මානව පරිණාම ඉතිහාසය තුළ මිනිසා පරිසරයට අනුගත වෙමින් පරිසරයේ ඇති තමා දකින, තමාට දැනෙන වස්තූන් දෑත් හා අනෙකුත් ශරීරාංග උපයෝගී කොට ගෙන ඉදිරිපත් කිරීමට පටන් ගත් දා පටන් අද දක්වාම මුළු මහත් මිනිස් වර්ගයාටම සංඥා දැක්වීමේ සංකල්පය බෙහෙවින් සමීප සන්නිවේදන මාධ්‍යකි. අද වන විට අප කෙතරම් භාෂණ හැකියාවෙන් යුක්ත පුද්ගලයන් වුවත් සන්නිවේදනයෙහිලා සංඥා භාවිතා කරන අවස්ථා බොහෝ පවතී. නමුත් සංඥා භාෂාව වනාහී භාෂාවක් වශයෙන් අද වන විට සන්නිවේදන දුබලතා සහිත විශේෂයෙන්ම ශ්‍රව්‍යාබාධිත, බිහිරි ප්‍රජාව විසින් භාවිත කරනු ලබන ප්‍රධානතම විකල්ප සන්නිවේදන මාධ්‍යක් බවට පත්ව තිබේ.

සංඥා භාෂාව පිළිබඳව මුල්ම සාධක හමුවන්නේ ප්‍රංශය හා බ්‍රිතාන්‍යය පදනම් කොටගෙනය. නමුත් භාෂාවක් ලෙස සංඥා භාෂාව පිළිබඳව වාග්විද්‍යාත්මක අධ්‍යයනයන් ආරම්භ වන්නේ 1906 දී ඇමරිකානු ජාතික විලියම් ස්ටෝකේ (William Stokoe)  විසින් ඉදිරිපත් කරන ලද ‘Sign Language Structure’ නම් ලිපියෙන් පසුවය. 1965දී මෙකී  William Stokoe, Dorothy Casterline හා Carl Croneberg යන තිදෙනා විසින් ‘Dictionary of American Sign Language’ නමින් සංඥා කෝෂයක් නිර්මාණය කරන ලදී. භාෂාවක් ලෙස සංඥා භාෂාවේ පවතින සංවිධානාත්මක බව, වාග්විද්‍යාත්මක අගය පිළිබඳව මුලින්ම අවබෝධ කොට ගෙන තිබුනේ ඔවුන් විසින්ය. එකී පන්නරයත් සමඟ ලොව පුරා සංඥා භාෂාවට නව මුහුණුවරයන් ප්‍රවිෂ්ට  වන්නට විය. සංඥා භාෂාව එදිනෙදා අප දෙඅත් හා මුහුණේ ඉරියව් භාවිතයෙන් සිදු කරන අංගහාරමය චලනයන්ට වඩා වෙනස් වූවකි. බැලූ බැල්මට ලොව  සියළුම සංඥා භාෂාවන් එක හා සමාන යැයි සිතුවත් සාමාන්‍ය භාෂාවන් මෙන්ම සංඥා භාෂාවද රටකින් රටකට මෙන්ම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වූ ලක්ෂණයන්ගෙන් යුක්ත වෙයි. එසේම එය සාමාන්‍ය කථන බස උපයෝගී කොටගෙන නිර්මාණය නොවූවකි. දෛනික ජීවිතය හා සම්බන්ධ මිනිසුන්ගේ අදහස්,  හැඟීම්, භාව ප්‍රකාශනයට  හැකි සංඥා කෝෂයක් සෑම සංඥා භාෂාවකම පවතින අතර චිත්‍ර, ඉතිහාසය, ගණිතය, ආර්ථික විද්‍යාව, භෞතික විද්‍යාව, වාග්විද්‍යාව වැනි බොහෝ විෂයන්ද සංඥා භාෂා මාධ්‍යයෙන් ඉගැන්වේ. එපමණක් නොව නාට්‍ය, විකට කතා, පද්‍ය නිර්මාණ ආදී සාහිත්‍යමය නිර්මාණද සංඥා භාෂාවෙන් සිදු කෙරේ. ඒ අනුව බලන විට සාමාන්‍ය භාෂාවකින් වන භාෂාමය කාර්යය සංඥා භාෂාව මඟින්ද සිදුවන බව පෙනේ. අප භාවිතා කරන ඕනෑම භාෂාවක පවතින භාෂා ශබ්දයක් නිවැරදිව උච්චාරණය නොකළහොත් ඇති වන අර්ථ භේදය මෙන්ම සංඥා භාෂාවේත් ඇතැම් සංඥා එකිනෙකට සමාන අර්ථ වෙනුවෙන් ඉතා සියුම්, සූක්ෂම වෙනස්කම් වලින් යුක්ත වෙයි. සංඥා භාෂාව හරහා නිවැරදිව අදහසක් ඉදිරිපත් කිරීමට නම් වඩා සැලකිල්ලක් දැක්විය යුතු කරුණු කිහිපයකි. අතෙහි හැඩය, ඇත හැරී ඇති දිශාව, චලනයන්ගේ ස්වභාවය, කාලය හා මුහුණේ ඉරියව් යනු ඒ අතර වැදගත් වේ. මෙකී එකඳු හෝ කොටසක සිදුවන යම් සුළු වෙනසක් හේතුවෙන් සන්නිවේදනයට බලාපොරොත්තු වන අදහස වෙනස් විය හැකිය. එබැවින් මතුපිටින් පෙනෙනවාට වඩා ගැඹුරු සංස්ථිතියක් සංඥා භාෂාව තුළ පවතී.

මෙරට පළමු බිහිරි පාසල ආරම්භ වන්නේ 1912 වසරේදී දෙහිවලදීය. ඔවුන්ට සංඥා ඉගැන්වීම සඳහා මෙරටට අවේණික සංඥා භාෂාවක් නොවූ හෙයින් බ්‍රිතාන්‍ය සංඥා භාෂාව ඇසුරු කොට ගෙන සිංහල භාෂාව භාවිතා කරන බිහිරි ප්‍රජාවට සංඥා භාෂාවක්  නිර්මාණය කොට ගෙන එමඟින් අධ්‍යාපනය ලබා දෙන්නට විය. පසුව බිහිරි සිසුන් සඳහා අධ්‍යාපනය ලබා දෙන පාසල් රට පුරා ආරම්භ වීමත් සමඟ එක් එක් පාසල් මඟින් එකිනෙකට වෙනස් සංඥා ඉගැන්වීම සිදු විය. මේ නිසාම සම්මත සංඥා භාෂාවක් නිර්මාණය කර ගැනීම අත්‍යඅවශ්‍යය විය. ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රමුඛ කොටගෙන ඇමරිකානු සංඥා භාෂාව ගුරු කොට ගනිමින් සිංහල හා දෙමළ භාෂා භාවිත කරන මෙරට වැසියන් වෙනුවෙන් ‘ශ්‍රී ලංකා සංඥා භාෂාව’ නිර්මාණය කරන ලදී. අද වන විට ලංකාව පුරා සම්මත සංඥා භාෂාව ලෙස ඉගැන්වෙනුයේ එම සංඥා භාෂාවයි.

ශ්‍රී ලංකා සංඥා භාෂාවේ සිංහල හා දෙමළ හෝඩිය නිරූපණයට වෙන් වෙන් වූ සංඥා නිර්මාණය කර ඇති අතර එලෙස පවතින හෝඩියේ අක්ෂර මඟින් වචන දක්වනු ලැබේ. මෙරට පළමු සංඥා කෝෂය (Sign Language dictionary )  නිර්මාණය වන්නේ 2007 දීය. එය  Introduction to Sri Lankan Sign Language ලෙස නම් කරන ලදී. විවිධ විෂයන් මෙන්ම පාරිභාෂික වදන් දැක්වීම සඳහා අවශ්‍යය වන සංඥා මාලාවන් ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානත්වයෙන් නිර්මාණය කොට තිබේ. මේ නිසාම ශ්‍රී ලංකා සංඥා භාෂාවද අද වන විට වඩා පොහොසත්, සාරවත් භාෂාවක් ලෙස දියුණු වී තිබේ. අද වන විට බොහෝ ආයතන සංඥා භාෂා පරිවර්තකයන්  සේවයට යොදවා ඇති අතර රූපවාහිනී වැඩසටහන්, රාජ්‍ය උත්සව ආදීයෙහිදීත් සංඥා භාෂා පරිවර්තකයන් අද වන විට සුලබව දක්නට ලැබේ.

බිහිරි ප්‍රජාවද අනන්‍ය උප සංස්කෘතියකින් යුත්, අනන්‍ය භාෂා සම්ප්‍රදායකින් යුත් සමාජ කොට්ඨාසයක් නිසාවෙන්ම සංඥා භාෂා හා බිහිරි සංස්කෘතිය සඳහා උපදේශන සංවිධානයක් ලෙස ලෝක බිහිරි ප්‍රජාව එක් වී 1951 දී ලෝක බිහිරි සම්මේලනය (World Federation of the Deaf) පිහිටුවා ගන්නා ලදී. සෑම වසරකම සැප්තැම්බර් 23 වන දා ‘ජගත් සංඥා භාෂා දිනය’ සැමරීම සිදුවන අතර එම දිනය යෙදෙන සතිය ‘ලෝක බිහිරි පුද්ගලයන්ගේ සතිය’ ලෙස නම් කොට තිබේ.

තත්වය එසේ වුවත් සමස්ත පොදු සමාජය තුළ සංඥා භාෂාව පිළිබඳව වැඩි දැනුමක් ඇති බව නොපෙනීම කණගාටුදායකය. බැලූ බැල්මට දෙඅත් චලනය කරමින් සිදු කරන චලන දැක්වීමක් ලෙස පෙනුනද සංඥා භාෂාව වනාහී  සාමාන්‍ය භාෂාවක් මෙන්ම විධිමත් සංස්ථිතියක් මත පදනම්ව ගොඩනැඟුණු විධිමත් භාෂාවක් බව පෙනේ. එමඟින් සමාජයේ යම් රාමුවකට  සීමා වී සිටි බිහිරි ප්‍රජාවටද ලෝකයා සමඟ ගනුදෙනු කිරීමට අද වන විට අවස්ථාව උදා වී තිබේ.  

 බී.ලක්ෂිකා මදුශානි

විශේෂවේදී දෙවන වසර

වාග්විද්‍යා අධ්‍යයනාංශය

මානවශාස්ත්‍ර පීඨය