Image
දුකේදි හැඬුමට සැපේදී... ගීතය රචනා කරන ලද්දේ ශීලා ගම්වර හා සංගීතවත් කරන ලද්දේ සරත් දසනායක විසින් ය.ගීතය ගායනා කරන්නේ ටී.එම්. ජයරත්න ගායන ශිල්පියාය. තමා සමඟ අතිනතගත් සුන්දර භාර්යාව පිළිබඳව එක්තරා සැමියකුගේ සිතේ හටගත් සංකල්පයන් මේ ගීතය තුළින් ඉදිරිපත් කෙරේ.
         දුකේදි හැඬුමට සැපේදී 
         සිනාසෙන්නට ළඟ හිඳන්
         තවත් අම්මා කෙනෙක් ඇත්නම්
         නුඹයි ඒ අම්මා,සොඳුරිය නුඹයි ඒ අම්මා 
 
අපගේ ජීවිතවල විවිධ අවස්ථාවලදී බිඳවැටීම්,නැගිටීම් සිදුවේ.සතුට වගේම, දුක් මුසු අවස්ථාවලට ද මුහුණ දෙන්න වේ. ඒ හැම අවස්ථාවකම ළඟ හිඳන් සිනාසෙන්නත්,හඬන්නෙත් අපේ අම්මා ය.මේ ලෝකේ අම්මාට සම කරන්න  කිසිම කෙනෙක් නොමැත. අම්මා දැක්වු ආදරයට සමාන ආදරයක් දක්වන්න පුළුවන් කෙනෙකි ආදරණීය බිරිඳ. පුතෙකුට තවත් අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ ඔහුගේ බිරිඳට පමණයි.සොඳුරිය වෙන කවුරුත් නෙවෙයි ඔබයි කියලා මේ පද පෙළේ බිරිඳ හදුන්වන්නේ එබැවිනි.
 
     අහස මෙන් ලත් චෝදනා 
     පොළොව මෙන් දුක් උහුලනා 
     මෑණියන්ගේ සෙනෙහසින් මුල්වරට ඉපැදීලා      
    සොඳුරියේ නුඹේ සෙනෙහසින් ඉමි ලොවේ රජවීලා..
Image
අම්මා කෙනෙක් තරම්,ලෝකයේ චෝදනා ලබන කෙනෙකු නොමැත.පුතෙකු අහිංසක කෙනෙක් වුණ විටත්,අංගුලිමාල කෙනෙක් වූ විටත් ප්‍රශංසා වගේම චෝදනා ලබන්නේද මවයි. මේ ලෝකේ අම්මා කෙනෙක් අහස තරමටම චෝදනා ලැබුවත් ඇය මේ නිසසල මහපොළව මෙන් නොසෙල්වී,දුක් උහුලයි. මේ ලෝකයේ පිරිමියෙකුට දැරීමට තියා සිතීමටවත් අපහසු, දරුවෙකුට බිහි කිරීම කෙතරම් වේදනාකාරී ද? අම්මා කෙනෙක් දරුවන්ට සෙනෙහස,ආදරය නොඅඩුව ලබා දේ. පුතෙකු පසු කාලීන විවාහපත් වී තමන්ගේම කියලා පුංචි පවුලක් හදාගෙන එහි රජවෙනුවේ අම්මා තරම් ආදරය ලබාදෙන සොඳුරිය සමඟයි.තමාගේ පුතෙක් යම් සාර්ථකත්වයකට පත් වෙනවා දැක සතුටු වන මවක සේම තම ස්වාමියා සාර්ථවනවා දැක සතුටු වෙන්න බිරිඳකටත් පුළුවන්.ස්වාමියෙක් රජ කරවීමටත්,ස්වාමියා හිඟන්නෙක් කිරීමටත් හැකියාව ඇත්තේ බිරිඳකටයි.ස්වාම් පුරුෂයෙක්ගේ සාර්ථකත්වයේ හෝ අසාර්ථකත්වයේ පිටුපස ඇත්තේ ඔහුගේ බිරිඳයි.ඒ පිළිබඳව මේ පැදි පෙළෙන් මොනවට පැහැදිලි වෙනවා.
 
     සිතට සැනසුම් කල්පනා 
     ගෙනෙන බාධා වාසනා
     තනා ටජ්මාලයක් පිවිතුරු සෙනෙහේ ගංතීරේ
     සොඳුරියේ නුඹෙ රුවා මවා ගමි මහද මන්දීරේ.
 
බිරිඳ යනු පුතෙකුගේ ජීවිතයේ තවත් මවකි.ඇය ඔවුගේ ජීවිතයේ සාර්ථකත්වයට මග පෙන්වන්නියක්.යහපත්වු බිරිඳක් ලබනවා කියන්නේ ස්වාමි පුරුෂයෙක් නිසැකයෙන්ම සාර්ථකත්වයට පත්වෙනවා.බිරිඳක් කියන්නේ ස්වාමියෙක්ගේ සිතට සතුට,සොම්නස ලබාදෙන කෙනෙක්.ස්වාමියාගේ සාර්ථකත්වය දැක හදවතින්ම සතුටුවන කෙනෙක්.ජීවිතය කියන්නේ දුක් කම්කටොලු මැදින් ගලන නදියක්,එම නදිය ගලා බසින ගංතීරේ ආදරය නැමැති ටජ්මාලය ඉදිකර,එහි මන්දීරයක බිරිඳගේ රූපය මවාගෙන ජීවත්වෙන්නම් කියන ප්‍රාර්ථනයයි සැමියාගේ ප්‍රාර්ථනාව.
 
වසර ගණනක් ආදරය කරලා විවාහ වෙලා,දික්කසාදයකින් කෙලවරවන ආදර කතා දක්නට ලැබෙන සමාජයක,බිරිඳ ගැන සැමියකුගේ හද පතුලේ උපන් සෙනෙහේ බර හැඟුමන් මේ ගීතයේ පද පෙළේ තිබෙනවා.
 
 
රුවන් පුෂ්පකුමාර 
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය 
කැලණිය විශ්වවිද්‍යාලය