Image

මොකද්දෝ දෙගෙඩියාවකින් අවදි වුණ ඇනාට දවසේ මහා අමුත්තක් දැනුණා. දැනුණ ආගන්තුක බව ඒ විදිහටම හිතේ තියාගෙන ඇනා සුපුරුදු විදිහට දවස ආරම්භ කරා. 

 

බේකන් එකතු කරන් ,චීස් එකතු කරන් හදපු සැන්විචයක් එක්ක උණුම උණු රසම රස කෝපි කෝප්පයක් හදාගත්තු ඇනා තමන්ට අද දවසට පැවරී තිබෙන රාජකාරී නිමකිරීමට සිය දවස කන්තෝරුවෙදී ආරම්භ කරා. 

 

"සුබ උදෑසනක් ඇනා!!. අද වැඩ කොහොමද?"

 

"අද නම් ලොකුවට ගැටලුවක් ආවේ නෑ මිස්. කරගෙන ගියා. "

 

ටක ටක ටක..... ඇනාගේ දවස ගෙවුණේ මේ සද්දෙත් එක්ක.  ටයිප්රයිටරේට තරම් ඇනා ආදරේ කරපු තව දෙයක් ඇයට තිබුණේ  නැ. රාජකාරී නිමයි. හරියටම හවස 5යි. ඩිං ඩෝං ඩිං ඩෝං.... එ⁣කිනෙකා පරයා තෙරපෙමින් කන්තෝරුවෙන් එළියට පැන ගන්න පොරකන බැටලු රංචුවක් ⁣ඇනා දුර තියාම දුටුවත් ඇය කිසිදු කලබලයක් නොමැතිව සුපුරුදු ලෙසම සියල්ලෝම නික්ම  ගිය පසු කන්තෝරුවෙන් නික්මෙන්නට විය. 

 

වෙනදා මෙන්ම නිවසට ලඟා වෙන විට ඇය එන තෙක් බලා සිටින ටොමියා ඇය ඉදිරියට පැමිණ ඇයව පිළිගන්නට විය. නොවරදවා ලැබෙන බදින ලද මාළු කූරියට ටොමියා මහත් සේ ඇයට නගුට වනා කෘතගුණ දක්වන්නට විය. පියගැටපෙළ නැගී ඇනා සියලු වැඩ නිම කර ඇය වඩාත් කැප වූ කාර්යය කිරීමට යොමු විය.

 

"⁣ඉතිං ජෝජ් ඔන්න මං ගෙදර ආවා. අද හරිම ලස්සන දෙයක් මං දැක්කා. පුංචි ළමයි වගයක් අද අලුතින් ඉස්කෝලේ යනවා. ලස්සන මල් ඉති අතේ තියන්. හරි ආදරණීයයි ජෝජ්. ඔයාගේ දවස කොහොමද අද මොකද කරේ? කවදද අපි ආපහු බැදපු හේසල් නට් කන්න යන්නේ? හුම්.... ඉක්මනට හමුවෙයි කියලා මං බලන් ඉන්නවා. මං නවතිනවා එහෙනම් ජෝ. පරිස්සමින්."

 

ඇනාගේ ආදරණීය එහෙත් පාලු හඬ එසේ නිමා වුණා. කැසට් පීසය ලස්සනම ලස්සන රෝස මලකුත් සමඟ අමුණා සුපුරුදු පරිදි ඇය එය සිය මතක පෙට්ටය වෙත රැගෙන ගියා. දහසකුත් එකක් වූ කැසට් පීස් දෙස බලමින් ඇය, 

 

"මං දන්නවා ජෝ ඔයා දවසක මේ කැසට් පීස් අහයි. සමහර විට එදාට මං මේ නගරයේ නැති වෙයි. පරවුණාට ⁣ඒ රෝසමල්වල හැම පෙත්තකම මගේ පාලුව ගැන ඔයාට කියලා දේවි." 

 

නවෝද්‍යා බණ්ඩාරමැණිකේ වික්‍රමසිංහ 

සමාජ විද්‍යා පීඨය

ප්‍රථම වසර