මාව උරා බොනකොට මං මගේ එවුන්ට කිරි දීලා බඩගිනි නිව්වේ.
මගේම කරුමෙට මට දවස් අමතක වුනාට
තව එකෙක් හදන්න මට හයිය නෑ මිස්.මගේ තනේ කිරි වේලිලා.
………………………………..
ලොකු අක්කේ ඔය කළේ බිඳින්ට
දබහ්
යමු නංගියේ ගෙට.
ඔයා මගේ අම්මා නේද ලොකු අක්කේ.?
……………………………….
මිස් මේ දරුවව කාටහරි දෙන්ට.!
නිමි.
යළිඳු කුංචන ජයවීර
සංවර්ධන අධ්‍යයනය (ගෞරව)
භූගෝලවිද්‍යා අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය