ලිංගික අධ්‍යාපනය සැමට ඉගෙන ගත යුතු කාලයකි මේ.
- කතු වැකිය
- الزيارات: 2671
ලෝක ඒඩ්ස් දිනය සෑම වසරකම දෙසැම්බර් පළමු වැනිදාට යෙදී ඇත. ඒඩ්ස් ලෝකයෙන් සඳහටම තුරන් විය යුතු නමුත් එය එසේ නොවී තිබීම මුළු මහත් මානව සංහතියේම පැවැත්මට තර්ජනයක් වී තිබේ. වසරින් වසර විවිධ තේමාවන් යොදාගෙන ඒඩ්ස් පිළිබඳ සමාජය දැනුවත් කළද ඒඩ්ස් රෝගීන්ගේ වාර්තා වීම ඉහළ යමින් තිබීම කණගාටුවට කරුණකි. 2022 වසරේ ඒඩ්ස් දිනය සැමරුමේ තේමාව වනුයේ "සමානාත්මතාව සුරකිමු" යන්නයි.මෙම සමානාත්මතාවය සුරකිමු යන තේමාව ඔස්සේ ඒඩ්ස් අසාදිත පුද්ගලයින්ට සමාජයේ වෙනසක් නොකර සැලකීම පිළිබඳ අවධාරණය කරන අතර ඔවුන්ගේ ඉදිරි පැවැත්ම සාර්ථක කරගැනීමට උදව් උපකාර කිරීම අරමුණ වේ. ශ්‍රී ලංකාවේ මේ වසරේ මුල් මාස නවය තුළ එච්.අයි.වී ආසාදිතයින් හාරසියයකට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර තමන්ට ඒඩ්ස් අසාදනය වී තිබෙන බව නොදැන සමාජයේ සැරිසරන සංඛ්‍යාව හත්සියයකට වැඩි ප්‍රමාණයක් සිටී. මෙය ඉතාම භායානක තත්වයයකි. මෙරට තරුණ ප්‍රජාව අතරින් HIV ආසාදිතයින් වාර්තා වීම වේගයෙන් ඉහළ යමින් පැවැතීමත් ඒ අතර වයස අවු.15-35ත් අතර තරුණ ප්‍රජාව 35%ක් වීමත් ඉතාම භායානක තත්වයකි. ආර්ථිකය අතින් මහත් කඩාවැටීමකට ලක් වී තිබෙන රටක තරුණ ප්‍රජාව තුළ මෙවැනි බරපතල රෝග තත්වයන් ව්‍යාප්ත වීම සමස්ත සමාජයම මුහුණ දෙන දැඩි අවධානමකි.
තරුණ ප්‍රජාව තුළ අනාරක්ෂිත ලිංගික සබඳතා පැවැත්වීම සීඝ්රයෙන් ඉහළ යෑම එක් අතකට ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය නිසි ලෙස නොලැබීමේ ගැටලුවකි. ලිංගිකත්වය මිනිසාගේ මූලික අවශ්යාතාවයක් වුවද එය හිතුමතේ කිසිදු දැනුමකින් තොරව අනාරක්ෂිතව පැවැත්වීම එම පුද්ගලයින් පමණක් නොව ඔවුන්ගේ පවුලද සමස්ත සමාජයම මහත් ව්‍යසනයකට පත් කරන හේතුවකි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය කුඩා වයසේ සිට දරුවන්ට ලබා දිමේ වැදගත්කම මෙවැනි සමාජ රෝග ව්‍යාප්තියෙන් මොනවට පැහැදිලි වේ. දියුණු වෙමින් පවතින රටවල සමාජ රෝග ව්‍යාප්තිය වේගයෙන් වැඩි වනුයේ සෞඛ්‍ය අධ්‍යාපනය නිසි පරිදි පාසල් අධ්‍යාපනය තුළ සිදු නොවීමයි. පාසල් අධ්‍යාපනය තුළ සෞඛ්‍ය දැනුම ලබා දුන්නද ලිංගික සෞඛ්‍ය පිළිබඳව වඩා ගැඹුරින් ලබා දීම සිදු නොවේ. එලෙස සිදු වුවා නම් තරුණ ප්‍රජාව අතර එඩ්ස් රෝගය වර්ධනය වැඩි නොවේ.
ඒඩ්ස් මාරයාගෙන් සමාජය මුදවා ගැනීමට නම් ලිංගික අධ්‍යාපනය සියලු දෙනාටම නිසි පරිදි ලබා දිය යුතුය. පාසල් අධ්‍යාපනයෙන් පසුව ද්වීතීක හා තෘතීක අධ්‍යාපනයට පිවිසෙන විද්‍යාර්ථීන්ට ද එම පාඨමාලාවලින් ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුම, අවබෝධය ලබා දීම සිදු කළ යුතුය. විශේෂයෙන්ම රජයේ විශ්වවිද්‍යාලයට පිවිසෙන විද්‍යාර්ථීන්ටත්, පෞද්ගලික විශ්වවිද්‍යාලයයට පිවිසෙන විද්‍යාර්ථීන්ටත් මෙම උපදේශනය අනිවාර්යෙන්ම ලබා දිය යුතුය. දෙම්ව්පියන්ගේන්, ගුරුවරුන්ගේ හා පාසලෙන් මිදී සමාජයට එන විද්‍යාර්ථියෙකුට වඩා ආරක්ෂිත සම්බන්ධතා නිර්මාණය කරගැනීම හා පවත්වා ගැනීම පිළිබඳ දැන්වත්භාවය විවෘත සමාජයේ සාකච්ජාවට ලක් විය යුතුය.මෙය සැඟවිය යුතු, ලැජ්ජාවිය යුතු කරුණක් නොව මහත් උනන්දුවෙන් උගත යුතු ජීවිත පාඩමකි.
සංස්කාරක