ඇය නමින් සවිනි ය. බාල සොයුරියක හා සොයුරෙකු ඇති නිවසේ වැඩිමහල් දියණිය ඇය වූවාය. මව හා පියා එකතුව තම කුඹුර අස්වැද්දීමෙන් ගන්නා ආදායමෙන් පවුලම ජීවත් වන අතර සවිනි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට සතියක් පමණ ගත වී ඇත. දිනක් ඇය නිවෙසට වී සිටියදී තම නිවසට එන පාරේ වත්ත කොනේ සිටිමින් පුද්ගලයකු සිය බයිසිකලයේ සීනුව නාද කළේය. ඇය වහාම නිවසෙන් පිටතට පැමිණ බැලූ අතර පැමිණ සිටින්නේ ගමේ තැපැල් කන්තෝරුවේ පියුම් මාමා බව පහසුවෙන් හඳුනගත්තාය. ඇය වහා ඔහු අසලට දිව ගිය අතර ඔහු ඒ වනවිටත් ඇයට අදාළ ලිපිය ලිපිගොනුවෙන් වෙන් කරගෙන සිටියේය. එම ලිපිය ඇය අතට දුන් පියුම් මාමා "මම ගිහින් එන්නම් දුවේ" යනුවෙන් පවසා බයිසිකලේට නැගී පිටත්ව ගියේය. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ දා සිට ඇයගේ නමට උසස් පෙල පන්ති ආරම්භය පිළිබඳව හා විවිධ පාඨමාලා හැදෑරීමට ලිපි පැමිණ තිබූ නමුත් මෙදින ලිපිය එවා ඇත්තේ එනතුරු බලා හිඳී ජාතික යොවුන් සේනාංකයෙනි. ඇය ලිපියත් රැගෙන නිවස තුළට ගොස් පුටුවක හිඳගෙන සෙමින් ලිපිය විවෘත කළාය.

ඇය පාසලේ හොඳින් ඉගෙනීමේ කටයුතු කළ නමුත් පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලවල්වලදී පෙළපාලියට සහභාගි වීමට නොහැකි වූයේ ඇය ප්‍රමාණවත් තරම් උස නොමැති නිසාවෙනි. ඇය ඒ පිළිබඳව සිටියේ මහත් කණගාටුවෙනි. යොවුන් සේනාංකයේ ලබාදෙන පුහුණුවීම් පිළිබඳ දැනගත් දා පටන් ඇය සිටියේ සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ වහාම එහි අධ්‍යාපනය ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. එබැවින් සාමාන්‍ය පෙළ අවසන් වූ දාට පසුදින  යොවුන් සේනාංකයට ඇගේ මව ඇමතූ අතර සම්මුඛ පරීක්ෂණයට සහභාගි වීමට දින ලබාගත්තාය. එදින සහභාගි වූ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මෙදින ලිපියකින් දැනුම්දී ඇත. ලිපිය විවෘත කළ ඇය ලිපිය අවසන් වනතෙක් කියෙව්වා ය. සතුටු කඳුලින් ඇයගේ නෙත් තෙත් විය.

නිවසේ රාත්‍රී කෑම වේලාසනින්ම සූදානම් කළ ඇය නිවසින් පිටතට විත් නිවැසියන් එනතුරු මඟ බලා සිටියා ය. මව සහ පියා කුඹුරට ගොස් වැඩ අවසන් කර නිවස දෙසට එනු පෙනේ. සිකුරාදා දිනයක් වූයෙන් මල්ලි සහ නංගි පාසල් ගොස් අනතුරුව පෞද්ගලික පන්ති සඳහා සහභාගි වී ඇති හෙයින් තවම නිවසට පැමිණ නැත. ඇය ඉහවහා ගිය සතුටින් යුතුව මව හා පියා පැමිණෙන පෙරමඟට දිවගොස් තමාට ලැබුණු සතුටුදායක පුවත ඔවුන්ට සැලකර සිටියා ය. දෙමව්පියන් ද සතුටට පත් වූයේ මෙතෙක් ඇය නොලද අත්දැකීම ලබා ගැනීමට ඇයට අවස්ථාව පැමිණ ඇති හෙයිනි. සොයුරන් දෙදෙනා ද නිවසට පැමිණි පසු සියල්ලන්ම සූදානම් වී රාත්‍රී ආහාරය ගත් අතර එහිදීද සවිනිගේ ගමන පිළිබඳ බොහෝ දේ කතාවුණි.

දින කිහිපයකින් ඇය යොවුන් සේනාංකයට යා යුතු දිනය උදා විණි. ඇයට යොවුන් සේනාංකයට යාමට පැය දෙකකට වැඩි කාලයක් ගතවන නිසාවෙන් නේවාසිකාගාර හිමිවිය. සඳුදා නේවාසිකාගාරයට යන ඇයට සිකුරාදා යළි නිවසට ඒමට හැකි ය. සෙනසුරාදා සහ ඉරිදා දින නිවාඩු දිනයන් වන බැවිනි. ගමනට සියල්ල සූදානම් කරගත් ඇය තම මව සමග නිවැසියන්ට සමුදීමෙන් අනතුරුව පිටත් වූවාය. ගමේ බස් බස්නැවතුම්පොලෙන් බසයට ගොඩවැදුණු ඔවුහු පැයකට පසු ප්‍රධාන බස්නැවතුම්පොලේදී බසයෙන් බැස යොවුන් සේනාංකයට අදාල මාර්ගයේ යන බසය සොයා එයට ගොඩවිය. සතියකට අවශ්‍ය ඇඳුම් සහිත බෑගය මව අසල විය. බසයේ තව පැය භාගයක පමණ දුරක් යා යුතුව තිබේ. සවිනි සිටියේ අසුනේ වීදුරුව අසලට වන්නට ය. ඇය ළඟින්ම ඇය සමග මව සිටියාය. ඇයට එකවරම තමා අද සිට නේවාසිකාගාරයේ මව නොමැතිව විසිය යුතු බව මතකයට නැගිණි. තම සොහොයුරන් ද මතකයට නැගිණි. ඇයට මහත් දුකක් දැනිනි. ඉවසිය නොහැකිව කඳුළු කැට දෑසින් කඩාපනිද්දී ඇය සැණෙකින් ජනේලයෙන් ඈතට නෙත් යොමු කළාය. මවගෙන් සැඟවිය යුතු කඳුළු කැට වැටෙන්නටත් පෙර දෑස තුළ දඟලන අයුරු ඇය ඉතා හොඳින් දුටුවා ය. ඇය සිටියේ ද එවන් තත්වයකම නිසාවෙනි. තම දරුවන් තිදෙනා මින් පෙර  කිසිදිනක නිවසින් පිට දිනක් හෝ ගත නොකිරීම ඇයගේ දුකට හේතුවයි. තම දියණියගේ කඳුළු දැක ඉවසිය නොහැකි තැන ඇය සිය හඬ අවදි කළාය. "යන්න බැරිනම් කියන්න රත්තරනේ, මෙතැනින් බැහැලා ආපිට බස් එකක නැගලා අපි ගෙදර යමු " සවිනිට ඉකිගැසිණි. නමුත් ඇය ආශා කළ පරිදි පුහුණුව ලබා ගැනීමට නම් ඇය එහි යා යුතුමය. ඇය තම මවට සෙමින් කතා කළාය. " කමක් නෑ අම්මේ, මම සිකුරාදට ගෙදර එනවනේ" බසයේ අසුන් ප්‍රමාණයට සරිලන සෙනගක් හෝ නොවීමෙන් ඔවුහු නිදහසේ තම කඳුළු පිසදා ගත්තෝය.

බසය බස්නැවතුමට පැමිණ ඇත. ඔවුහු වහා සිය මළු ද රැගෙන බසයෙන් බැස්සෝය. බස්නැවතුමේ සිට යොවුන් සේනාංකයට යම් දුරක් පා ගමනින් ගමන් කළ යුතුය. ඔවුන් ගමන් ගන්නා මාර්ගය දෙපස එදින එම ගමේ සතිපොල පැවතිණි. සෙනග අතරින් ගමන් ගන්නා මව තම දියණියට පාවහන් යුගලක් මිලට ගෙන දුන්නාය. ඔවුහු කෙමෙන් කෙමෙන් යොවුන් සේනාංකය වෙත ළංවූවෝය. ඔවුන් එහි යන විට මදක් ප්‍රමාද වූයේන් ඒ වනවිටත් යොවුන් සේනාංකයේ වැඩකටයුතු ආරම්භ කර තිබුණි.

කාර්යාලයේ සිටි ආචාර්යතුමා හමුවට ගිය ඔවුන්ගෙන් අදාළ තොරතුරු සටහන් කරගත් අතර එහි සිටි ආචාර්යවරියක කැඳවා අනෙක් ළමුන් සිටින තැනට සවිනි ද රැගෙන යන ලෙස උපදෙස් ලබා දුන්නේ ය. මවට සමුදි තමා සමග පැමිණෙන ලෙස ආචාර්යවරිය ඇයට උපදෙස් ලබා දුන්නාය. සවිනි ආචාර්යවරුන් දෙදෙනා ඉදිරිපිට සිය මවට දණ ගසා වැන්දාය. සවිනිගේ හිස අතගෑ මව දෑතින්ම තම දියණිය නැගීසිටෙව්වාය. සවිනිට නැවත හැඬුම් ආවේය. ආචාර්යතුමිය ඇයද රැගෙන අනෙක් ළමුන් සිටින තැනට යමින් " දැන් ලොකු ළමයෙක්නෙ, අඩන්නෙපා ඉතින්, කඳුලු පිහදාගන්න, දැන් යාලුවෝ ගාවට යන ගමන්නෙ පුතේ" දයාබරව ඇයට පැවසුවා ය.

මුල් දින ළමුන් හදුනාගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර ආචාර්යතුමිය සෙමෙන් දොර හැර එහි සිටි ආචාර්යවරයාගෙන් අවසරගෙන සවිනි ළමුන් අතරට ඇතුලත් කර පිටව ගියාය. ළමුන් අතර ආසනයක් වෙත ගොස් නිහඬව වාඩි වූ ඇය අසල සිටි යෙහෙළිය දෙස බලා මද සිනාවක් පෑවාය. ඇයද සවිනි හා සුහද වූවාය. හඳුනාගැනීමේ වැඩසටහනෙන් අනතුරුව දිවා ආහාර ගැනීම සඳහා පිරිස සමඟ සවිනි ද එකතු විය. ආහාර ගන්නා ස්ථානයේ දී ඇය සමඟ බොහෝ මිතුරියන් සුහද විය. අනතුරුව සෞන්දර්ය වැඩසටහනක් පැවැත්වූ අතර සවස 4 වනවිට වැඩකටයුතු අවසන් විය. දිවා ආහාරයෙන් පසු නේවාසිකාගාරයේ කාමරයක සිසුවියක් කැඳවා ඇය සමඟ සවිනිගේ බෑගය රැගෙන ගිය බැවින් ඇය සමඟම සවිනි සවස නේවාසිකාගාරයට පිටත්විණි. විවිධ පාසල්වලින් අධ්‍යාපනය ලද සිසුන් හා සිසුවියන් යොවුන් සේනාංකයේ සයමාසික පුහුණුවට පැමිණ තිබේ.

සවිනිට ලැබුණු කාමරයේ සමවයසේ පසුවන තවත් දෙදෙනෙක් සිටිති. ඇය සමඟ තිදෙනෙකි. තිදෙනා සමඟ කාමරය පිලිවෙලකට සකස් කරගත් අතර කාමරයටම අලලා ඇති නාන කාමරයෙන් එක්කෙනා බැගින් නා පිරිසිදු විය. සවිනි නා පිරිසිදු වූ වහාම බෑගයට දමා තිබූ කුඩා ජංගම දුරකතනය අතට ගෙන සිය මව ඇමතුවාය. අනෙක් පසින් "මගේ පුතේ" යනුවෙන් ඇසෙන විට කතා කරගැනීමට නොහැකිව ඉකි ගැසුවාය. කෙමෙන් සිය කටහඬ අවදි කළ ඇය තමා ලද අත්දැකීම් හා තමාට හමුවූ මිතුරියන් දෙදෙනා ගැන මවට විස්තර කළාය.

සවස 6 වී ඇති හෙයින් නේවාසිකාගාර ආචාර්යවරියන් දෙපළ සිය කාමරයෙන් පිටතට විත් ගැහැණු ළමුන් සියලු දෙනාටම කාමරවලින් පිටතට පැමිණෙන ලෙස සැලකිරීමෙන් සියලු දෙනා පිටතට පැමිණියහ. සියලු දෙනා සතුව පවතින ජංගම දුරකථන ඔවුන්ට ලබාදිය යුතු බවත් බුදුන් වැඳිය  යුතු බවත් එක් ආචාර්යවරියක් දැනුම් දුන්නාය. යොවුන් සේනාංකයේ නීතිවලට යටත් වෙමින් සියලු දෙනා සතු ජංගම දුරකතන ඔවුන්ට ලබා දුන් අතර පේලියට ගොස් බුදුන් වැඳීමේ කටයුතු සිදු කළහ. අනතුරුව රාත්‍රී ආහාරය ගැනීම සඳහා අදාළ ස්ථානයට සියලු දෙනා රැස් වූ අතර ආහාර වේලෙන් පසු යොවුන් සේනාංකයේ නීති රීති පිළිබඳව උපදෙස් මාලාවක් සිසුන්ට ලබා දුනි.

ආචාර්යවරියන් දෙපළ ගැහැණු ළමුන් සියලු දෙනා රැගෙන නේවාසිකාගාරය වෙත ගිය අතර සියලු දෙනා රාත්‍රියට සුබපතා සිය කාමර තුළට ගියහ. සවිනි ද සිය මිතුරියෝ දෙදෙනා සමඟ කාමරයට විත් දොරගුළු දමා ඇඳට වූහ. වෙනදා පොත් මේසය මත පවා සැපට නින්ද ගිය සවිනිට මෙදින නින්ද අසලකටවත්  නොඑන්නේ පාළුව, තනිකම ඇය වෙළාගෙන ඇති බැවිනි. ඇයට තම නිවැසියන් මතකයට නැගිණි. මල්ලි හා නංගි පාසල් ගොස් නිවසට පැමිණි මොහොතේ සිට එකිනෙකා පරයා තමා පාසලේ ලද අත්දැකීම් විස්තර කරති. සමහරවිට ගැටුම් ඇති කර ගනිති. තමා ඒ මැද්දට පැන ඔවුන් දෙදෙනා දෙපැත්තට කර දෙදෙනාගේ කතා වෙන වෙනම කියන ලෙස උපදෙස් ලබා දෙන්නීය. කතා අවසන් වී තිදෙනාම සෙල්ලම් කරති. මව හා පියා වැඩට ගොස් ඇති බැවින් හවස තිදෙනාම එකතුවී රාත්‍රී කෑම පිළියෙල කරති. රාත්‍රී කෑම ගැනීමේදී සියලු දෙනාම එකතු වී සුහද සාමිචියේ යෙදෙති.

නේවාසිකාගාරයේ කාමරයේ තිදෙනාම මින් පෙර නිවසින් පිට රාත්‍රියක් පහන් කර නොතිබුණු බැවින් බිය මුසු නුහුරු බව මත කාමරයේ විදුලි පහන නිවා දැමුවේ නැත. සවිනි කාමරයේ වහල දෙස බලා හිඳිමින් කල්පනාවේ පසුවූවාය. මිතුරියන් තිදෙනා තම තමන්ට ලැබුණු ඇඳුම්වලින් සැරසී හැඩ බැලුවා ය. සවිනිට ලිපිය සමග ලැබුණු අනෙකුත් පත්‍රිකාවේ වූ ඡායාරූපයේ සිසුන් ඇඳ සිටි ඇඳුම් ඔවුන්ට ද ලැබී ඇත. කාමරයෙන් පිටතට පැමිණි ඔවුන්ට අනෙක් මිතුරියන්ද එම ඇඳුම්වලින් සැරසී හැඩ බලන අයුරු හඳුනාගත හැකිවිය. මෙලෙස ඔවුන් සැරසී සිටින්නේ අවසාන පෙළපාලිය සිදුකිරීම සඳහාය. නේවාසිකාගාරය ඉදිරිපිට ඇති විශාල ක්‍රීඩාංගණයට සියලු දෙනා එකපෙළට ගියහ. අනෙක් පසින් පිරිමි ළමයි ද එම ඇඳුම්වලින් සැරසී ක්‍රීඩාංගණයට ඇතුළු වූහ. තවත් පසෙකින් ආචාර්ය මණ්ඩලය ද දැකගත හැකි විය. පුදුමය නම් අනෙක් පසට නෙත් යොමුකළ සවිනි දුටුවේ දෙමව්පියන් අතර සිටින තම මෑණියන් ය. ඇය වහා දිවගොස් තම මෑණියන්ට තුරුළු තුරුලු වූවාය. එකවරම ඇයට ඇසුණේ සීනුවක නාදයයි. ඇය තිගැස්සී අවදි වූවාය. නේවාසිකාගාරයේ පළමු රාත්‍රිය ගෙවී ගොස් සියලු දෙනා අවදි කිරීමට සීනුව නාද කරයි. ඇය තම මිතුරියන් දෙදෙනා ඇමතුවේ තවමත් ඔවුන් දෙදෙනා තද නින්දේ පසු වූ බැවිනි.

 

කෞශල්‍යා තිලකරත්න.

ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පළමු වසර

මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

සමාජීය විද්‍යා පීඨය.