සාහිත්‍ය මාසයක් අවශ්‍යමද?
- කාලීන
- الزيارات: 4088
“කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලො ගච්චති ධීමතඃ” යනුවෙන් පැරණි කියමනක් ඇත. ඊට අනුව පඬිවරුන් කාව්‍ය ශාස්ත්‍ර විනෝදයෙන් කාලය ගත කරන නමුත් මෝඩයන් කාලය ගත කරනුයේ තමන්ට හෝ අනුන්ට විපත් ගෙන දෙමින් ය. සාහිත්‍යයේ ඇති වටිනාකම ඒ තුළින් මනාව පැහැදිලි වේ. සාහිත්‍යය යනු කුමක්දැයි නිශ්චිතව හදුනා ගැනීම සඳහා නිර්වචන නොමැති නමුත් සාහිත්‍යය යනු ප්‍රධාන වශයෙන්ම කියවන්නට ඇති දෙයක් බව ඒ ගැන උනන්දුවක් දක්වන සියල්ලෝ අවිඥානිකවම දනිති. තම රුචිකත්වයට හා වෘත්තිකත්වයට අදාළව තමා සතු දැනුම ප්‍රවර්ධනය කර ගැනීම උදෙසා කියවන පොත් පත් ආදිය සාහිත්‍යයෙහි ලා ගත හැකිය. කෙසේ වෙතත් වර්තමානය වනවිට සාහිත්‍යය කෙරෙහි දක්වන නැඹුරුතාවයේ යම් පසුබෑමක් හඳුනාගත හැකි වේ. සෑම වසරකම සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසය ලෙස සැලකෙන අතර සැප්තැම්බර් මාසය පුරාවටම සාහිත්‍ය හා ඍජුවම සම්බන්ධ වන ක්‍රියාකාරකම් රැසක් සිදු කෙරේ. නමුත් ලංකාවේ සාහිත්‍යය කෙරෙහි ජනතාව ඇද බැඳ තබා ගැනීම උදෙසා සාහිත්‍ය මාසයක් තිබීම පමණක් ප්‍රමාණවත් ද නැතහොත් සාහිත්‍ය මාසයක් අවශ්‍යමද යන්නෙහි යුක්ති අයුක්ති බව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරේ.
සාහිත්‍යයට මාසයක් නම් කිරීමට ප්‍රථම මුල්කාලීනව නම් කර තිබුණේ සාහිත්‍යය දිනයකි. එනම් සැප්තැම්බර් 8 වනදාය. සාහිත්‍යය මාසයක් නම් කිරීමෙන් අනතුරුව රාජ්‍ය සාහිත්‍ය උළෙල විද්‍යෝදය සම්මාන උළෙල, ගොඩගේ සම්මාන ප්‍රදානය, ස්වර්ණ පුස්තක සම්මාන උළෙල, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආදී බොහෝ අවස්ථා සිදු කිරීම ආරම්භ විය. සාහිත්‍ය මාසයේදී මෙම උළෙලවල් පැවැත්වීම උදෙසා රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන ද මැදිහත්වීම ප්‍රවණතාවක් ලෙස හඳුනාගත හැකිය. එමෙන්ම සාහිත්‍ය මාසයේ සතියක් පමණ කාලයක් පුරාවට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන පොත් ප්‍රදර්ශනයට වසරක් පාසා නන් දෙසින් වැල නොකැඩී සෙනඟ ඇදීඒම ද සාහිත්‍ය මාසයේ ප්‍රවණතාවක් ලෙස හඳුනාගත හැකිය. එමෙන්ම එහිදී සාහිත්‍යයන්ට අදාළ විවිධ වූ කෘති වර්ග ද අදාළ කතුවරුන්ද බැහැ දැකීමේ අවස්ථාව ද ජනතාවට උදා කර දේ. විශේෂ වට්ටම් යටතේ පාඨකයන්ට පොත්පත් මිලදී ගැනීමේ අවස්ථාව උදාවන හෙයින් සාහිත්‍යය නිර්මාණ බොහෝ සේ අලෙවි වනු දැකගත හැකිය. සාහිත්‍ය මාසයේදී පවත්වන විවිධ සම්මාන උළෙලවල් තුළින් සාහිත්‍ය කෘති මෙන්ම රචකයින් ද මහත් සේ ඇගයීමට භාජනය වේ. එය සාහිත්‍ය කෘති තවදුරටත් නිර්මාණය කිරීමට රුකුලක් වනු නොඅනුමානය. අනෙක් අතට සාහිත්‍යය වෙනුවෙන් මාසයක් වෙන් කිරීම නිසාවෙන් සාහිත්‍යය පිළිබඳ විවිධ වූ ගද්‍ය, සදැස් නිසදැස් ආදී පද්‍ය නිර්මාණ ද විශාල වශයෙන් දැකගත හැකිය. වර්තමානයේ තාක්ෂණය දියුණුවත් සමඟ සාහිත්‍යය පිළිබඳ විවිධ වැඩසටහන් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේද විකාශනය වේ. මේ ආදී වශයෙන් සාහිත්‍යය මාසයේ ඇති යහපත් පැතිකඩ හඳුනාගත හැකිය.
කෙසේ වෙතත් සාහිත්‍යය වෙනුවෙන් මාසයක් වෙන් කිරීමේ අයහපත් නැමියාවන් ද ඇත. සාහිත්‍යය මාසයම ඉලක්ක කරගෙන පොත් රචනා කිරීම එක් කරුණකි. සමහර නූතන ලේඛකයෝ සාහිත්‍යය මාසයේ පවත්වන සම්මාන උළෙලවල් මෙන්ම කොළඹ පොත් ප්‍රදර්ශනය ආදී පාදක කොටගෙන පොත් රචනා කරනු දැකගත හැකිය. හුදු අදහස් කුමන ආකාරයෙන් හෝ ගලපමින් පොත් රචනා කිරීම තුළින් සාහිත්‍යයේ ගුණාත්මක බවේ පසුබෑමක් හඳුනාගත හැකිය. රටේ වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ කොළඹ පොත් ප්‍රදර්ශනය තුළ සාහිත්‍ය නිර්මාණ ද පසුගිය වසරවලට සාපේක්ෂව අඩු අගයක් ගෙන ඇති අතර ඒවායේ අධික විකුණුම් මිල හමුවේ ජනතාව සාහිත්‍ය නිර්මාණ මිලදී ගැනීමේ මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කරන බවද වටහා ගත හැකිය.
එමෙන්ම සාහිත්‍යය පිළිබඳ පාසල විෂය නිර්දේශයට ඇතුළත් නොකර සාහිත්‍ය මාසයේදී පමණක් පාසල් මට්ටමින් විවිධ තරගාවලි ආදිය සංවිධානය කළ ද සිසුන්ගේ දැනුම වර්ධනය වීමක් ඉන් සිදු නොවේ. එබැවින් එසේ සාහිත්‍යය පිළිබඳ අවම දැනුමකින් යුත් සිසුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේදී ද සාහිත්‍යය පිළිබඳ උනන්දු වීම අවම වේ. විශ්වවිද්‍යාලය තුළ සංගීතමය අවස්ථා ආදිය සංවිධානය කිරීමේ දී හුදු විනෝදය පමණක් පදනම් කරගත් ගායනාවන් එයට ඇතුලත් කරන අතර එහි පද රචනය ගැන බැලූ කල සාහිත්‍යයේ පසුබෑම මැනවින් පැහැදිලි වේ. රට තුළ සිදුවන මිනීමැරුම්, සොරකම්, ස්ත්‍රී දූෂණ ආදි සියලු අපරාධවලට මූලික හේතුවක් වන්නේ මිනිසුන් තුළ සාහිත්‍යය පිළිබඳ අවබෝධයක් නොමැති වීමයි. සාහිත්‍යයට මාසයක් පමණක් වෙන්කර සාහිත්‍යය පිළිබඳ නිරන්තරයෙන් ජනයා දැනුවත් නොකර සිටීම මෙයට හේතු වේ. එමෙන්ම සම්මාන උළෙලවලදී සම්මාන පිරිනැමීම අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවන අතර ඒ සඳහා පොත් තෝරා ගැනීම රචකයා හා පොතේ පිට කවරය දෙස බලා සිදුවන බව යම් රචකයන්ගේ අදහසයි. එබැවින් විශිෂ්ට සාහිත්‍ය කෘති කොතෙක් බිහිවුවද අනාගතය වෙනුවෙන් ඒවා සුරක්ෂිත වීම සිදු නොවේ.
සාහිත්‍ය මාසයක් තිබූ පමණින් සාහිත්‍යය නැංවීමට නොහැකි හෙයින් සාහිත්‍යයේ ඇති වැදගත්කම ආරක්ෂා කිරීමට නම් පොත් ප්‍රදර්ශන, සම්මාන උළෙලවල් අළලා සිදුකරන සාහිත්‍ය නිර්මාණ, නිර්මාණශීලී බවින් උසස් ලෙස රචනා කළ යුතුය. එමෙන්ම සාහිත්‍ය මාසයට පමණක් සීමා නොවී නිර්මාණ බිහි කිරීමට වගබලා ගත යුතුය. සාහිත්‍යය මාසය වෙනුවෙන් ක්‍රියාත්මක වන නිර්මාණකරුවන් සාහිත්‍යය පිළිබඳ නිරන්තරයෙන් ගද්‍ය, පද්‍ය නිර්මාණ රචනා කිරීමට පෙළඹවිය යුතුය. එමෙන්ම නව තාක්ෂණය සමඟ සාහිත්‍ය දියුණු කරලීමේ වැඩසටහන් ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා විකාශනය කළ හැකිය.ඒ තුළින් වත්මන් තරුණ පරපුර සාහිත්‍ය නිර්මාණය කෙරෙහි යොමු කරවීමට හැකියාව ලැබේ. එමෙන්ම සාහිත්‍ය මාසයේදී පවත්වන සම්මාන උළෙලවල් මාසයට පමණක් සීමා නොකර හැකි සෑමවිටම පැවැත්විය යුතුය. එමෙන්ම පොත් ප්‍රදර්ශන පැවැත්වීමේදී ද කොළඹටම සීමා නොකර ලංකාව පුරා විහිදී යන ආකාරයට හැකි සෑම විටම පවත්වන්නේ නම් මීට වඩා සාහිත්‍යය පිළිබඳ ඇල්මක් ඇති වනු නිසැකය. සම්මාන උළෙලවල් කොතෙකුත් පවත්වා පුහු සාහිත්‍යකරුවන්ට සම්මාන දේ නම් සාහිත්‍යයේ දියුණුවක් කිසිදා බලාපොරොත්තු විය නොහැකි ය. එබැවින් පොත්වල පිටකවර පමණක් පරිශීලනය කර පොතට හා කතුවරයාට සම්මාන නොදී සාහිත්‍යය වශයෙන් නිර්මාණයේ ඇති වැදගත්කම ද සලකා සම්මාන හිමිකර දීමෙන් සාහිත්‍ය කලාව ඉදිරි අනාගතයට සුරක්ෂිත කර දීමේ හැකියාව ඇත. එමෙන්ම වැදගත්ම කරුණ වන්නේ පාසල් විෂය නිර්දේශයට ද සාහිත්‍ය පිළිබඳ ඇතුළත් කළ යුතු වීමයි. එමගින් සිසුන්ට ගුණවත්කම් කියා දීමේ හැකියාව ලැබේ. ගුණ ගරුක යහපත් සමාජයක් තැනීමට නම් සාහිත්‍ය දැනුම මිනිසා සතුව තිබිය යුතුමය. අනෙකා දෙස තමා උපමා කොට බලමින් දුකේදී හා සැපේදී එක ලෙස පිහිට වීමට හුරු වන්නේ සාහිත්‍යයෙන් උසස් පුද්ගලයකු පමණි. එලෙස ගුණ ගරුක සමාජයක් සඳහා සාහිත්‍යය නංවාලීමේ දී එයට සාහිත්‍ය මාසයක් තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. එබැවින් මාසයකට පමණක් සීමා නොවූ සාහිත්‍යයක් ගොඩ නැගීමට කටයුතු කළ යුතුය. එවන් සාහිත්‍යයක් හිමි සමාජයකට සාහිත්‍ය මාසයක් අවශ්‍යම නැත.
ඩබ්ලිව්. ආර්. කෞෂල්‍යා තිලකරත්න.
ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පළමු වසර
මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
සමාජීය විද්‍යා පීඨය.