වැහි කුඩය
- කතා
 - Affichages : 3812
 

පාන්දරින් ම හීන් වැහිපොදක් වැටෙන සද්දෙ වගේම කුස්සියෙන් නොනවත්වාම ඇහෙන ලිපට පිඹින සද්දෙ අහගෙනම මං තව තවත් ඇඳේ ගුලිවුණා. පැය දෙකකටත් පස්සේ මං ඇහැරෙද්දි අම්මා  පුරුදු විදිහටම රොටිය ලිප ළඟින් තියලා ගිහින්. ඉස්කෝලෙ යන්න ඕනෙ නිසා ඇහැරුනා මිසක් මේ වැස්සත් එක්ක තව ටිකක් ගුලිවෙලා නිදාගන්න හිතයි.
මං ගියොත් වැස්සට තෙමෙන නිසා රෑ පුරාම එළියේ තිබුණ මගේ සුදු කමිසෙ අම්මා ගෙට අරගෙන. අම්මා  අද දළු කඩන්න ගිහින් තියෙන්නෙ පොද වැස්සෙමයි. අම්මා පරණ කලු කුඩේ මට තියලා ගිහින්. ගෙදරට ම තියන එකම කුඩේ මට තියලා අම්මා තෙමි තෙමී යන්න ඇති.  
මගේ නිල් පාට කුඩේ මං ගිය සතියේ ඉස්කෝලේ ඇරිලා එද්දි බස් එකේ අමතක කරලා ඇවිත්. 
“උඹට ඉතින් සිහිය නෑනෙ”
එදා නම් අම්මාගෙන් ටොක්කකුත් කෑවා. ඕක මතක් කරලා අම්මා ඊයෙ හවසත් බැන්නා. 
රොටිය කාලා පොත් ටිකත් අරගෙන පාරට බහිනකොට ම වැස්ස වැඩිවුණා.  කලු කුඩේටත් දරාගන්න බැරි තරමේ වැස්සක්. අම්මා හොඳටම තෙමෙනවා ඇති.
ඉස්කෝලෙ ඇරෙන වෙලාවට වැස්ස පායලා. ඒත් තව ටිකකින් මහ වැස්සක් එන සළකුණු අහසේ පේන්න තියනවා. ගුරු පාර හරහා වැටිලා තියන පුංචි දිය කඩිත්ත මහා ජල පාරක් වෙලා. ඒදණ්ඩේ හැප්පෙන තරම් වතුර පාර සැරයි. ඊළඟ වැස්සට නම් ඒදණ්ඩටත් උඩින් වතුර ගලාවි.
ගෙදර වැටකඩුල්ල පනිනකොට ම ආයෙමත් හීන් වැහිපොදක්. ආයෙමත් හයියෙන් වහින්න වගෙයි යන්නේ. 
අම්මා තව ම ඇවිත් නෑ. අම්මා වැස්සට අහුවෙයි ද? කුඩෙත් නැතිව අම්මා හොඳටම තෙමෙයි.
දෙයියනේ කුඩේ?
අදත් බස් එකේ අමතක උනා නේද?
තව ටිකකින් බස් එක ආපහු එනවා. දැන්ම තාර පාරට ගියොත් මට අල්ලගන්න පුලුවන් වෙයි.
පොද වැස්ස වැඩිවෙද්දි මං ආයෙමත් තාර පාරට දිව්වා. මගේ වෙලාව හොඳයි කුඩේ බස් එකේ මං හිටපු තැනම තිබුණා. මේ කුඩෙත් නැති උනොත් නම් අම්මාගෙන් බැනුම් කෝටියයි. 
කුඩේ පපුවට තුරුලු කරගෙන මං ආයෙමත් ගුරු පාරට එනකොට වැස්ස හොඳටම වැඩිවෙලා. පාර දිගේ ගලන වතුරට ගුරු පාර මඩ වගුරක් වෙලා. ඒදණ්ඩ ළඟට එන කොට ම ලොකු අකුණකට මාව වෙව්ලලා ගියා. ඒ දණ්ඩ ළඟ කුඩයකුත් ඉහළගෙන හිටපු මනුස්සයා ආපහු හැරිලා මං ඉන්න පැත්තට එන ගමන්
“ඒදණ්ඩටත් උඩින් වතුර පාර... මේ වැස්ස ඉවර වෙනකල් එගොඩට යන්න වෙන්නෙ නෑ”
ඒ මනුස්සයා එහෙම කියාගෙන මාව පහු කරගෙන ගියා.
ඒ මනුස්සයා කියපු කතාව හරි. ඒදණ්ඩට උඩින් වේගෙන් මඩ වතුර ගලාගෙන යනවා. විටින් විට ඒදණ්ඩ මතු උනත් වතුර පාර සැරයි.
දෙයියනේ මං කොහොමද දැන් ගෙදර යන්නේ? අම්මා මේ වෙද්දි ගෙදර ඇවිත් ඇති. මං පේන්න නැති නිසා අම්මා හොඳටම කලබල වෙලා ඇති. තවත් පරක්කු වුනොත් අම්මා මාව හොයන්න පටන්ගනියි. 
ඕනෙ දෙයක් වෙන්න කියලා මං ඒදණ්ඩට කකුල තිබ්බා. වතුර පාර සැරින් සැරේ ඇවිත් වේගෙන් මගේ කකුලේ වැදෙනවා. හරියට මාව මහා වතුර පාරට තල්ලු කරන්න උත්සහ කරනවා වගේ. මට මාවම සමබර නැතිවෙද්දි මගේ අතේ තිබුණ කුඩේ වතුර පාරට වැටෙන්න ගිගින් අනූනවයෙන් බේරුණේ.
 බොහොම අමාරුවෙන් ඒදණ්ඩෙන් එගොඩ වෙලා ගුරු පාරට තියපු පළවෙනි අඩියම ලිස්සලා ගිහින් මං හතරගාතෙන් බිම වැටුණා. සුදු කමිසේ පුරා ගුරු පාටට මඩ ගෑවුණාටත් වඩා මට දුක හිතුනේ අම්මගේ කලු කුඩේ පුරා මඩ තැවරුන නිසා.
එහෙම් ම ගෙදර දුවගෙන ආපු මගේ ඇහැ ගැටුනේ ඔලුවේ අත ගහගෙන අහස දිහා බලාගෙන වැට කඩුල්ල ළඟ ඉන්න අම්මාව. මාව දැකපු අම්මා ඉක්මන් අඩි තිය තියා දුවගෙන එද්දි මට හිතුනෙම අද නම් කෝටු පාර තමයි කියලා.
“උඹ කොහෙද ගියේ මේ මහ වැස්සේ ”
හොඳටම තෙමිලා හිටපු මාව පපුවට තුරුලු කරගන්න ගමන් අම්මා ඇහුවේ ඉකි ගහන ස්වරයකින්.
“කුඩේ ගේන්න ගියේ අම්මේ. බස් එකේ අමතක වෙලා ඇවිත්. හොඳ වෙලාවට මං ගිහින් බස් එක ආපහු එන වෙලාවට කුඩේ ගත්තා.”
“උඹ මොන එහෙකට ද මේ මහ වැස්සේ ආපහු බස් පාරට ගියේ ”
“කුඩේ නැති වුනොත් අම්මාගෙන් කෝටු පාර කියලා මම දන්නවනේ ”
මං ඒක කිව්වේ ටිකක් හෙමින්
“කුඩේ අමතක නොකර ගෙනෙන් කියන්නේ කුඩේට ඇති ආදරේකට නෙවෙයි. ගෙදර එනකල් උඹ මේ මොරසූරන වැස්සට නොතෙමී එන්න ඕනෙ නිසා. මට ඔය කබල් කුඩේ තිබුණත් එකයි නැත්තත් එකයි. ”
සචිනි ඉමල්ෂා උඩවත්ත
විශේෂ්වේදී ප්‍රථම වසර
ජනසන්නිවේදන අධ්‍යන අංශය


                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                