දේශිය ශාන්තිකර්ම කෙරෙහි බලපෑ සවප්න ඵල ශාස්ත්‍රය.
- ගවේෂණ
- الزيارات: 595
ජනශ්රැතිය තුළ දැකගත හැකි තවත් ජනශ්රෑතිකාංගයක් වශයෙන් සවප්න ඵල ශාස්ත්‍රය පෙන්වා දිය හැකිය. "යම් කිසි සංස්කෘතික වටපිටාවක්මත පෝෂණය වෙමින් එය මුඛ පරම්පරාගතව පැමිණි අධිවිශ්වාසී සන්නිවේදන ක්‍රමයක් වශයෙන් සවප්න ඵල ශාස්ත්‍රය අර්ථ ගැන්විය හැකිය." පෙරදිග සහ අපරදිග මානව සමාජය තුළ මේ කෙරෙහි ඓතිහාසික වශයෙන් වටිනාකමක් ලබා දී ඇත. කිසියම් පුද්ගලයකුට මානසික වශයෙන් බලපෑම් කළ හැකි සාධකයක් ලෙස සිහින සැලකිය හැකිය. එම මානසික බලපෑම බොහෝදුරට කායික වශයෙන් පීඩාකාරී තත්ත්වයක් ඇති කිරීමට වැඩි ඉඩකඩක් තිබේ. නමුත් යම් අවස්ථාවක කෙනෙකුගේ සුභ, අසුභ වශයෙන්ද අනාගතය පිළිබඳව ඉඟි පළ කිරීමක් ද සිහින පෙනීම තුල ගම්‍යමාන වේ.
සවප්න ඵල ශාස්ත්‍රයට අනුව සිහින අට ආකාරයකින් පෙනීම සිදු වේ.
1.දෘෂ්ට සවප්න
2.ශ්‍රැත සවප්න
3.අනුභුත සවප්න
4.ප්රාර්ථත සවප්න
5.පරිකල්පිත සවප්න
6.භාවිත සවප්න
7.දෝෂජ සවප්න
8.අපේක්ෂිත සවප්න වශයෙන් ය.
මීට අමතරව ග්‍රග අරිෂ්ට නිසාද සවප්න පෙනීම ද සිදු වේ. මේ ආකාරයෙන් පෙනෙන සිහින පලදෙන කාල වකවානු වශයෙන් යාම තුනක් ඇත.
ප්‍රථම යාමය
මධ්‍යම යාමය
ප්රශ්චිත යාමය වශයෙන්ය.
එම යාම අනුව සිහිනය ඵල දෙන කාල වකවානුව තීරණය වේ.මෙහි සත්‍ය අසත්‍ය බව විමසීම විමසීමේ දී බෞද්ධ ආගමික මූලාශ්රයන් ද ඉතිහාසය තුළ දක්නට ලැබේ.
නිදසුන් වශයෙන්,
වෙස්සන්තර ජාතක කතාවෙහි මද්‍රි දේවිය දුටු සිහිනය කවුරුත් වාගේ දන්නා දෙයකි. දරුවන් දන් දීමෙන් දුකට පත්වන පෙරනිමිති එහි දුටු බව සඳහන් වේ.
මහමායා දේවිය දුටු සිහිනය සහ බමුණන් විසින් පළ කරන ලද සිහිනයේ ඵලාපල.
කොසොල් රජතුමා විසින් දුටු සිහින දහසයත්,එම එක් එක් සිහින පිළිබඳව බුදුන් වහන්සේ විසින් පැහැදිලි කිරීමත් යන්නා වූ කරුණු තුළින් සවප්න ඵලාපල කෙරෙහි එකල සිට විශේෂ ස්ථානයක් හිමි වී තිබේ. වර්තමානයටද කොසොල් රජු විසින් දුටු සිහින 16 වලංගු වේ. මේ ආකාරයෙන් ගොඩනැඟී විකාශනය වූ සවප්න ඵල ශාස්ත්‍රය දේශීය ශාන්තිකර්ම පද්ධතියටත්, එහි පුද ලබන දෙවි දේවතාවන් හා සම්බන්ධ කතා පුවත් සහ යක්ෂ, ග්‍රහ බලපෑම් වලට හේතු සාධකයක් වශයෙන් සවප්න ඵල ශාස්ත්‍රය සෘජුව මෙන්ම වක්‍රව බලපෑමක් තිබෙන බව අධ්‍යයනය කළ හැකිය.
ප්‍රථමයෙන් ශාන්ති කර්මයක් වශයෙන් සරලව පැහැදිලි කරගතහොත්, එය කායික සහ මානසික වශයෙන් මිනිසාගේ සුභ සිද්ධිය උදෙසා සිදුකරන අභිචාර මය ක්‍රියා පිළිවෙතක් ලෙස හැඳින්විය හැකිය. නමුත් වර්තමානය තුළ සශ්‍රීකත්වය සෞභාග්‍යය අරමුණු කොටගෙන සිදුකරයි. අතීතයේදී ශාන්තිකර්ම බොහෝමයක් ඒකපාර්ශ්වික අරමුණක් මත ගොඩනැඟුණු බවක් ඒ හා සම්බන්ධ පුරාවෘත්ත කතා මගින් පැහැදිලි කරගත හැකිය.
මානසික වශයෙන් සිදුවන බිය වීමක්, තිගැස්සීමක්, සාංකාවක් හේතුකොටගෙන ඇතිවන රෝගී තත්වයන් සමනය කිරීමටත් ,මානසික උත්තේජනයක් ලබා දීමටත් ශාන්ති කර්ම සිදු කරයි. මෙසේ සිදු කර ඇති ශාන්තිකර්ම අතර ප්‍රබල ස්ථානයක් කොහොඹාකංකාරි ශාන්තිකර්මට හිමි වී ඇත. එම කතා පුවත මගින් පැහැදිලි කරගත හැකිය.
"විජය රජුට කුවේණි කළ සාපය පල දුන්නේ පඬුවස්දෙව් රජතුමාටය. එම රජතුමා සිහිනයෙන් දිවියෙකු දැක ඌට බියවී සිහිසුන් විය. මෙසේ රෝගාතුර වූ රජුට වැළඳුණු රෝගය හඳුන්වන්නේ දිවි දෝශය වශයෙනි." මේ ආකාරයෙන් භයානක සිහිනයක් දුටු රජතුමාට නොයෙකුත් ආකාරයේ ප්‍රතිකර්ම කළ ද සුව වූයේ නැත. ඉන්පසු මලය දේශයෙන් මලය රජ තුන් කට්ටුව ලංකාවට ගෙන්වා හැටපස් මංගල්‍යයක් කළ බව රාජාවලියේ , මලය රාජ කතාවේ සඳහන් වේ. එම හැටපස් මංගල්ලය පසුකාලීනව කොහොඹා කංකාරිය වශයෙන් පැවත එන බව සඳහන් කළ යුතුය.
ඉහත කරුණු අනුව පැහැදිලි සවප්න ඵල ශාස්ත්‍රය තුලින් කරුණු ගොනු කිරීමක් පඬුවස්දෙව් කථා පුවතින් පැහැදිලි වේ.
මීට අමතරව ශාන්තිකර්ම තුළ පුද ලබන දෙවි කෙනෙකු වශයෙන් සැලකෙන පත්තිනි දෙවියන්ගේ උප්පත්තිය පිළිබඳව සඳහන් කතා පුවත් සමග ද සවප්නා ඵල ශාස්ත්‍රය අන්තර්ගත වී තිබෙන බව සඳහන් කළ යුතුය. ප්‍රධාන වශයෙන් සබරගමු පහතරට මඩු ශාන්ති කර්ම වලදී පුද ලබන සුවිශේෂී දෙවි කෙනෙකු ලෙස පත්තිනි දෙවියන් සැලකිය හැකිය.
පත්තිනි දෙවියන්ගේ උප්පත්තිය පිළිබදව ඉලංකෝ අඩිගල් නැමැති ජෛන සාධුවරයා විසින් ලියන ලද සිලප්පදිකාරම් ග්රන්ථයෙහි කර්මඵල දීම ද පුනරුප්පත්තිය ද කර්මානුරූපව දකින සවප්න ගැනද විස්තර කර තිබේ.
එම කතාවෙහි කන්නගී නම් රූමතිය ඇගේ සැමියා වූ කෝවලන් සමග මධුරා පුරයට ගොස් සිටියදී දුටු සිහිනයක් ගැන සඳහන් වෙයි. කෝවලන් විසින් දුටු සිහිනයක් මාඩලන් නම් බ්රාහ්මණයෙකුට පවසන ලද්දේ මෙසේ ය.
"අලූයම මම නපුරු සිහිනයක් දුටිමී. කන්නගී මහත් විපතකට වැටී සිටින බව ද මා ඇඳ සිටි ඇඳුම් සියල්ල යම් කිසිවෙක් උදුරා ගත් බව ද දික් අං ඇති මීමෙකු පිට නැගී සිටින බවද දිටිමි. ඉන්පසු කන්නගී සමග දෙව්ලොව යනු මෙන් ද දිටිමි. මෙය අළුයම් කාලයෙහි දුටු බැවින් ඉක්මනින් ප්‍රතිඵල ලැබේ යැයි ද සිතිමි." මේ අනුව ප්‍රතිඵල ලද බව ද එහි සඳහන් වේ.
එම කථාවෙහි පඬි රජුගේ බිසව දුටු සිහිනය ගැන ද සඳහන් වේ.එය මෙසේය
"රජුගේ සේසත හා සෙංකෝලය තිබූ තැන් වලින් ගිලිහී බිම ඇද වැටිණි. අහසේ පායා තිබූ තරු බිමට පහත් විය. සතර දිසාව කම්පාවිය. වාසල දොර කඩ එල්ලා තිබූ ඝාණ්ටාරය සැලණ." සිහිනය එයයි.
මෙහිදී නිර්දෝෂී කෝවලන් හොරෙකු යැයි සිතා වධයට පත් කර මැරීමෙන් පසු ඒ ගැන ශෝකයට පත් කන්නගී රජු වෙතට ගොස් නිර්දෝෂීභාවය කියමින් එය ඔප්පු කිරීමට සමත් වූවාය. එම සළඹ රැගෙන මෙය මගේ ය මෙහි ඇති මැණික් රැස බලවයි කියා පොළොවේ ගැසීමෙන් මැණික් ගල් විසිරී ගියේය. එවිටම සිහිනයේ දුටු ලෙස සේසත බිම වැටීම ද සෙංකෝලය බිමට පෙරලීම ද සිදුවිය. පඬි රජු සිහිය නැති වී බිම ඇද වැටී මිය ගියේය. කන්නගීය දුටු සිහිනය ද මෙසේ ය.කෝවලන් නගරයකට ගොස් රැවටිල්ලට අසුවී වරද කාරයකු බවට පත්විය. එයින් ඔහුට මහත් විනාශයක් වන නිසා කන්නගිය ස්වාමියා බේරා දෙන්නට රජුට කී නමුත් එය නො පිළිගත්තේ ය. ඒ නිසා ඇය රජුටත් රටටත් ගිනිතබා විනාශ කළේය. ගිනිගෙන දැවෙන රටක් හා ගිනි ගොඩක් දුටුවාය.
මෙලෙසින් එම කථාවෙහි තුන්දෙනෙකු දුටු සවප්න ගැන සඳහන් වේ. සවප්න ඵල ශාස්ත්‍රය පත්තිනි දෙවියන්ගේ උප්පත්ති කතාව තුළින් ද මනාව අවබෝධ කරගත හැකි වේ.
එපමණක්ද නොව කෙනෙකුගේ ග්‍රහ පිහිටීමේ බලපෑම අනුව ද සිහින පෙනීම සිදු වේ. එහිදී එම පෙනෙන සිහිනයන් අනුව මානසික වශයෙන් පීඩනයකට පත් වීමටද ඉඩකඩ ඇත.
"ලග්නාංශ ගෙකෙර් තනුගෙපිවාස්මින්
දුඃ සවප්න මිකෙෂත යථාකර් බිම්බම්
රක්තාම්බරං වහ්නි මථාපි චනෙද්ර
ශුභාශව රත්නාම්බර පුෂ්ප වජ්‍රම්"
ග්‍රහ බලපෑම නිසා සිදුවන මානසික තත්ත්වය සමනය කිරීමට යම් යම් අභිචාරමය කාර්යයන් සිදුකරයි. ඒ අතර ප්‍රධාන තැනක් බලි ශාන්ති කර්මයට හිමිවේ. සම්ප්‍රදායන් ත්‍රිත්වය තුළම මෙම නව ග්‍රහයන් උදෙසා බලි ශාන්ති කර්මය සිදු කරයි. එහිදී සිහින ඵලාපල ද සෘජුව සහ වක්‍ර සාධක ලෙස බලපා තිබෙන බව පැහැදිලි වේ.
යම් කෙනෙකුට යහපතක් උදෙසා සිදුකරන සිදුකරන ශාන්තිකර්ම මගින් මානසික නිරවුල් බව ඇති කළ හැකිය. නමුත් යකුන් ප්‍රේතයන් මූලික කොටගෙන කෙනකුට අවඩක් වන ලෙස ද යාගහෝම සිදුකරයි. එහෙනම් අනවින, කොඩිවින, හදි හූනියම් වශයෙන් සැලකිය හැකිය. මේ නිසා ද කෙනෙකුට භයානක සිහින පෙනීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. නමුත් සවප්න ඵල ශාස්ත්‍රය තුළ ඊට නියමිත ක්‍රියාපිළිවෙත් ඇත. එය බෞද්ධ ආගමික ක්‍රියාපිළිවෙත් මෙන්ම අභිචාරමය ක්‍රියාපිළිවෙත් ලෙස පෙන්වා දිය හැකිය.
ඉහත කරුණු අනුව පැහැදිලි වශයෙන්ම දේශීය ශාන්තිකර්ම සහ ඒ හා බැඳී අභිචාර ක්‍රියාවන් සඳහා සවප්න ඵල ශාස්ත්‍රය මගින් එක්තරා ආකාරයක පිටුවහලක් ලැබී ඇති බව නිගමනය කළ හැකිය.
කේ.ඒ.ජී.සී බණ්ඩාර
සිව්වන වසර
ලලිතකලා අධයන අංශය
මානවශාස්ත්ර පීඨය