එක ඉත්තේ මල්..!
- කතා
- الزيارات: 1848
සෙදෝ හාමි, සෙදෝ හාමි...
යසවතී කුමාරිහාමි වලව්වේ වැඩට උන් සෙදෝහාමි ව හොයන්නේ හෝරාවක විතර කාලයක පටන් ය. බැරිම තැන යසවතී කුමාරිහාමි වලව්වේ ඉදිරිපස ඉස්තෝප්පුවේ කොණක වූ ඇඳි පුටුවේ වාඩිගත්තාය.
ඈට ඒ ඇඳිපුටුව හරි හුරුය. ඒ ඇඳි පුටුවේ වාඩිගත්තාට පසු මහ විසාල ඉදිරිපස මිදුලත් පඩි කිහිපයක් බැස්සාට පසු පෙනෙන අංගනයත් එතනින් පසුවට පෙනෙන ඉදිරිපස ගේට්ටුවත් හොඳ හැටි පෙනෙයි. නමුත් කුමාරිහාමි මේ පුටුවේ වාඩිගන්නේ ඔය දර්ශනය දැකගන්නට නොවේ. ඉදිරිපස පැත්තට වෙන්න පිහිටා ඇති යමක් හොඳ හැටි ඒ දෙස බලා උන්නාය. හ්ම්ම්ම්ම්ම්ම්..,කුමාරිහාමිගේ කටින් නිරායාසයෙන් එලෙස නික්මිණි.
සෙදෝහාමි පෝර ගෝනියක් ඉණේ ගසාගෙන වලව්වේ වම්පස පැත්තෙන් වලව්වට එනු කුමාරිහාමි අහම්බෙන් මෙන් දැක්කාය.
මයේ අම්මේ කොහෙදෑ උඹලා ගාටව්වේ. මං දෙහෝරාවක විතර වෙලේ හිට මොර දුන්නා නෙව උඹ හොයලා, කුමාරිහාමි ඈත සිට එන සෙදෝහාමි දැක කීවාය.
දොහ්... ඇයි අපේ කුමාරිහාමි මං කියලා නෙව ගියේ දෙණියේ කජු ගස්වල කජු අහුලන්න යනවාය කියලා. සෙදෝහාමි ගෙනා කජු පෝර උරය බිම අතාරින ගමන් කීවාය.
ඕං බලමුකෝ සෙදෝ. දැං නං මට නුහුගුණ ගානයි. උඹ කියලා ගිය විත්තිය ගිලිහුණා නෙව. යසවතී කුමාරිහාමි හිනැහුණාය.
සෙදෝ පරණ චීත්තයකුත්, පිහියකුත් බේසමකුත් ගෙනැවිත් කජු මද ගලවන්නට වුණාය. ආ.. කුමාරිහාමි, සෙදෝ ගැල වූ කජුමද කුමාරිහාමි අතට දුන්නාය.
ඈ සෙදෝ.. කුමාරිහාමි බර වුණු දෙනෙතින් සෙදෝ ඇමතුවාය. කොට්ටම්බා තිබ්බෙ නැතුං, කුමාරිහාමි එසේ අසත්ම සෙදෝ හිස හැරවූවාය.
හ්ම්ම්ම්... ඔය තිබ්බේ..
කජුයි, කොට්ටම්බයි කවදාවත් එකට ඕනි නෑ අපෙ කුමාරිහාමි. මං ඒ හින්දා කොට්ටම්බා ගෙනාවේ නැතුවා. තවත් ඕවා ගැන නොහිතා ඉන්න. ගිය දේ ගියා.
කුමාරිහාමිගේ ඇස් දෙකෙන් ලොකු කඳුළු බිඳු රූරා වැටෙයි. සෙදෝ ඒ දෙස බලා සිටියා විනා කිසිවක් ඉන්පසු කියන්න කට නොහෙල්ලුවාය.
පසුවදා සෙදෝ ඇහැරෙන විට කුමාරිහාමි කුස්සියේ හරි හරියට වැඩය. සෙදෝ හිතුවේ කුමාරිහාමිට හරි නිලමේතුමන්ට හරි බඩගිනි වී ඇත කියාය. නමුත් ටික වෙලාකින් කුමාරිහාමි කිරිබත් හදනු දුටු සෙදෝ අද දිනේ මතක් කෙරුවාය.
සැප්තැම්බර් 27, සෙදෝගේ හිතට අකුණක් කෙටුවාය.
කුමාරිහාමි, මං ඉතුරු ටික උයන්නදැයි සෙදෝ ඇසුවාය.
ඕන්නෑ සෙදෝ. උබ තේ ඩිංගිත්තක් වක්කොරහන් අපි දෙන්නට. සෙදෝ හිමිහිට තේ හදන්නට ගත්තාය. ඒ අතර සැරින් සැරේ කුමාරිහාමිගේ මූණ දෙස විමසිලිමත් වූවාය.
හැමදාම වගේ කුමාරිහාමි කිරිබත් කැට තුන් ගුණයක් කැපුවාය. ඉඹුල් කිරිබත් ගෙඩි ද තුන් ගුණයක් ම කැට කරාය. හාල්මැස්සන් දාපු බැදුමක් ද, උම්බලකඩ යහමින් දාපු ලුණු මිරිසක් ද, කෙටුවාය.
කුරක්කන් කැඳ ද කොළකැඳ ද වෙන වෙන ම හැදුවාය. කෑම සේරෝම ටික මේසේ උඩින් තියා මේසේ අල්ලාගෙන හොඳටෝම ඇඬූවාය. ඒ දෙස බලා සිටි සෙදෝට ද ඇඬුම් ආ නමුත් අමාරුවෙන් හිත තද කරගෙන හිටියාය..
කෙහෙල් කොළ කපන් වරෙන් සෙදෝ..
කුමාරිහාමි ඔසරි පොටෙන් මුව පිහා ගන්නා ගමන් කීවාය. සෙදෝ හනික කෙහෙල් කොල කපා ගෙනැවිත් බටපොතු වට්ටි තුනකට සමාන ලෙස කෑම ඇසිරුවාය. අසුරා හනි හනික ලෑස්ති වූවාය.
සෙදෝ යමුදැයි.. කුමාරිහාමි විමසන විටත් සෙදෝ ඉස්තෝප්පුවේය. බටපොතු වට්ටි තුන කුමාරිහාමිත් සෙදෝත් අතට ගෙන පන්සලට ගියාය.
ආ... මේ අපේ කුමාරිහාමි නෙව. යමු යමු ඇතුලට ගිහින් දානේ පුජා කරමු. ලොකු හාමුදුරුවන් දස වසරක් තිස්සේ මේ දිනය මතක තියාගන්නේ නිරායාසයෙනි. කුමාරිහාමි ට මේ දිනය අමතක නොවන තාක් මේ ක්‍රියාදාමය කිසිදා වෙනස් නොවන බව හාමුදුරුවනේ ද දනී.
යථා වාරි වහා පූරා පරිපූරෙන්ති සාගරං - ඒව මේව ඉතෝ දින්නං ඒතානං උපකප්පති, ලොකු හාමුදුරුවන් ගාථා කියයි. කුමාරිහාමි අත්දෙකින් පැන් කෙණ්ඩි දෙකක් අල්ලාගෙන දෙකෙන් ම පැන් වඩයි. හ්ම්ම්..කොහොමෙයි අපේ කුමාරිහාමි, වතාවත් කර අවසන ලොකු හාමුදුරුවන් කුමාරිහාමි සමඟ බජනයට වැටුණාහ. සෙදෝ හිමිහිට එතනින් නැගිට්ටාය. හිටියනං දැං යස ඉලන්දාරි දෙන්..කියා පමණක් සෙදෝට ඇසිණි.
අද කොහොමත් කුමාරිහාමි කන්නේ නැත. පන්සල් ගොස් ආ හැටියෙම හනිකට නිලමෙතුමන්ට මඩක්කුව පිළියෙල කොට දී නිලමෙතුමාව වත්තට පිටත් කොට යවනු සෙදෝ බලාගෙන උන්නාය. අවසන අර ඇඳි පුටුවට ම විත් වාඩි ගත්තාය.
සෙදෝහාමි කුස්සිය අස්පස් කොට අහවර ව බංගසාල වත්ත අතුගාන්නට ගත්තාය. ඉදලෙන් සරස් බරස් සරස් බරස් යන හඬින් ලතාවකට මිදුලේ කොස් කොළ, පිහිඹියා කොළ ඇට්ටේරියා මල් සේරෝම එක ගොඩකට වෙයි. හිමි හිමින් අතුගාගෙන ඉදිරිපසට ආ සෙදෝට යසවතී කුමාරිහාමි වත්තේ කෙළවරක සිට බිමට නැමී තණකොළ උගුලවනු දුටුවාය.
වැඩිය ඒ දෙසට යන්නට අකමැති වුවත් කුමාරිහාමි තනිවම වැඩ කරනු හිතට හරි නැති හෙයින් සෙදෝ ද ඒ පැත්තට ගියාය. කුමාරිහාමි නැගිට්ටා නං මං තණකොළ ටික ගලෝදාන්න.
කුමාරිහාමි සෙදෝ දෙස බැලුවාය. සෙදෝ ගේ ඇස් දෙක හීන් කඳුළු බිඳු දෙකක් බව කුමාරිහාමිගේ තෙත් වූ දෑසින් කුමාරිහාමි දුටුවාය.
මං දන්නවා බං, උඹ මෙතනට එන්න අකමැති විත්තිය. උඹ මිදුල අතුගාපන්. මං මේක කරන්නං. දරු ගැබ උස්සාන වදපු මට මේ දුක මැරෙනකං උරුමයි සෙදෝ. කුමාරිහාමි නැවත තණකොළ ගලවන්න පටන් ගත්තාය.
චීත්ත පොටෙන් ඇස් පිහාගත් සෙදෝ කළුම කළුපාට සොහොන් කොත් දෙක දෙස බැලුවාය.
සසඳා මැණිකේ කුමාරිහාමි පනාමල්දෙණිය
ළසඳා මැණිකේ කුමාරිහාමි පනාමල්දෙණිය
__________________________________
යසවතී කුමාරිහාමි පනාමල්දෙණිය වලව්වට දීග ආවේ සුමතිපාල පනාමල්දෙණිය නිලමේගේ අගබිසෝ තනතුරට පත්වෙමිනි.
නමින් නොව තනතුරිනුදු අගබිසෝම බවට පත්වෙමින් යසවතී කුමාරිහාමි මුළු වලව්වම එකළු කළාය. ඇගේ කළමණාකරණ හැකියාව, නායකත්වය කසාදයට කලින් සෙල්ලක්කාරයකු වූ සුමතිපාල නිලමේවද වෙනස් පුද්ගලයකු බවට පත් කළාය.
නිලමේගේ වංසයට නොපෑහෙන තැනකින් යසවතී කුමාරිහාමි දීගයට ආවද බුද්ධිමත්කම, දැනුම්තේරුම් ඇති කම, කරුණාවන්තකම, සකසුරුවම්කම නිසා නිලමේතුමාගේ මෑණියන්ට පවා යසවතීගේ අඩුවක් නොපෙණිනි.
කසාද බැඳ සය මස ඉක්මවද්දී යසවතී කුමාරිහාමි ගැබ්බර වූයේ මුළු මහත් වලව්වම පමණක් නොව ගමම සතුටු කරමිනි. ඒ තරම් අභිමානයක් පනාමල්දෙණිය වලව්වට ලැබී තිබිණි. තෙමසක් ගෙවුණු පසු තම නැන්දම්මා සමඟ ගලඋඩ විහාරය නමදින්නට යසවතී කුමාරිහාමි ගියාය.
කුමාරිහාමිට පින්වන්ත දරුවෙක් උපදිනවා. කුමාරිහාමිගේ අතේ රේඛා පිරික්සූ ලොකු හාමුදුවන් එලෙස ප්‍රකාශ කලහ. නැන්දම්මා ලේලිගේ මුහුණ ඔපවත් වූයේ එම කියමන අසාය.
කිවූ පරිදි ම වෙසක් මස මැද සතියක දී යසවතී කුමාරිහාමි වලව්වේ ආඩම්බරකාර වැදුම්ගෙය තුළ සරමක් බිහිකරාය. සුමතිපාල නිලමේ මෙන්ම ඔහුගේ මෑණියන් පවා හා හා පුරා කියා පවුලට එකතු වූ කොලුපැංචා ඉතසිතින් පිළිගත් හ. දින සති මාස ගෙවී ගොස් දෑඅවුරුද්දක් පමණ ගත වෙද්දී යසවතී කුමාරිහාමි නැවත ගැබ් ගත්තාය.
හ්ම්ම්ම්ම්... ගලඋඩ විහාරයේ හාමුදුරුවන් වහන්සේ මේ වතාවේ ද කුමාරිහාමිගේ රේඛා පරීක්ෂා කළාය. පෙර මෙන් ඔපවත් වූ මුහුණක් නොදුටු හෙයින් කුමාරිහාමි, සුමතිපාලගේ මව් මෙන්ම ගමනට එකතු වූ සෙදෝ ද ඒ පිළිබඳ විමසිලිමත් වූහ.
කුමාරිහාමිට ආකහේ පායන සඳ වාගේ ගෑණු දැරිවියෝ දෙදෙනෙක් ම ඕං මේ වංගියේ.. කුමාරිහාමිගේ මුහුණ එළිය වැටුණේ දහසක් තරු එකවර පෑයුවා මෙනි.
අපෙ කුමාරිහාමි ඒ උනාට මේ දැරිවියෝ දෙන්නා පුංචි සන්දියේ හිට ඔය ඇස් දෙක වාගේ රැකබලා ගත්තොත් හොඳා.. හාමුදුරුවන් එසේ කියා විටක් ඒදන්නට ගත්හ.
අපේ හාමුදුරුවනේ මොකුත් නස්පැත්තියක්වත්දැයි.. සුමතිපාල නිලමේගේ අම්මා හාමුදුරුවන්ගෙන් එසේ විමසුවේ හාමුදුරුවන්ගේ කතාව හිතට නෑල්ලූ නිසාය.
එහෙම මේ බාධාවක් නෙව. කොහොමත් කෙල්ලන්ව පරිස්සං කොරන්න එපැයි. හාමුදුරුවන් සිනා සී එසේ කීහ.
හාමුදුරුවන්ගේ කතාවේ හැංගුණු යමක් පවතින බව යසවතී කුමාරිහාමි බඩත් දොක්කාන ගල මත්තෙන් බහින ගමන් ද කල්පනා කළාය.
සෙදෝ... සෙදෝ... කුමාරිහාමි සෙදෝට හිමිහිට අඬගැසුවාය.
කුමාරිහාමි, සෙදෝ ළඟට පැමිණියාය.ලොකු කුමාරිහාමි අඩුවැඩිය ගමන් මල්ලට අසුරා ගනිමින් සිටි නිසා ඇයට ඒ බව නෑසිණි.
සෙදෝ.. ආයෙමත් හාමුදුරුවන් මුලිච්චි වෙන්ට පලයන්. මට මොකද්දෝ අමුත්තක් තේරෙනවා. කුමාරිහාමි කීය. සෙදෝ වහා හාමුදුරුවන්ගේ කුටියට දිව්වාය. කවදාවත් හාමුදුරුවන් කියූ නාඩි වාක්‍ය හෝ පේනයක් හෝ වේලාපත්කඩ අනාවැකියක් හෝ කිසිදා නොවැරදී ඇති බව යසවතී කුමාරිහාමි ගේ ඔළුවට නැවත මතක් විණි.
මොකො බං ඔතන කොනහන්නේ. හාමුදුරුවෝ ඇඳි පුටුවෙන් නැගිට සෙදෝගෙන් ඇසීය. අපේ හාමුදුරුවනේ පොඩි කුමාරිහාමි අපේ හාමුදුවන්ව බැහැ දකින්ට එන්නය කීවා. සෙදෝ කාරණය කීවාය.
හ්ම්ම්ම්.. පොඩි කුමාරිහාමි හොඳ බුද්ධිමත් තැනැත්ති සෙදෝ. හරි ම සකසුරුවම්. ආණ්ඩුවක් උනත් මෙල්ල කළ හැකියි. හාමුදුරුවන් සෙදෝට කීවාය. සෙදෝ එහෙයි කීවා පමණි. අපිට ගේන කරුම වළක්කන්ට බෑ සෙදෝ. කුමාරිහාමිට මං මොකුත් නොකී වග උඹ කියාපන්. හැබැයි කුමාරිහාමි දරුවෝ වැදුවට අහවර මේ මේ තල්පත් කෑල්ල දෙනවා හොඳයි ඈට.
හාමුදුරුවන් කුමක් දෝ සටහන් කර සෙදෝ අත තැබුවාය. සෙදෝ එය දෑතින්ම ගෙන හාමුදුරුවන්ගේ දෙපා වැන්දාය.
ගොහින් එන්ටං අපෙ හාමුදුරුවනේ...
හොඳා.. සෙදෝ පුළුවන් නං හෙටානිද්දා දිහාවට නෙළුම් අල ටිකක් හොයාගත්තොත් හොඳා. මං හිතන දේම නම් උඹට හෙටානිද්දා දිහාවට නෙළුම් අල උවමනා වෙයි.
එහෙයි හාමුදුරුවනේ, සෙදෝට හාමුදුරුවන් කියූ අපබ්රංසය නොතේරුණ ද එහෙයි කීවේ නොකියා බැරි නිසාය.නෙළුම් අල කතාව කුමක්දැයි නැවත ඇසීම නොහොබි යැයි සිතා සෙදෝ කටපියාගෙනම පල්ලම් බැස්සාය.
එන ගමන් ද යසවතී කුමාරිහාමි කල්පනා කර කර ආවේ හාමුදුරුවන් ගේ කතාවමය. මොකුත් කිව්වේ නැද්ද සෙදෝ.. නැවත වතාවක් කුමාරිහාමි සෙදෝගෙන් ඇසුවේ කුහුල නිසාමය.
නෑ කුමාරිහාමි.. එතකිට යංතං වයස විස්සක් වූ සෙදෝ පාරේ එහෙ එහේ දුවමින් කුමාරිහාමිගේ කතාවට උත්තර බැන්දාය. සුමතිපාල නිලමේගේ මෑණියන් ඉස්සර වී ගමන් කරයි. සෙදෝ ද කොහාට උනාදැයි නිච්චියක් නොවුණු යසවතී කුමාරිහාමි ඔසරි පටින් දාහය නිවාගන්නා ගමන් ඉදිරියට ඇදුණාය.
මේ.... වතුර බිඳිති ඇඟට ඉහෙත් ම කුමාරිහාමි ගැස්සී බැලුවාය. සෙදෝ සුදු ම සුදු නෙළුම් මල් පොකුරක් ම කඩාගෙන විත්ය.
අපෙ අප්පේ.. ලස්සන සෙදෝ. උබ වැවට ගියාදැයි.
සෙදෝ ඔළුව වැනුවාය.
__________________________________
අම්මේ,
යසවතී කුමාරිහාමි සුමතිපාලගේ අම්මාට කතා කළාය.
මොකො දරුවෝ මොකවත් අමාරුවක් දැ.. ඈ ඇසුවේ කලබලෙනි.
නෑ අම්මේ. මට සුවඳැල් හාලේ බතුයි නෙළුම් අල මාළුවයි එක්ක බත් කන්ට ආසයි. පන්සලට ගොස් පැමිණි හතරවෙනි දවසේ කුමාරිහාමි එසේ කීවාය. පුතා සිටියේ සුමතිපාල නිලමේගේ අම්මා අතය. එහෙම ම කුස්සියට ගිය ඈ සෙදෝ ඇමතුවාය.
සෙදෝ.. හනික පෑලිස්ගේ ගෙදරට ගිහින් කියාපං නෙළුම් අල පෑලක් ගලවාගෙන එන්නය කියාලා.
මැණිකේ.. ඒ මක්කටෙයි සෙදෝ ට හාමුදුරුවන් කියූ කාරණාවද මතක් විණි.
කුමාරිහාමිට සුවඳැල් හාලේ බතුයි නෙළුම් අල මාළුවයි කන්ට දොළදුක සුමතිපාලගේ අම්මා කීවාය. ඉතින් හනික පලයන් කෙල්ලේ, ඇවිත් අටුවෙන් සුවදැල් හාල් ටිකක් අරන් ලිප තියාපන්..
මොන නස්පැත්තියක් වේදැයි සිතාගත නොහී සෙදෝ පෑලිස් සොයා දිව්වාය.
සුමතිපාල නිලමේගේ අම්මා හනික සුවඳැල් හාලේ බතුත් තෙල් පෑදෙන්නට නෙළුම් අල මාළුවකුත් උයා කුමාරිහාමිට දුන්නාය. යසවතී කුමාරිහාමි මැටි කෝප්පයකට බත් බෙදා ඉස්මුරුත්තාවට එනතෙක් කෑවාය.
_______________________________
ආඅ...හම්මේ...ආආආඅ.. අම්මේ..ආආඅ..
යසවතී කුමාරිහාමිට විලිරුදා හැදුණේ මහා රාත්‍රියේ ය. සුමතිපාල නිලමේ වහා වලව්වෙ අතවැසියා වූ පීතර වින්නඹු අම්මා දොක්කාන එන ලෙස පිටත් කළේය. වලව්වේ වැඳුම් ගේ දෙසින් මහා විලාපයකි. සෙදෝ ද සුමතිපාල නිලමේගේ අම්මා ද ගමේ තවත් ගෑණුන් දෙදෙනෙක් ද වින්නඹු අම්මාද වැදුම්ගෙයි ය.
හෝරා කිහිපයක් ඔට්ටු උනද යසවතී කුමාරිහාමි දරුවන් නොවැදුවාය. තවත් වේලා ගියහොත් යසවතීගේ ජීවිතයට හානි බැව් තේරුණු වින්නඹු අම්මා වහා වහා නිලමේගේ අම්මා ඇමතුවාය.
මැණිකේ, කුමාරිහාමිගේ ඇඟේ තව නං සක්තියක් නැතුවා. හැකි ඉක්මණින් ටවුමේ ඉස්පිරිතාලෙට අරන් යමු.
පුතේ පුතේ, සුමතිපාල නිලමේගේ අම්මා වහ වහා ඉදිරිපසට ගොස් සුමතිපාල ඇමතුවාය. පුතේ දුවව ඉස්පිරිතාලෙට අරන් යන්න වෙලා. හනික වාහනේ ලෑස්ති කරන්න. සුමතිපාල වාහනේ ලෑස්ති කරන අතර ම වලව්වට පන්සලෙන් පණිවිඩයක් ගෙන ඇබිත්ත මිනිසා පැමිණීය.
මේං මේ තෙල් ටික ගෑහම කුමාරිහාමි දරුවා වදාවි කියලා හාමුදුරුවෝ කියව්වෙ. අඳුරු පැහැති කුප්පියක් සුමතිපාලගේ අම්මා අතට දුන් පන්සලේ ඇබිත්තයා හනික නැවත ගියේය.
සුමතිපාලගේ අම්මා වහ වහා තෙල් ටිකක් ගෙන කුමාරිහාමිගේ කුසේ ගෑවාය. හෝරා බාගයක් ඉක්ම යන්නට ප්‍රථම කුමාරිහාමි දූවරු දෙන්නෙක්ම බිහි කළාය.
සසඳා මැණිකේ කුමාරිහාමි
ළසඳා මැණිකේ කුමාරිහාමි
_________________________________
අපේ අම්මා මේ අක්කා ඉන්න දෙන්නෑ.
අම්මේ මේ නංගි හූරනවා.
අනේ අම්මේ මගේ පොත් ඔක්කොම ඉරලා දාලා මේ අක්කා.
සසඳාගේත් ළසඳාගේත් හැමදාම ඇසෙන මේ ගාලගෝට්ටිය ඇසෙන්නේ ඔවුන් දෙදෙනාගේ දාසය වයස් පිරී යද්දීත් ය. කුඩා කාලයේ පොඩි කමට යැයි සිතා හිනැහුණත් ලොකු වනවිට අක්කා නගාලගේ කෲරකම් සැහැසිකම් තවත් ඔඩුදිව්වේය.
මේ මගේ අක්කායැයි හෝ මේ මගේ නංගි යැයි හෝ කිසිඳු තෙතමනයක් මේ හදවත් දෙකේ නොතිබිණි. කොයි හැටි වෙත්දැයි කිවහොත් දෙදෙනා එකම පාටින් ඇඳුමක් හෝ ඇඳීමට මැලි වෙයි.
අම්මේ මට කොළකැඳ හදා දෙන්නකෝ ළසඳා අම්මට පවසන්නේ ඇඟේ දැවටි දැවටීය. අනේ අම්මා ඔය ජරාව නම් මට එපා මට කුරක්කන් කැඳ ඕනා. සසඳා පවසන්නේ නංගීට රවමිනි. දෙදෙනා එකට එක ඇඳේ නිදාගත් දිනයක් මතක නම් යසවතී කුමාරිහාමිට මතක් කල හැක්කේ පස් අවුරුද්දක් වන තෙක් පමණි. ඉන්පසු දෙදෙනා වෙන වෙනම ඇඳක් ඉල්ලා පෙරෙත්ත කළෝය. ඉන් වැඩිපුර අපහසුවට පත් වුනේ යසවතී ය. දෙදෙනාගෙන් කවුරුන් හෝ අම්මාව අනෙකාට දීමට කැමති නැත. මේ නිසා දෙදෙනා ළඟම ඉන්නට යසවතීට සක්රයාගේ වරමවත් ඕනෑ බව සෙදෝ විටෙක හිනාවෙන් කියයි.
ටිකෙන් ටික වැඩෙද්දී මේ සැහැසිකම් වැඩි වූවා මිසක අඩු වුණේ නම් නැත.
කිසිඳු විටෙක කෙනෙකුට කෙනෙක් පරදින්නට මැලි වූ නිසා ඉගෙනීම අතින් දෙදෙනා ඉතා ඉදිරියෙන් පසු විය.
සල බලාංං.. දඩහ්..
සාලය දෙසින් ඇසුණු හඬින් යසවතී මෙන්ම සෙදෝනා ද යසවතීගේ ලොකු පුතු වූ ජගත් ද ඉදිරිපසට ගියේ ඉතා වේගයෙනි.
බිම වැටී සිටි සසඳා රෞද්‍ර මුහුණින් ළසඳා දෙස බලා සිටියාය. ළසඳා සසඳාගේ පොත් ටික මහ හයියෙන් සසඳා දෙසට විසි කළාය.
උඹට මං කියලා තියෙනවා නේද මගේ දේවල් ගන්නෙපා කියලා. ළසඳා මහ හයියෙන් ගිගුරුවාය.
උඹේ දේවල් ගන්ට, ඇයි මං හිඟන්නියෙක් වගේද පේන්නේ මං මේ වලව්වේ පොඩි මැණිකේ තෝ දන්නැද්ද.. සසඳා ඊට නොදෙවෙනි හඬින් කෑගසා අසල වූ පිත්තල පෝච්චියෙන් ළසඳාට ගැසුවාය. එය වැදී ළසඳාගේ අත තුවාල විණි.
චූටි මැණිකේ, සෙදෝ වහා ඉදිරිපසට පැන්නාය. ළසඳා ඔහොමද අක්කට කතා කරන්නේ.. යසවතී ඉතා කේන්තියෙන් ළසඳාට ගහන්ට පැන්නාය. සසඳා නංගි ගේ අත තුවාල වෙලා බලාපන්.
ඉතිං මට මොකද තොලොංචි වෙලා ගියදෙන්.. සසඳා එසේ කියා පොත් ටිකත් අසුලාගෙන තමන්ගේ කාමරයට වැදුණාය.
මේකි මගේ පෑන් පැන්සල් අරගෙන ළසඳා තරහව පිට නොවුණු මුහුණින් කීවාය.
ඉතින් මෙහෙම කුලල් කාගත්තම හරිද.. දේවදත්තයෝ වගේ. තොපි එක බඩවැල කඩාගෙන නේද ආවේ.. යසවතී තරහ මුසුව එසේ කියා දැම්මාය.
යසවතී කුමාරිහාමි දෙදෙනාගේ පලි ගැනීම් නිමක් නැති තැන පන්සලට යන්නට ඉටා ගත්තාය. හාමුදුරුවන් ද දැන් වයස්ගතය.
හ්ම්ම්ම්ම්.. සියල්ල අසා හාමුදුරුවන් එසේ සුසුමක් හෙලීය.
පොඩි මැණිකෙයි, චූටි මැණිකෙයි කොච්චර පිට ඇත්තන්ට හොඳ වුනත් දෙන්නට දෙන්නා පේන්න බැරි තරමට නයි වෛරක්කාරයි කුමාරිහාමි. කුමාරිහාමිට මතකද මන්දා ඔය දැරිවියෝ දෙන්නා බිහි කරන්න ගිහින් වින්ද දුක. ඒ උනෙත් එක්කෙනෙකුට එක්කෙනෙක් පරදින්න තිබ්බ මැලිකම.
කුමාරිහාමි අඬන්න ගත්තාය. මං මොකද්ද හාමුදුරුවනේ කරන්නේ. නිලමේටත් ඒ හැටි ගාණක් නෑ, පොඩි කෙල්ලොනේ කියලා අමතක කරලා දානවා. කුමාරිහාමි කීවෙ හිතේ උපන් ශෝකයෙනි.
අවුරුදු 22 වෙනකන් කොහොමහරි පරිස්සම් කරමුකෝ. දැං 18 ක් නෙව. තව පුංචි කාලයයිනේ. ඉන් පස්සේ ඔය දැරිවියන්ට දීග යන කල උරුම වෙයි. කොහොමත් ඉගෙන ගන්ට දස්ස නිසා දෙන්නා දෙපැත්තකට වෙන්න නියමිතයි. එතකොට ඔය ගති අකාමකා යයි. හැබැයි රජෝ ඔය තරහව නම් ඉවර වෙන එකක් නෑ. නොපෙනී ඉන්නකොට හරි ඕවා අඩු වෙන්නැතැයි
හැබෑට හාමුදුරුවනේ ඔය වෛරක්කාරකම මොකද්ද.. කුමාරිහාමි ඉන්නම බැරි තැන ඇසුවාය.
නැවත වතාවක් දෙදෙනාගේ වේලාපත්කඩ දෙකට ඔළුව ඔබාගත් හාමුදුරුවන් රැල් බුරුල් හැරියේය.
ඒක මෙහෙමයි කියන්ට බෑ අපෙ මැණිකේ. කොහොම නමුත් මීට ආත්මභාව කීපෙකට එපිටින් මේ දෙන්නම එක කුසේ සහෝදරියන් වෙලා ඉපදිලා තියෙනවා. ඒ ආත්ම භාවයේදි නැඟුණු කෝප ගින්න ජීවිත පවා විනාශ කරන්න හේතු වෙලා තියෙනවා. නමුත් එකක් කියන්නෝනි එක්කෙනෙකුට හරි මොනයම් දෙයක් උනොත් අනිත් කෙනා ඉන්නේ නම් නෑ. ඒ තරම් මේ සහෝදරකමත් ප්‍රබලයි.
හාමුදුරුවන්ගේ කීම සිතදරාගෙන කුමාරිහාමි එන්න ආවාය. කොහෙන් ආ කරුම වෛරයක්දැයි කුමාරිහාමිට සිතා ගත හැකි නොවිණි.
දෙදෙනා කෙසේ හෝ අධ්‍යාපන කඩයිම් ද සමත් වී විශ්වවිද්‍යාල වරම් පවා දිනා ගත්තාය. නමුත් ඒ වනතුරුත් රණ්ඩු විනා හිත හොඳින් එක වචනයක් සසඳා අතරවත් ළසඳා අතරවත් හුවමාරු නොවිණි.
සසඳාට හා ළසඳාට විසි එක් වයස් පිරෙද්දී කුමාරිහාමි ඉටා ගත්තේ තව එක අවුරුද්දක් කෙසේ හෝ හාමුදුරුවන් කිව්වා සේ දෙදෙනා රැක ගැනීමය. විශ්වවිද්‍යාලයේ නිවාඩුවට ගෙදර ආ දෙදෙනා කාමර දෙකට වී වැඩ කරනු දැක කුමාරිහාමි කුස්සිය මුල්ලේ වේලෙන්ට දමා තිබූ කජුත් කොට්ටම්බාත් තලා කජු ළසඳාටත් සසඳාට කොට්ටම්බාත් ගිහින් දුන්නාය. අක්කා නගෝ කවදාවත් අනෙකා ආසා දෑ දෙස හොරැහින් හෝ නොබලයි.
පොඩි මැණිකේ, චූටි මැණිකේ.. කුමාරිහාමි දෙදෙනාට ම අඬගැසීය. යමුද පන්සල් ..?
හා අම්මා.. දෙදෙනා හිස් නොඋස්සාම හා කීවේ දෙදෙනා දෙස නොබලාය.
ආ.. පන්සල ම එළිය වැටිලා නෙව. මැණිකෙලා ආහම හාමුදුරුවන් එලෙසට කියා දෙදෙනාටම පිරිත් නූල් බැන්දාහ. වතාවත් කල අහවර ව සියළු දෙන නැවත පැමිණියේ වැව් තාවුල්ල දිගේය.
ඔය දෙන්නා හම්බවෙන්ට ඉන්දැද්දී මට නෙළුම් අල කන්ට හරි ආසාවක් ආවා. මේ වැවේ නෙළුම් අල හරි රහයි. යසවතී කුමාරිහාමි දෙදෙනාගේ අත් දෙකෙන් අල්ලා පැවසීය. හෙමි හෙමිහිට තුන්දෙනා වැවේ බිසෝකොටුව හරියට පැමිණියෝය.
අම්මා... සසඳා වැවේ මල් කඩන කෙනෙක් දැක නොඉවසිල්ලෙන් කෑගෑවාය. අනේ අපෙ අම්මා නෙළුම් මල් ටිකක් ගමුකෝ.
අනේ අම්මා මටත් ඕනා, ළසඳා ද මල් දැක කෑගෑවාය.
අම්මා මටයි මුලින් උවමනා කීවේ. සසඳා මුරණ්ඩු හඬින් කීවාය.
හිටින්න හිටින්න. මං දෙන්නටම මල් අරන් දෙන්න. කුමාරිහාමි ඈතින් මල් කඩන කෙනෙකුට කතා කොට මල් පොකුරක් ගත්තාය. දෙදෙනාට සමානව මල් බෙදා දුන්නාය. කුමාරිහාමිගේ සිත සතුටකින් බර වී තිබුනේ දෙදෙනාම එක ම දෙයට ආසා වූ පළමු අවස්ථාව මෙය වූ බැවිනි.
උඹ නිසා තමා මට මල් පොකුරම ගන්ට නැති උනේ හැතිරී. සසඳා ළසඳාට නෝක්කාඩු කීවාය.
ඉඳා වැව උඹගෙද.. වැවේ පිපෙන මල් ඕනෑ කෙනෙකුට අයිති. ළසඳාට තරහින් කීවාය.
හා හා..යමල්ලා ළමයිනේ..කුමාරිහාමි ඉක්මණින් ගෙදර එන්නට පටන් ගත්තාය.
_________________________________
හප්පේ මේක නං දෙයියන්නේ වරුසාවක් සුමතිපාල නිලමේ ඉස්තෝප්පුවේ සිට නොනවත්වා වසින අනෝරා වරුසාව දෙස බලාගෙන මිමිණුවාය. දවස් දෙක තුනක වේලේ සිට එක සීරුවට වසින වැස්ස අදවත් තුරල් වී නැත. යසවතී කුමාරිහාමි විගැහින් කෝපි ටිකක් හදාගෙන සුමතිපාල නිලමේට දෙන්ට ආවාය.
මැණිකේ මොකෑ කරන්නේ..නිලමේ කෝප්පය අතට ගන්නා ගමන් කුමාරිහාමිගෙන් ඇසුවේය.
මං මේ නාරං කැවුම් පොඩ්ඩකුයි, හැඳි කැවුම් පොඩ්ඩකුයි හදන ගමන් හෙට හොඳ දවසක් නෙව.. කුමාරිහාමි කීවාය.
අප්පේ අමතක උනා නෙව. හොඳා හොඳා.. නිලමේ සිනානැගීය.
නිලමේ නිලමේ, වැස්සේම දුවගෙන ආවේ ගමේ මනුස්සයෙකි.
මොකො බං මේ? සුමතිපාල නිලමේ විමසුවේ විමතියෙනි. මේ මුරුගසං වරුසාවේ මොකෑ මේ..
ආං චූටි මැණිකේ වැව් තාවුල්ලේ අඬා අඬා ඉන්නවා.
මොනවා.?ඒ ගෙදර හිටපු ළමයා නෙව. මැණිකේ මැණිකේ.. නිලමේගේ සද්දයට යසවතී කුමාරිහාමි පැමිණියේ තෙල් හැන්ද පවා අතැතිවය.
නිලමේ චූටි මැණිකේ වැව් තාවුල්ලේ අඬ අඬා ඉන්නවලු. කෝ ළමයි දෙන්නා. සුමතිපාල නිලමේ ගුගුලේය.
කා..කාමර දෙකේ උන්නා නෙව නිලමේ. කුමාරිහාමි දුව ගොස් කාමර දෙකම බැලුවා. අනේ හත් රජ්ජුරුබණ්ඩාර දෙයියනේ දරු දෙන්නා නෑ. පුතේ පුතේ.. අනේ නංගිලා දෙන්නා නෑ.
මැණිකේ වැව්තාවුල්ලට යං බලන්න. ආ මිනිසාත් සමඟම කුමාරිහාමිත් නිලමේතුමාත් ජගතුත් වැවට දුවන්නට විය. කිසිවක් නොදත් සෙදෝ දුවන පියවර දැක ඒ ඔස්සේ වැවට පැමිණියාය. යන විට ළසඳා වැව් තාවුල්ලේ බිම බිලාගෙන අඬා අඬා සිටී. කුමාරිහාමිත් නිලමේත් හනික එ දෙසට දිව්වාය. හතර දෙසින් අකුණු කොට කොට වසී.
ළසඳා කෝ අක්කා.. ජගත් පැනපු ගමන් ළසඳාව අල්ලා සෙලවීය. කෝ මැණිකේ අක්කා කුමාරිහාමි ද අඬ අඬා අසයි. අනේ කතා කරපන් දෙයියෝ කෝ අක්කා.
අක්කා..අක්කා.. වැවට වැටුණා.. දැනුම් ම ඇති දා පටන් ළසඳාගේ කටින් සසඳාට අක්කා කියවුණේ දැන් ය.
අනේ.. දෙයියනේ මගේ කෙල්ල. අනේ පුතේ බලාපන්.. කුමාරිහාමි කෑගසන්නට ගත්තාය.
වැවේ වතුර හොඳටම වැඩී නිලමේ. මේ වෙලාවේ නම් පීනන්න කවුරුත් යන එකක් නෑ. ගමේ මිනිස්සු එකා දෙන්නා පිරෙයි.
අනේ කීයක් ගියත් කමක් නෑ. අනේ බලන්න මගේ කෙල්ල. නිලමේ බිම ඇණ තියා කෑගසයි. යන්තම් පීනන්න හැකි පිරිමි කීපදෙනෙක් සොයා විත් වැවේ පීන පීනා සසඳාව සෙව්වෝය. කුමක් සිදුවිණිදැයි සිතාගත නොහැකිව ජගත් වික්ෂිප්ත ව නංගි සොයන්නට වෙහෙසයි. සෙදෝ බලාගත් අත බලාගෙන අඬයි. කුමාරිහාමි සැරින් සැරේ සිහිසන් වෙයි. ළසඳා පමණක් ඔහේ වැව් දිය දෙස බලාගෙන හිඳී.
ළසඳා.. මොකද්ද උනේ කියාපන් මාව නරක ගෑණි නොකර..කුමාරිහාමි එක්වරම ළසඳා ඉදිරියට පැන්නාය. අක්කට මොකද උනේ.. නිකන් පනින්න විදියක් නෑනේ. කියාපම්..
අම්මට ඒකිද වටින්නේ මාවද.. මට රිදෙනවා අම්මා කොණ්ඩේ අතාරින්න. ඒ ළසඳාගේ වදන් ය.
මේ වතුරට යටවෙලා ඉන්නේ උබේ අක්කා. උබට ගාණක් නැද්ද..පව්කාරී ඒකිව මරාගත්තා. උබට මං කුමාරිහාමි ළසඳාට හොඳටම ගහන්න ගත්තාය. සෙදෝ කුමාරිහාමි ව එහාට වත්තන් කරගත්තේ අමාරුවෙනි.
පැය ගාණකට පසු සසඳාගේ සිරුර ගොඩගත්තේ කුමාරිහාමිගේ හා නිලමේගේ අඳෝනාවන් මැද්දේය..
__________________________________
ළසඳා සිටියේ තමන්ගේ එක කුස උපන් අක්කා මියගිය ශෝකයෙන් නම් නොවේ. පොලීසිය විත් කටත්තර ගත්ත ද ළසඳා කීවේ සසඳා වැවට පැන්න වගය. නිලමේගේ සම්බන්ධතා මත ළසඳාව පොලීසියට නොගෙනිය ද ඇයව නිවාස අඩස්සියේ තබන ලෙස නියෝග දෙනු ලැබිණි.
සසඳා මියගියේ 1996 සැප්තැම්බර් 26 වෙනිදාය. සැප්තැම්බර් 27 දෙදෙනාගේම උපන්දිනය ය.
සසඳා මියගොස් හතරවෙනි දවසේ සිට ළසඳා සිටියේ අමුතුවෙනි. නින්ද නොයෑම, බලාගත් අත බලා සිටීම වැනි ඒවාය. කුමාරිහාමි හරි උවමනාවෙන් ඒවා බලා සිටියාය.
ටික දිනක් ගතවිණි. ළසඳා එකවරම හීනෙන් කෑගැසුවාය. කුමාරිහාමි හා සෙදෝ හනික කාමරයට ගොස් බලන විට ළසඳා ජනේලය දෙස බලාගෙනය.
මොකෝ උනේ පුතේ., කුමාරිහාමි ඇසුවාය.
අරකි මට ඉන්න දෙන්නෑ. කෞද පුතේ.. කුමාරිහාමි විමසුවාය. දන්නෑ අම්මා.
අනේ මට බයයි අම්මා.
කුමාරිහාමි වහා පිරිත් තෙල් ටිකක් ළසඳාගේ හිසට දැම්මාය. ටිකකින් තත්ත්වය සාමාන්‍ය විණි. නමුත් තත්ත්වය එන්න එන්නම දරුණු විය. පෙනෙන හැටියට සසඳාගේ ආත්මය ළසඳාට කරදර කරන බව පෙනෙන්න තිබුණි.
සසඳා මියගොස් මසක් පමණ ගත වෙද්දී එක්තරා උදෑසනක ළසඳා ද කාමරයේ ගෙල වැලළගෙන මියගොස් තිබුණාය. මසක් ඇතුළත අක්කා නගාලා දෙදෙනාම අකාලයේ මිය යෑම වලව්වට හෙණ ගැසීමක් හා සමාන විය.
ළසඳාගේ ද මරණින් පසු යසවතී කුමාරිහාමි සිටියේ පිස්සුවෙන් මෙනි. මුළු වලව්වම හෝන්දු මාන්දු වී ඇත.
ටික දිනකට පසු සෙදෝ ළසඳාගේ කාමරය අස් කරන විට මේස ලාච්චුවේ තිබූ කුඩා පොතක මෙලෙස සටහන් කර තිබුණි.
..අපි දෙන්නා ළඟ තව කවුරුහරි හිටියා. ඒ බව තේරුණේ අක්කා ගිහාම...
තවත් පිටුවක.,
මං එහෙම කරේ නෑ.
තවත් පිටුවක.,
අක්කව තල්ලු කරා. මං දැක්කා.
ලෙස ලියා තිබිණි. කුමක් හෝ දෙයක් වන බව දන්නා නිසා සෙදෝ එම පොතත් ගෙන වහ වහා පන්සලට ගියාය. කරුණු කාරණා විමසූ හාමුදුරුවන් වහා මොනාවාදෝ මතුරන්නට විය. මතුරා අවසන හාමුදුරුවන් පණිවිඩයක් ඇර වලව්වේ ඇත්තන්ට එන්නට කියූහ.
කුමාරිහාමි, මං කිව්වනේ කොයිතරම් වෛරයෙන් හිටියත් මේ අක්ක නගාලා එක්කෙනෙක්වත් නැතුව ඉන්නෑ කියලා.
අනේ හාමුදුරුවනේ මගේ කෙල්ලෝ දෙන්නා නැතුව මං කොහොමද ඉන්නේ.. කුමාරිහාමි ඇඬුවාය.
නෑ කුමාරිහාමි කෙල්ලෝ දෙන්නෙක් නෙවේ. කෙල්ලෝ තුන්දෙනෙක්.. හාමුදුරුවන් පැවසූ වහාම නිලමෙත් කුමාරිහාමිත් සෙදෝත් තක්බීර් වූහ.
හාමුදුරුවනේ මොකද්ද ඒ හරුපේ..නිලමේ විමසීය.
නිලමේ මැණිකෙලා දෙන්නා කුසට එන වෙලාවේ කුමාරිහාමිගේ කුසට තවත් දරුවෙක් ආවා. ඒත් කර්ම ශක්තියට අනුව ඒ දැරිවිට ආයුෂ තිබුණේ නෑ උපදින්න.
මේ දරුවන් තුන් දෙනාම උපනූපන් ජාතියේ සහෝදරියන්. දෙදෙනෙක් එකට උපදිනකොට අනිත් කෙනා තනිවෙන නිසා තනිඋනු ආත්මය මේ දෙදෙනා වටා සැරිසර සර තමා උන්නේ මේ තරම් කාලයක්. ඒ දැරිවි මේ දෙන්නට සහෝදර ප්‍රේමෙන් ඉන්න දුන්නෙම නෑ. කොහොමහරි ඒ ලෝකෙට ගන්නමයි බැලුවේ. නමුත් අරගෙන ආපු කුසල බලවත් නිසා ඒක කරගන්න බැරි උනා. මං හැමතිස්සෙම කිව්වේ අවුරුදු විසි දෙකක් වෙනකං රැකගන්න කියලා. මේ දෙන්නට අවුරුදු විසි දෙක වෙනකන් විතරයි ආයුෂ පිහිටලා තිබ්බේ. කුමක් හෝ සංසාර පුරුද්දට එදා සසඳා මැණිකේ වැවට ගියා. වැවත් එක්ක දැරිවියෝ තුන්දෙනාටම තියෙන්නේ අපූරු බැඳීමක්. මොකද තුන් දෙනාම ඔයිට කලිනුත් ඔය වැවටම පැනලා මැරිලා තියෙනවා.
කොහොමින් හරි සසඳා මැරුණු දුක වාවගන්න බැරිවයි, ආත්මය සැරින් සැරේට වද දෙන නිසයි ළසඳා මැණිකෙත් අන්තිමට ගෙනාපු ආයුස නිමා කලා.
කුමාරිහාමි, සෙදෝ මෙන්ම නිලමේ සිටියේද හඬමිනි.
නිලමේ දානයක් දෙන්න සුදානම් කරානං මේ සහෝදරියෝ තුන් දෙනාටම උපනූපන් ජාතියේ එකටම උපදින්ට පින් අනුමෝදන් කරන්නයි ඕනා.
_________________________________
වලව්වට තුන් ගුණයක හාමුදුරුවන් වඩමවා සසඳාටත් ළසඳාටත් නූපන් වුවත් දෙදෙනා අතරම සිටි අනෙක් දැරියටත් පින් දුන්නෝය.
එදා සවස ඊට අවුරුදු විසි දෙකකට පෙර හාමුදුරුවන් සෙදෝ අත එවූ තල්කොළේ තිබූ ලියමන යසවතී කුමාරිහාමි නැවත එළියට ගෙන බැලූවාය. එහි තිබුණේ කවියකි.
නෙළුම් මල් තුනකි කුස වට පිරීලා
නෙළුම් මල් දෙකකි සඳ සේ පිපීලා
සහෝදර කැකුළු සකි සඳ පුරාලා
බවෙන් බවේ එන මඟ මේ සොයාලා..
__________________________________
සොහොන් කොත් දෙක වටේ තිබූ තණකොළ උගුලන ගමන් දස වසරකට පෙර වූ ඒ සිද්ධි දාමය කුමාරිහාමිටත් සෙදෝටත් වෙන වෙනම මැවී පෙනිණි. හාමුදුරුවෝ අන්තිමට කියූ පද ටික කුමාරිහාමිට දැනුත් ඇසේ.
විශ්වාස කරන්ට අමාරු වෙන්න පුළුවන් කුමාරිහාමි. ඒත් සහෝදර බැම්ම කියන්නේ ජාති ජාති පතාගෙන එන දෙයක්. ඒ බැම්ම කඩන්ට කාටවත් බෑ. පෙනි පෙනී හරි නොපෙනී හරි ළඟ ඉඳලා සහෝදරයෝ ළං වෙනවාමයි.
යළිඳු කුංචන ජයවීර
භූ ගෝල විද්‍යා අධ්‍යයන අංශය
සමාජීය විද්‍යා පීඨය
සිතුවම - ජිත්මි අංජලිකා
පළමු වසර
ප්‍රාසාංගික හා දෘශ්‍ය කලා අධ්‍යයන අංශය