පුතුට ඔවදනක්........
- කවි
- الزيارات: 1956
හිරිකඩ වැටුනම නිකිනි ඌෂ්නෙට පාට අකුරු බොඳ වෙන්න එපා
වාහන හුළඟින් දූවිලි නැටුවට පුංචි පුතුගෙ ඇස් දන්න එපා
දැවෙනා ඉර මල ගිණිගෙන වටුනද හිතක සිසිල වියලෙන්න එපා
කවුලුව අස්සෙන් සඳ කැන් වැටුනට පහන නිවා ලත වෙන්න එපා
පාසල දුර වී පා මඟ ඇද වී තිබුනත් අහිමිව ඉස්කෝලේ
පාට පෙට්ටියේ කූරු නොමැති වී හැඬුවත් සනසනු නුඹ බාලේ
සෙල්ලම් වයසට ජීවිත බර ගෙන අඩිය තියා හෙමිහිට කාලේ
එපා මගේ පුත ඈතට යන්නට පියඹා ගෙන් යන්නම් වාලේ
රැළක් ළමා උන් සෙල්ලම් පිටියේ නැටුවත් නුඹ නම් බලනු එපා
රැයේ සිසිල එයි තනිවූ පාරේ පුංචි පුතුව වෙව්ලන්න එපා
බඩගිනි කුස දයි කෑම පොදක් නැති හිතට දුකක් නම් දැනෙනු එපා
මලක් නොවෙයි ජීවිතය දුකක්මයි එය වටහා පුත හඬනු එපා
දිනන දිනක නුඹෙ දිවියම හැඩ වෙයි තිබූ අපල ගෙවිලාම පුතේ
තබන තබන බිම පා මල් හැඩ වෙයි එදින වෙතට යනු චූටි පුතේ
ඉරටු අකුරු දූවිල්ලෙ ලියාපන් රන් මුතු වැල්ලේ රතට රතේ
දිනක අකුරු නුඹ ජය වෙත ගෙන යයි එය හඳුනා ගනු මගේ පුතේ
අමිල විජේතිලක
සිව්වන වසර
වෛද්‍ය පීඨය