දේශගුණය හා කාලගුණය යනු අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙන ස්වභාවික සංසිද්ධීන් දෙකකි. නමුත් ඇතැමෙක් මෙකී වචන ද්විත්වයම නිසි අවබෝධයකින් තොරව භාවිත කරනු පෙනේ. බැලූ බැල්මට සමාන සංසිද්ධීන්  දෙකක්  ලෙස පෙනුනද දේශගුණය හා කාලගුණය එකිනෙකට වෙනස් වූ පරිසර තත්ව දෙකකි. කාලගුණයේත් දේශගුණයේත් මාධ්‍යය  වන්නේ පෘථිවි ග්‍රහයා වටා තිබෙන වායු ආවරණය නොහොත් වායු ගෝලයයි. යම් කිසි ස්ථානයක යම් කිසි වේලාවක් තුළ වායු ගෝලයේ පවතින තත්වය නොහොත් ස්වභාවය ‘කාලගුණය’ ලෙස හැඳින්විය හැකිය. එය දිනෙන් දින,  පැයෙන් පැය හෝ විනාඩි ගණනකින් වෙනස් විය හැකි තත්වයකි. මෙම වායු ගෝලීය තත්වය යනුවෙන් අදහස් වනුයේ  උෂ්ණත්වය, වර්ෂාපතනය, ආර්ද්‍රතාවය, වායු පීඩනය, සුළඟ යන සංසිද්ධීන්ය. යමෙක් ‘අද වැහි දවසක්’, ‘ඊයේ කොළඹට මි.මී.50ක වර්ෂාවක් ලැබී ඇත.’ ‘හෙට නිරිත දිග මෝසම් සුළං වේගවත් විය හැකිය.’ යනුවෙන් පවසන්නේ  එකී වායු ගෝලීය තත්වයන් නොහොත් කාලගුණික තත්වයන්ය.

  

නමුත් දේශගුණය යනු දීර්ඝ කාලයක් තුළ යම් කිසි විශාල ප්‍රදේශයක පවතින වායු ගෝලීය තත්වයකි. එලෙස යම් ප්‍රදේශයක දේශගුණය පිළිබඳව නිගමන ලබා ගැනීමට නම් අවම වශයෙන් වසර තිස්පහක පමණ කාලයක් නිරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය බව සුප්‍රසිද්ධ භූගෝල විද්‍යාඥයකු වන මහාචාර්‍යය මොන්ක්හවුස් සදහන් කර තිබේ. මුළු ලෝකයේම දේශගුණය එක හා සමාන නොවේ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට, රටින් රටට, මහද්වීපයෙන් මහද්වීපයට දේශගුණය වෙනස් වේ. මෙම විවිධත්වයට හේතු වන්නේ ස්වභාවික කරුණු කිහිපයකි.  ඒවා ‘දේශගුණය පාලනය කරන සාධක’ ලෙස හැඳින්වේ. සූර්යයාගේ පිහිටීම, මුහුදු මට්ටමේ සිට ඇති දුර හා උස, සාගර ප්‍රවාහ හෙවත් දියවැල්, භූමි ලක්ෂණ, සුළං ධාරා ඒ අතර  වේ. 

පෘථිවියේ සිට කිලෝ මීටර මිලියන 149.6 දුරින් සූර්යයා පිහිටියත් පෘථිවිය සූර්යයා වටා ඉලිප්සාකාරව ගමන් කිරීම නිසා සූර්යයාට ඇති දුර ප්‍රමාණය විටින් විට වෙනස් වේ. ජනවාරි මස 03 වන දින පෘථිවිය සූර්යයාට වඩාත් ආසන්න වන අතර ජූලි මස 04 වන දින සූර්යයාට වඩාත් දුරින් පෘථිවිය පිහිටයි.  ප්‍රධාන ශක්ති උල්පත වශයෙන් පෘථිවියේ පාරිසරික සංසිධීන් වලට මෙන්ම මිනිස් කටයුතු සඳහාද සූර්ය කිරණ තීව්‍රතාව බලපානු ලබයි. පෘථිවි කක්ෂය අංශක  විසිතුනහමාරකින් ඇලව පවතින නිසා සමකය ආසන්න ප්‍රදේශ වලට වැඩි සූර්ය පතන තීව්‍රතාවකුත්, ධ්‍රැවාසන්න ප්‍රදේශ වලට අඩු සූර්ය පතන තීව්‍රතාවයකුත් ලැබේ. මේ නිසා ලෝකයේ විවිධ දේශගුණික කලාප නිර්මාණය වී තිබේ.

එසේම මහද්වීප හා සාගර ව්‍යාප්තියත් දේශගුණය තීරණය කරන සාධක අතර වැදගත් වේ. දිවා කාලයේදී සාගරයට වඩා ගොඩබිම ඉක්මනින් උණුසුම් වන නිසා වායු ධාරා ප්‍රසාරණය වී අඩු පීඩන තත්වයක් නිර්මාණය වේ. එවිට අඩු පීඩනය පිරවීම සඳහා සාගර වල පවතින වැඩි පීඩන සුළං ගොඩබිමට හමා එයි. මුහුදු සුළං ලෙස හඳුන්වන ඒවා නිසා වෙරළබඩ කලාපයන්ගේ  දිවා කාලයේදී උෂ්ණත්වය අඩුවේ. නමුත් මුහුදු සුළං ක්‍රියාත්මක නොවන ප්‍රදේශයන්හි දිවා කාලයේ අධික උෂ්ණත්වයක් පවතී. සහරා, ගෝබි, ථාර්  වැනි ශුෂ්ක කාන්තාර බිහි වී ඇත්තේ ඒ නිසාය. වැඩි අවබෝධයක් නොතිබුණද සාගරයේ පවතින සාගර ප්‍රවාහද යම් ප්‍රදේශයක දේශගුණ තත්වය තීරණය කිරීමට වැඩි බලපෑමක් සිදු කරයි. සාගරයෙහි ජලය මතුපිට සුළං ඝර්ෂණය වීමේ ප්‍රතිඵලයක් ලෙස සාගර ප්‍රවාහ නිර්මාණය වේ. ඒවා මඟින් උෂ්ණත්වය පරිවහනය කිරීම නිසා ලොව සාගර ප්‍රවාහ උෂ්ණ සාගර ප්‍රවාහ හා ශීත සාගර ප්‍රවාහ වශයෙන් කොටස් දෙකකි. මෙම දියවැල් ඒවාට ආශ්‍රිත භූ ස්කන්ධයක් හෝ ගොඩබිම් වල දේශගුණය කෙරෙහි විශාල බලපෑමක් සිදු කරයි. උෂ්ණ දියවැල් නිවර්තන ප්‍රදේශයන් තුළ අධික උෂ්ණ දේශගුණයක් නිර්මාණය කිරීමටත්, ශීත ප්‍රදේශ වල සෞම්‍ය දේශගුණයක් නිර්මාණය කිරීමටත් හේතු වේ.  

එසේම පෘථිවිය අංශක විසිතුන හමාරක් ඇලව තමා වටෙහිද භ්‍රමණය වෙමින් සූර්ය වටාද පරිභ්‍රමණය වීමේදී සූර්ය කිරණ පෘථිවිය මත පතිත වන පතන කෝණය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ. එයද විවිධ රටවල විවිධ දේශගුණ තත්ව හා කාලගුණ තත්ව නිර්මාණයට හේතු වී තිබේ. නිවර්තන කලාපයන්ට සූර්ය කිරණ ලම්භකව පතිත වන නිසා එම කලාප වල අධික උෂ්ණත්වයකුත් සෞම්‍ය හා ධ්‍රැව කලාපයන්ට සූර්ය කිරණ පතිත වීමේ කෝණය වැඩි වීම නිසා එම ප්‍රදේශයන්ගේ අඩු උෂ්ණත්වයක් සහිත ශීත කලාපයකුත් නිර්මාණය වේ. 

ඒ අනුව බලන විට විවිධ ස්වභාවික සාධක පදනම් කොට ගෙන පෘථිවි ගෝලය වටාම  අති විශාල දේශගුණ විවිධත්වය දැකිය හැකි බව පෙනේ. කාලගුණය හා දේශගුණය බැලූ බැල්මට එක සමාන තත්ව දෙකක් ලෙස පෙනුනත් උක්ත සාධක අනුව එම සංසිද්ධීන් එකිනෙකට වෙනස් බව පැහැදිලි වේ.  

 

ලක්ෂිකා මදුශානි 

විශේෂවේදී දෙවන වසර 

වාග්විද්‍යා අධ්‍යනාංශය

මානවශාස්ත්‍ර පීඨය