නූතන සමාජ මාධ්‍ය තුළ භාෂාව කොයිබටද?
- කාලීන
- الزيارات: 7243
විද්‍යාව සහ තාක්ෂණය යන දෙඅංශයේම දියුණුවත් සමඟම මිනිසා විසින් නිර්මාණය කරන ලද නව නිපැයුම් ප්‍රමාණය මෙතෙකැයි කියා ගණනය කළ නොහැකි තරම් ය. එලෙස නිපද වූ ඇතැම් යෙදවුම් වර්තමානය වන විට ලොව පුරා වේගයෙන් ප්‍රචලිත වූ බව කිව හැකිය .මිනිසා විසින් නිර්මාණය කළ සමාජ මාධ්‍ය අද මිනිසා අතික්‍රමණය කිරීමට සමත්වී ඇත. අසීමාන්තික වූ සමාජ මාධ්‍ය තුළින් ද්විමාර්ගික සන්නිවේදනයක් සිදු වේ .ඕනෑම පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට අදහස් ,සිතුම් පැතුම්, පණිවිඩ හෝ පින්තූර ආදිය බෙදා හදා ගැනීමේ හැකියාව සමාජ මාධ්‍ය මගින් ලබාදීම සහ ඒ වෙනුවෙන් ඕනෑම අයෙකුට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තිබීම නිසාම අනෙකුත් මාධ්‍ය අභිමුව සමාජ මාධ්‍ය ජනතාවට වඩාත් සමීප වී හමාරය.
නව මාධ්‍ය තුළින්ම පැන නැගී එහි ප්‍රවණතාවක් වශයෙන් සමාජ මාධ්‍ය හඳුනාගැනීම නිවැරදි ය. නිර්මාණය කිරීම ,අන්තර්ගතය හුවමාරු කරගැනීම මෙන්ම සහභාගීත්වය යන කරුණු සමාජ මාධ්‍යයන්හි සුවිශේෂීත්වයන් වෙයි. සමාජ ජාල ගොඩනැඟී ඇත්තේ පුද්ගල හෝ පුද්ගල කණ්ඩායම් සම්බන්ධ ජාල හරහා සංදේශ හුවමාරු කර ගැනීම මඟිනි .සමාජ මාධ්‍ය ක්රියාකාරීත්වයේ බලපෑමට නූතනයේදී ළමා ,තරුණ, වැඩිහිටි යන සියලු දෙනා ලක්වී සිටී .යහපත් මෙන්ම අයහපත් බලපෑම මෙම සමාජ මාධ්‍ය මගින් සිදුවන බව කිව මනා නොවේ .ඕනෑ තරම් පුවත් මවන්නට සමාජ මාධ්‍ය හැකියාව ලබා සිටියි.
පරිගණකය හෝ සුහුරු ජංගම දුරකථන ,වෙබ් අඩවි උපයෝගී කර ගනිමින් සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම සිදුවේ. පර්යේෂණ දත්තවලට අනුව බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය භාවිත කරනු ලබන්නේ සුහුරු ජංගම දුරකථන ආශ්‍රය කොටගෙනය. නූතනයේ භාවිත කරන සමාජ මාධ්‍ය අතරින් ෆේස්බුක් ගැන ලෝකයේ දැනට වැඩිම පරිශීලක ප්‍රමාණයක් අත්පත් කරගත් ජනප්‍රිය හා නිදහස් මාධ්‍යයකි.6.5%ක ශ්‍රී ලාංකීය පරිශීලකයන් ප්‍රමාණයක් ෆේස්බුක් වටා ඒකරාශී වී ඇත. කෙටි පණිවිඩ හුවමාරු කර ගත හැකි සමාජ මාධ්‍යයක් වශයෙන් Twitter පෙන්වාලිය හැකිය. රාජ්‍ය නායකයන්, කලාකරුවන් මෙන් ම ජනප්‍රිය ක්‍රීඩකයන් Twitter ගිණුමක් පවත්වාගෙන යනු ලබයි .ව්‍යාපාරික හා වෘත්තීය ප්‍රජාව Linkedin සමාජ මාධ්‍ය භාවිත කරනු ලබන අතරම මෙය වෘත්තිකයන් ජාලගත කිරීමක් ලෙසද පෙන්වා දිය හැකියි. Facebook, Twitter, Linkedin, Instagram, Skype, Whatsapp, Snapchat ආදිය මෙන්ම Wechat, Google duo, Reddit යන යෙදවුම් මේ ගණයට අයත් වේ.
ඒක මාර්ගික සන්නිවේදනය සිදු වූ ජනමාධ්‍ය මෙන් නොව සමාජ මාධ්‍ය තුළ දී අන් අයගේ අදහස්, මතවාද ,විරෝධාකල්ප පළ කිරීමේ හැකියාව තිබීම මත වඩාත් ඉහල ජන ප්‍රසාදයක් හිමි කරගත් බව සැබෑ ය. එහි දී තොරතුරු ලබා දීමක් හෝ දැනුම බෙදාදීමකින් ඔබ්බට ගොස් රසවින්දනාත්මක සංස්කෘතියක් බිහි වීම මත භාෂාව පවා බොහෝ වෙනස්කම් වලට භාජනය වී තිබේ. ජීව ලෝකය මෙන්ම ද්‍රව්‍ය ලෝකය ද පාලනය කිරීමේ හැකියාවකින් මිනිසා පරිපූර්ණ වූයේ උසස් බුද්ධි ශක්තියක් මෙන්ම ඉන්ද්‍රීය ශක්තියක් උරුම කරගත් බැවිනි. මේ ශක්තීන් ද්වයයෙන්ද සුසංයෝග වූ කළ අනෙක් ශක්‍යතාවයන් අභිබවා මිනිසා විශේෂ ශක්‍යතාවයක් උරුම කර ගෙන තිබේ. එනම් භාෂා ශක්‍යතාවයයි. වාග්විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන් මෙන්ම මානව විද්‍යාඥයන්ගේ ද නිර්වචන වලට අනුව භාෂාව සංස්කෘතියක පදනම වේ.” භාෂාව වූ කලී භාෂක සමාජයක සාමාජිකයන් සන්නිවේදනය සඳහා යොදා ගනු ලබන වාග් සංකේත පද්ධතියකි” යනුවෙන් වාග්විද්‍යාඥයන් සඳහන් කරනු ලබයි. මෙම නිර්වචනයට අනුව සන්නිවේදනය සඳහා භාෂාව යොදාගන්නා බව පෙන්වා දෙයි. භාෂාවේ කාර්යභාරය ප්‍රකාශන කාර්යය, නිවේදන කාර්යය, සහ මෙහෙයුම් කාර්ය ලෙස ජර්මන් ජාතික කාල් බියුලර් සහ රෝමන් ජේකොබ්සන් යන වාග් විද්‍යාඥයන් පෙන්වා දී තිබේ.
මෙම සමාජ මාධ්‍ය තුළ භාෂාව භාවිත වීම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී නූතන භාෂාව බොහෝ වෙනස්කම්වලට බඳුන් වී ඇති බව පෙනී යයි. බහු සංස්කෘතික ජන සමාජයක ජීවත් වන නිසාම මෙලෙස භාෂා ගැටලු මතුවීම සාමාන්‍ය කරුණකි. වර්තමාන ඉංග්‍රීසි මිශ්‍ර සිංහල භාෂාවක් බොහෝ අවස්ථාවල භාවිත වෙයි. සමාජ මාධ්‍ය තුළ පමණක් නොව ජනමාධ්‍ය තුළ පවා මෙම තත්ත්වය දැකගත හැකි ය.වැඩ සටහන් ඉදිරිපත් කරන නිවේදක නිවේදිකාවන් පවා ඉංග්‍රීසි මිශ්‍ර සිංහල නොයෙක් අවස්ථාවල භාවිතයට ගනී .එහිදී ඉංග්‍රීසි වචනයක් දෙකක් සිංහලය තුළට එබ්බවූ පමණින් සමාජ මට්ටම තුළ උසස් බව හෝ පිළිගැනීම ක් ඔවුහු බලාපොරොත්තු වෙති. නමුත් එය විහිලුවකි. භාෂාවක් අර්ධ ලෙස ඉගෙනගෙන වචන ඔබ්බවමින් කතා කිරීම නොව සම්පූර්ණයෙන් ඉගෙන ගැනීම සිදු කළ යුතු ය.
මේ කරුණු මෙන්ම බොහෝ අවස්ථාවල දැක ගත හැකි තවත් කරුණක් වන්නේ අසභ්‍ය වදන් සමාජ මාධ්‍ය තුළ නිරතුරුව භාවිත කිරීමයි. දැනුමින් පිරිපුන් හෝ විෂයික දැනුම මඳ වශයෙන් හෝ නොලැබුන ඕනෑම පුද්ගලයකුට සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිය සිතුවිලි පෝස්ටුවක් හරහා ක්ෂණික ව සමාජගත කිරීමේ හැකියාව සමාජ මාධ්‍ය හරහා ලබා දී තිබේ.ඉගි මඟින් හෝ සෘජුවම මෙම අසභ්‍ය වචන භාවිත කරමින් සමාජයක් ඉදිරියේ වීරයන් වීමට තැත් කිරීම පුහු වීරත්වයකි.සභ්‍ය යැයි සම්මත සමාජ පරිසරයක තවකෙකුගේ අදහසකට සභ්‍ය ආකාරයෙන් විරෝධය පල කිරීමට නොහැකි නම් එය මානසික ගැටලුවකි .සමාජ මාධ්‍ය තුළ වෛරී සහගත ප්‍රකාශන අන්තර්ගත කිරීම ද නිරන්තරයෙන් දැකගත හැකි කරුණකි.
විවිධ ආගම් අදහන, විවිධ භාෂාවන් කතා කරන ජන සමාජයක යම්කිසි හේතුවක් මත වෛරී සහගත ප්‍රකාශ සිදු කිරීම තුළින් ආගමික අන්තවාදයට හෝ ජනවාර්ගික ගැටලු වලට මුහුණදීමට ඉඩකඩ විවර වනු ඇත. පාස්කු ප්‍රහාරය සමග සමාජ මාධ්‍ය වාරණය කිරීමට පවා සිදුවූයේ මේ තත්ත්වය නිසා .ය වැරදි හෝ නිවැරදි භාවය සනාථ කර ගැනීමට පෙර තවත් පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වය කෙළෙසමින් ඡායාරූප මෙන්ම පුවත් මැවීමට සමාජ මාධ්‍ය හසුරුවන්නන් පෙළඹී තිබීම ඛේදජනක තත්ත්වයකි.
පහන්තුඩාව ඇල්ල නරඹන්නට ගොස් ඒ අසල ලිංගිකව හැසිරුණු තරුණ යුවළක් පිළිබඳ පසුගිය කාලය තුළ අපට අසන්නට ලැබුණි. මෙය සමාජ මාධ්‍ය කොතරම් කැළඹිලි සහගත තත්ත්වයකට පත් කළාද කිවහොත් වෙනත් විවාහක යුවලක් අත්අඩංගුවට ගැනීම දක්වා දුරදිග ගිය සිදුවීමක් බවට පරිවර්තනය විය. සමාජ මාධ්‍යවල ආචාරධර්මීය රීති භාවිතයක් නැති නිසාම හුදෙක් ඉහත ආකාරයේ සිදුවීම් බොහෝ සිදුවනු ඇත. සමාජ මාධ්‍ය තුළ ගුණාත්මක නියාමනයක් සිදු කිරීමේ ක්‍රමවේදයක් නොමැති කම ද ඊට තවත් හේතුවකි. අතීතයේ පුවත්පත, ගුවන්විදුලිය හා රූපවාහිනිය යන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් තොරතුරු ලබාගත් බව සැබෑ ය. නමුත් තරගකාරී තොරතුරු සමාජයක් බිහිවීම මත තවත් මාධ්‍ය ආයතනයකට පෙරාතුව තොරතුරු ලබා දීමට යාම යන කරුණ ප්‍රධාන දෙයක් බවට පත් වී ඇත.මෙම තත්ත්වය” තොරතුරු යුද්ධයක්” ලෙස අර්ථ ගැන්වීම නිවැරදි ය. ස්වයං ශික්ෂණයකින් වැඩසටහන් ඉදිරිපත් කිරීම ,එහි දී භාෂාව පිළිබඳ සැලකිලිමත් වීම ,අනෙකාගේ පෞද්ගලිකත්වයට හානි නොවන ලෙස භාෂාව හැසිරවීම, සමාජ සංවේදීතාවයට ගරු කිරීම ආදී ගුණාංග වර්ධනය කර ගතහොත් සමාජ මාධ්‍ය තුළ භාෂාවේ භාවිතාවේ ගැටළු ඉදිරියට මතු නොවනු ඇත.
දිලේකා නෙත්මිණි
සමාජීය විද්‍යා පීඨය