මොනවද මේ විටමින් D
- සුව අරණ
- Affichages : 12421
හිතකර ශරීර සෞඛ්‍යයක් මෙන්ම නිරෝගී දිවිපෙවෙතක් අප හැමදෙනාම බලාපොරොත්තු වන්නකි. ඒ සඳහා සමබර ආහාර වේලක් ආහාරයට එකතු කර ගැනීම අවශ්‍ය වේ. සමබර ආහාර වේලකට ඉවහල් වන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් , විටමින්, ලිපිඩ, ඛනිජ ලවණ සහ තන්තුමය ආහාර කාණ්ඩ යටතින් විශේෂයෙන්ම විටමින් සපිරි ආහාර අප කෑම වේලකට එකතු කර ගත යුතු බවට වෛද්‍ය නිර්දේශයන් තුළ පවා වැඩි කතාබහට ලක්වන්නකි.
සිරුර තුළ සිදුවන්නා වූ ජීව ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා උපකාරී වන විටමින්, වයිටල් + ඇමීන් ( VAITAL + AMIN ) එනම් අත්‍යවශ්‍ය ඇමීන් යන අරුත ඇතිව විටමින් යන වචනය නිර්මාණය වී ඇත. A, B ,C ,D ,E ,K යන කාණ්ඩ ගණනාවක් ඔස්සේ වර්ගීකරණයට ලක් වන විටමින් අතරින් ශරීර වර්ධනයට සහ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය ප්‍රධාන සංඝටකයක් ලෙස විටමින් D පිළිබඳව මෙම ලිපියෙන් වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් කෙරේ.
රුධිරයේ කැල්සියම් මට්ටම පාලනය කරනු ලබන හෝමෝනයක් ලෙස විටමින් D හඳුන්වනු ලැබේ. අප ගනු ලබන ආහාර ශරීරයට අවශෝෂණය කර ගැනීමේ කාර්යයට ප්‍රධාන දායකත්වයක් සපයනු ලබන විටමින් D විශේෂයෙන් ආහාරවල අඩංගු කැල්සියම් හා පොස්පරස් සිරුරට අවශෝෂණය කොට ශරීරයේ අක්ෂි සහ දත් ශක්තිමත් කරමින් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියටද සහය දක්වනු ලබන පෝෂකයක් ලෙසද හඳුනාගත හැකිය.
විටමින් D ශරීරයට ලබාගත හැකි ක්‍රම
විටමින් D ශරීරයට ලබාගත හැකි ක්‍රම අතර ස්වභාවිකව ආහාර මඟින් එම අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව පවතී. සාලයා, සූඩයා, හුරුල්ලන් වැනි තෙල් සහිත මත්ස්‍යයින් ,සැමන්, බිත්තර කහමදය, රතු මස්, සත්ව අක්මාව හෙවත් පීකුදු යෝගට්, කිරි, මාගරින් සහ ඇතැම් ධාන්‍ය වර්ගද ඒ සඳහා නිර්දේශ වන ආහාර ලෙස වර්ග කොට තිබේ. මිනිසුන්ට ආහාරවලින්ම පමණක් ප්‍රමාණවත් විටමින් D ලබා ගැනීමට අපහසු වන බැවින් හිරු එළියට නිරාවරණය වීම හරහා විටමින් D සිරුරට අවශෝෂණය කරගත හැකිය. මුල් කාලීනව උදෑසන 7 ,8, 9 වැනි කාලවලදී හිරු එළිය සිරුරට අවශෝෂණය කරගත යුතු බවට වෛද්‍ය මත ඉදිරිපත් වුවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නවතම දත්ත පෙන්වා දෙන්නේ විටමින් D අවශෝෂණයට සුදුසුම වෙලාව උදෑසන 10.00ත් සවස 3.00ත් අතර කාලයේදී බවයි. මෙම වේලාව තුළදී විනාඩි 15 -30ත් අතර කාලයක් සාමාන්‍ය ඇඳුමෙන් සැරසී හිරු එළියට නිරාවරණය වීම වඩාත් සුදුසු බැව් ඔවුන් පෙන්වා දී ඇත. එමෙන්ම ස්වභාවිකව ලැබෙන ආහාර සහ හිරු එළියට නිරාවරණය වීමෙන් ප්‍රමාණවත් විටමින් D ශරීරයට අවශෝෂණය නොවූ කල්හි ඒ සඳහා අතිරේකයක් ලෙස වෛද්‍ය උපදෙස් මත නියමිත මාත්‍රාවට විටමින් D පෙති සහ දියරද ලබා ගැනීමේ හැකියාව පවතී. මේ සියලු ක්‍රමවේද හරහා පුද්ගලයකුට අවශ්‍ය වන විටමින් D ප්‍රමාණය ශරීරයට එකතු කර ගැනීමට අවස්ථාව හිමිවේ.
ශරීරයට අවශ්‍ය විටමින් ප්‍රමාණය
ශරීරයට අවශ්‍ය වන විටමින් D, ප්‍රමාණාත්මකව මැන බැලූ කල විවිධ වයස්භේදයන් සහ පුද්ගල වර්ගීකරණයන් මත වෙනස් වේ. අස්ථි වර්ධනය වේගවත් කාල පරිච්ඡේදයක් වන ළදරු සහ ළමා අවධිය තුළ මෙන්ම වැඩිහිටි , ගර්භිණී සහ කිරි දෙන මවුවරුන් ලෙස කාණ්ඩ වීම් යටතේ දිනකට මයික්‍රොග්‍රෑම් 10 (10mcg) සිට 20mcg දක්වා විටමින් D ශරීරයට ලබා ගත යුතු බවට නිර්දේශ කර තිබේ.
විටමින් D ඌනතාවයේ අතුරු ප්‍රතිඵල
නියමිත මාත්‍රාවෙන් බැහැරව අඩු වැඩි වශයෙන් විටමින් D ශරීරගත වුවහොත් එය අතුරු රෝගාබාධයන්ට මුලපිරීමකි. දිගු කාලක් පුරාවට වැඩිපුර විටමින් D ලබාගැනීම සිදු කළහොත් ශරීරය තුළ කැල්සියම් එකතු වී අස්ථි දුර්වලව වකුගඩු හා හදවතට හානි වීමද සිදුවිය හැක. විටමින් D අවම ලෙස ශරීරයට අවශෝෂණය කරගතහොත් එය තෙහෙට්ටුව , කැක්කුම ,වේදනාව හා ඔස්ටියෝපොරෝසිස් ඇතුළු දරුණු අස්ථි සහ මාංශපේෂි වේදනාවලට මෙන්ම අස්ථි කැඩීම් , බිදීම් සහ ඉරිතළා යාම ආදී අතුරු ශරීරාබාධ රැසකටද මග විවර කිරීමට හේතු විය හැකිය.
එමෙන්ම විටමින් D හිරු එළිය ඔස්සේ ශරීරයට අවශෝෂණය කරගන්නේ නම් දිගු වේලාවක් හිරුඑළියට නිරාවරණය වන සම නිසි පරිදි ආරක්ෂා කර ගැනීමට ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතු වේ. මක්නිසාද හිරු රශ්මිය සමට අහිතකර තත්ත්වයන් ඇති කිරීමට පවා හේතු වන බැවින් පිළිකා අවදානම් වැනි තත්වයන් ඇති වීම ඉන් පෙර සූදානමක් ලෙස වළක්වාගත හැකි වේ.
විටමින් D ඌනතාවය පිළිබඳ වාර්තා වීම ප්‍රතිශතාත්මකව බැලූ කල ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 10 සිට 18ත් අතර ළමුන්ගෙන් 13.2%ක් ලෙස මෙන්ම නාගරික ජනගහනයේ වැඩිහිටියන්ගෙන් 59%කට ආසන්න ප්‍රමාණයක් විටමින් D ඌනතාවයෙන් පෙළෙන බවට සොයාගෙන ඇත . එනම් මෙහිදී අප අවධානයට ලක් කළ යුතු කරුණ වන්නේ ශරීර වර්ධන කෘත්‍යයට අවැසි විටමින් D ප්‍රමාණය නිසි මාත්‍රාවට ලබා ගැනීම මෙන්ම ඒ සඳහා උපකාර වන්නා වූ ආහාර කාණ්ඩයන් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හරහා ලබා දෙන වෛද්‍ය උපදෙස් ඒ අයුරින්ම පිළිපැදීම වේ.
නිසි පරිදි විටමින් D ශරීරයට ලබා ගැනීම මත ඇතැම් රෝග ඇතිවීමේ අවදානම අඩු කර මනෝභාවය වැඩි දියුණු කරගනිමින් මානසික අවපීඩන රෝග ලක්ෂණ අඩු කිරීමට සහ බර කළමනාකරණයට උපකාර කිරීම ආදී ප්‍රතිලාභ රැසක් අත්පත් කර ගත හැකි වේ. එනම් විටමින් D ශරීරයට ලබා ගැනීම අනාගත නිරෝගී පරපුරකට දායක වන බව පැහැදිලි වේ.
කාව්‍යා ඉන්දීවරී වර්ණකුලසූරිය
මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය
විශේෂවේදී දෙවන වසර
ජනසන්නිවේදන අධ්‍යයනාංශය
සමාජ විද්‍යා පීඨය