කොළ පාට සෙනෙහස
- කතා
- Affichages : 2070
මා මගේ ගමෙහි වාසය කරන කාලයෙහිදී මා හට දුකක්, කනගාටුවක් හෝ සිතට කරදරය හඟවන ඕනෑම සිතිවිල්ලක් දැනුණු විට හෝ සැහැල්ලුව දනවන හැඟීමක් ඇති කරගනු වස් නිවස පිටුපස ගලෙහි දමා ඇති දිග දර කෝටුවක්ද ගෙන, ඒ සැණින් එකම එක විසිල් එකකින් අප නිවසේ සුනඛයා වූ රොකියාව ද කැටුව වෙල් එළියේ ඇවිදන්න යමි.
ඒ යන විට ඈත සිටම සර්පයන් වැනි විෂ ඇත්තන්ව පලවා හැරීම සඳහා කෝටුවෙන් මා යන මගට පමණක් ගස ගසා යමි. අතොරක් නැතිව ඉපනැළි පුරා දුවන රොකියා දකින මා සිතින්ද ඌ සමග ඇවිදියි. මා දකින ඌ ගතිනුදු සිතිනුදු තුටින් පොපියයි. එසමග, ගම පුරා යන සුළඟ මා සියොළඟම වැළඳ ගන්නේ ඉපැරැණි මිතුරෙකු හමුවුණාක් මෙනි. මා භෞතිකව සුළඟ නොවැළඳ අධ්‍යාත්මයෙන්ම ඔහු වැළඳ ගනිමි... එවිට දැනෙන හැඟීම ඔබ මේ මහා සොබාවධර්මයාගේ එකම පුත්‍රයා වුණාක් බඳු අතිශය දයාද්රය දනවන වළාකුළු වලින් සුසැදි ඔටුන්නක් ඔබ හිස තබාගෙන සොබාදම් මවුගේ උකුලේ නැළවෙන්නාක් බඳුය. විටෙක ඇය ඔබ හිස මත කොල ගෙනැවිත් තබන්නට විසුළු උත්සාහයක නිරත වෙයි...
සුළඟට මා නොව රොකියාද මනාප සේය.මා ඔහුට තවත් ආදරේ එනිසාය.මා හඳුනාගන්නට,මා අවබෝධ කරගන්නට ඔහු උත්සහා කරනවා වැනිය.
සිතේ තබාගෙන බරට බරේ ගෙන ආ හැඟීම් සුළඟට ලිහිල් වී බරක් නැතුවා මෙනි.නමුත් ඒ ගැන විශ්වාසවන්ත අයෙකුට පැවසිය යුතුය.ඒ එහා ඇළේ ඇනිකට් එක අසල සුවිශාලෙට පැතිරී ගිය කුඹුක් අම්මටයි.
කුඹුක් අම්මා මා කියන සියලු දේ අසා මා අස්වසාලයි.ඈද විටෙක හඬයි.ගෙන් සැලෙන කහ පැහැති ඉදුණු කොලයක් ඒ බව කියයි.මම ඒ කොළය ඇළෙන් සෝදාගෙන සාක්කුවේ දමාගතිමි.
මීළඟට මා යන්නෙ තව දුරටත් වේදනාවක් ඇත්නම් එය නිමා කරගන්නටයි. ඒ තවත් කුඹුක් ගස් කීපයක් වෙතටයි.ඔවුහු වැඩිහිටියෝය.මහා රූස්ස උස ගස් ත්‍රිත්වයක් ඇති නමුදු තෙබෑයන්ගෙන් මැදියා ඉතා රෑස්ස වේ. මා, ටැක්ටර් රෝදයකට හසුවී වියැලුනු පස් තට්ටුවකට ඇනකුටු ගසා වාඩි වෙමින් මාගේ දුක සතුට ආන්තරාවන් කියමි.ඔවුන් ඉතා ඕනෑකමින්,ආදරයෙන් මා දෙස බලන්නේ බබලන පත්‍ර වලිනි..
"මං පුංචි කාලෙ මට මතකයි ඔය ඇළේ ඔන්න ඔතනින් පැනගෙන මේ කෙළවරට ආවෙ. පුංචිකමට කව්රුහරි පෝරු ගාල අහවර වෙද්දි මම පෝරු ලෑල්ල ගන්නෙ කාටත් නොපෙනෙන්නට."
"පොඩි එකෝ ඕක පැත්තක තියල වරෙං ආප්ප කෑල්ල කාපං." අපෙත් නොවන කුඹුරට උදේ කෑම ගෙනාව පොඩිවුන්ගෙන් එකකු වග මතක් වූ මම වහා ගොස් ආප්පයක් ගිල දමමි. ඒ මහා කුඹුක් ගස පිහිටියේ එතැනයි.
මේ මහා රුක් ගොන්නේ වැඩිමහලු සහෝදරයා කපා බිම හෙලන්නේ ඒ කාලේ.පුංචි එකකු වුවද එදා මං දුක් වුණෙමි. අදටත් එතැනින් පිටත් වෙද්දි දැනෙන හැඟීම මං විඳගන්නේ මගේම මුතුන් මිත්තකු ගැන හිතන හැඟීමෙනි.
වේලී ගොස් බිම වැටී තිබෙන කොළ දෙස බලන මට අතරින් පතරින් ඔවුන්ගේ පුංචි පැටව් ළපටි දළුකොළ වලින් හිනැහෙන වගක් මම දුටිමි.
ජීවිතය මහමෙරකි, විටෙක මද පවනේ හිතු මනාපෙට පාවීගෙන යන පිහාටුවකි.පුළුවන් තරමින් ඒ පොඩි දරුවන්ගෙන් කීප දෙනකු අරන් හදාගන්නට අවසරද ගෙන කුඹුක් පැළ කීපයකුත් ගලවා ගනිමි. ඇළට එහා ලියද්දක සිටි මී ගවයින් සෙල්ලමට ගෙන දුවන රොකියාටද සන් කොට මම නිවස බලා එන්නට පිටත් වූයේ වා තලයට මුසුකළ උණුසුම් සුසුම් මහ තදින් වැළඳගෙන, සිහිල් සුළං රැළි වලින් හීන් හිනා අන්දන හැඟුමෙන් සහ පැළකරන්නට ගත් බලාපොරොත්තු කීපයක් ද සමගිනි.
ඒ. එම්.සංජුල කවිඳු නබීෂ
ජනසන්නිවේදන අධ්‍යනාංශය