Image

“දෝණි ඔයා වගේ අනික් හැමෝම මං එක්ක කතා කරන්නෙ නෑ.. උදේට මාව දැක්කම මගෙ මූණ දිහාවත් නොබලා අහක බලන් යන්නෙ ගොඩක් අය.. අනික් එක උදේට මාව උදෙන්ම දැක්කොත් දවසම මූසලයි, යන ගමනක්වත් සාර්ථක වෙන් නෑ කියලා සමහර අය කියනවා මට ඇහිලා තියනවා..”

එක් දිනක උදෑසන නිවසේ සිට විශ්වවිද්‍යාලය බලා යන අතරමඟදී හමු වූ කරුණාවතී නැන්දා සමඟ කතාබහේදී ඈ මා සමඟ පැවසූ වදන් පෙළකි මේ. කරුණාවතී නැන්දාට දැන් වයස අවුරුදු 60ක් පමණ වේ. ඇය තම දියණිය, දියණියගේ ස්වාමි පුරුෂයා සහ ඔවුන් දෙපළගේ දියණිය සමඟ නිවසේ වාසය කරයි. කරුණාවතී නැන්දාගේ ස්වාමි පුරුෂයා මියගොස් මේ වන විට වසර 20කටත් වැඩි කාලයක් ගත වී ඇති බව දිනක් ඇය පවසනු මා හට ඇසී තිබේ. ඇය වැන්දඹු ගැහැණියක් බවට සමාජය විසින් ඇයව පත් කළේ ද මීට වසර 20කට පෙර ය.

කරුණාවතී නැන්දාගේ ස්වාමියා මිය ගිය දා සිට ඇයව උදෑසන මුහුණට මුණගැසීම අසුභ ලකුණක් බවට ගම්වාසීන් සැලකූහ. සුභ කටයුත්තක් සඳහා පිටත්ව යාමට සූදානම් වන අවස්ථාවක ඇය ඉදිරියට එනු දුටුවහොත් ගමන ප්‍රමාද කිරීමට ඔවුන් කටයුතු කළහ. එපමණක්ද නොව, කිරි අම්මාවරුන්ගේ දානයක් පැවැත්වෙන විට කරුණාවතී නැන්දාට ඒ සඳහා ආරාධනා නොකිරීමට ද ගම්වාසීන් වග බලා ගත්හ. ඒ ඇය සිදු කළ කිසිදු වරදක් නිසා නොව, කරුණාවතී නැන්දාව මූසල ගැහැණියක් ලෙස සමාජය විසින් හංවඩු ගැසුවේ ඇයගේ ස්වාමියා මිය ගිය නිසාවෙනි.

Image

මීට වසරකට පමණ පෙර එක් දිනක මා මිතුරිය සමඟ පරිඝනක පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වීමට යාම සඳහා නිවසින් පිටත්ව යාමට සූදානම් විය. එම අවස්ථාවේ ඇයද අප නිවසට පැමිණ සිටි අතර, පිටත්ව යාමට සූදානම් වන විට ඇය පැවසුවේ “ටිකක් ඉන්න. එළියට යන්න එපා..” ලෙසයි. ඒ මක් නිසාදැයි විමසූ විට “කරුණාවතී නැන්දා පාරෙ එනවා පේන්නෙ නැද්ද... එයා යනකන් ඉදලා යමු.” ලෙස ඈ පැවසූ වදන් ඇසීමෙන් මගේ සිත තුළ හටගත්තේ කෝපයකි. නමුත් ඇය සමඟ වාද කිරීමට එය අවස්ථාවක් නොවන නිසා, ඒ මොහොතේ මා නිශ්ශබ්දව සිටීම පිළිබඳ වරදකාරී හැඟීමක් අදද මා සිතට දැනේ.

කෙසේ වෙතත්, ස්වාමියා මිය යාම නිසා වැන්දඹු ගැහැණියක් යැයි සමාජය විසින් හංවඩු ගැසූ ‘කරුණාවතී නැන්දලා’, ‘කරුණාවතී අක්කලා’ කොතෙකුත් සමාජයේ සිටින බවද මා දනී. තම ස්වාමි පුරුෂයා හා දරුවන් සමඟ සතුටින් ජීවිතය ගත කරන්නට බලාපොරොත්තුව ඇතිව සෑම කාන්තාවක්ම විවාහ දිවියට එළඹෙන බව අමුතුවෙන් කිව යුතු කාරණයක් නොවේ... එය ඔබ අප සැවොම දන්නා කාරණයකි. කරුණාවතී නැන්දාද එවැනිම කාන්තාවක් වේ.

දහසක් බලාපොරොත්තු සිතෙහි දරාගෙන විවාහ දිවියට එළඹී, දිනෙක තම ස්වාමි පුරුෂයා මෙලොව අතහැර ගිය විට කරුණාවතී නැන්දා දරුවන්ද සමඟ ජීවන බර කර මත තබාගෙන ජීවත් වූයේ කෙතරම් වේදනාකාරී හැඟීමක් සිතෙහි දරාගෙනද යන්න ඇයගෙන් විමසුවහොත්, ඇයට එම වේදනාකාරී හැඟීම වචනයෙන් විස්තර කිරීමට පවා නොහැකි වන බව නොඅනුමාන ය. කෙතරම් අසරණබවක් ඒ සිතට දැනෙනවා ඇති ද..? මෙලෙස චිත්ත පීඩාවකින් සිටින මනුෂ්‍යයෙකුට සමාජය විසින් තවත් කෙණෙහිලිකම් කරන විට ඔවුන් තව තවත් පීඩාවට පත්වන බව සමාජයේ මිනිසුන්ට නොවැටහෙණුයේ මන්දැයි සිතාගත නොහැකි ය. නැතිනම් ඒ බව දැන දැනත් එවැනි චිත්ත පීඩාවන් තව තවත් ලබා දෙනුයේ කුමන හේතුවක් නිසාදැයි මා හට නොවැටහේ. කෙඳිනක හෝ තමාවද කරුණාවතී නැන්දා මෙන් සමාජය විසින් වැන්දඹු ගැහැණියක් බවට හංවඩු ගැසුවහොත් කෙතරම් අසරණභාවයකට පත්වන්නට සිදුවේ දැයි කාන්තාවන්ටද නොවැටහීම පුදුම විය යුතු කාරණයකි.

ශිෂ්ට සම්පන්න මිනිසුන් ලෙස සමාජය විසින් කළ යුත්තේ එවැනි කාන්තාවන් සමාජයෙන් කොන් කිරීම නොවේ. ජීවන ගමනේ අසරණභාවයට පත්වීමට ඉඩ නොදී ඔවුන් සමඟ සිටීමයි. ඔවුන්ට ශක්තියක් වීමයි. තම ස්වාමි පුරුෂයා සිටියදීම, අනියම් සබඳතා පවත්වා ගන්නා කාන්තාවන් සිටින සමාජයක, තම ස්වාමියාද නොමැතිව දරු මුණුබුරන් රැකබලාගෙන ජීවන සංග්‍රාමය ජය ගැනීමට වෙර දරන කරුණාවතී නැන්දා වැනි කාන්තාවන් දිරිය කාන්තාවන් ලෙස සමාජයේ ඇගයුමට ලක් කිරීමයි. 

පීඩාවට පත් වන මිනිසුන් තවත් පීඩාවට පත්කිරීම මනුෂ්‍යත්වය නොවන නමුත්, ඔවුන් එම පීඩාවෙන් මුදවා ගැනීමට ශක්තියක් වීම සැබෑ මනුෂ්‍යත්වයයි.

 

තක්ෂිලා උදයංගනී

විශේෂවේදී දෙවන වසර

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

සමාජීය විද්‍යා පීඨය