වත්මන් ලක් මෑණියෝ ඉකිබිඳිමින් හඬා වැලපෙති. ඇයගේ කඳුළු සිඳී යන්නට බොහෝ ආසන්න ය. එසේ කඳුළු සිඳී ගියහොත් ඇයට වැගිරීමට සතුටු කඳුළු ද ඉතිරි නොවනු ඇත. ලක් මෑණියන් සුරැකීමට දූ පුතුන් වන අප සියලු දෙනා වගකීමෙන් බැඳී සිටින නමුත් වගකීම් විරහිත සමාජය නිසාවෙන් ඇය අසරණ වී ඇත. මේ හේතුවෙන් ලාංකික ජනතාව වශයෙන් අපි සියලු දෙනා මේ වන විට අර්බුද රාශියකට ගොදුරුව අන්ත දුක්ඛිත තත්වයකට පත්ව ඇත්තෙමු. එයින් ප්‍රධාන අර්බුද අතර ආහාර අර්බුදය හා ආර්ථික අර්බුදය හඳුනාගත හැකිය. වර්තමානය වන විට ලංකාව මන්දපෝෂණයෙන් පෙලෙන රටවල් අතර ප්‍රමුඛස්ථානයට පත්ව ඇති බවද වාර්තා වලින් හෙළි වේ.එමෙන්ම ලංකාවේ ආර්ථිකය ද විශාල කඩාවැටීමකට ලක්ව ඇති බව කවරෙකු හෝ නොදන්නා කරුණක් නොවේ. මෙවන් පසුබිමක මහා පරිමාණයෙන් විසඳුම් සෙවීමට ප්‍රථම තමන්ට හැකි පමණින් ආහාර හා ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම වඩාත් සුදුසු ය. ඒ සඳහා වඩාත් සුදුසු ස්ථානය ගෙවත්තයි. ලංකාවේ බහුතරයකට පරම්පරාවෙන් උරුම වූ ගෙවත්තක් හිමි ය. සුළුතරයක් දෙනා කුලී නිවෙස් වල ජීවත් වෙති. කෙසේ වෙතත් දෙපිරිසටම යම් ආකාරයකින් බෝග වගා කළ හැකි ය. බෝග වගා තුළින් ආහාර හා ආර්ථික අර්බුදයට විසඳුම් ලබාගත හැකිවේ.

 

බෝග වගාව, ගෙවතු වගාව, හේන් වගාව, වී වගාව, විසිතුරු මල් වගාව  යනාදී විවිධාකාරයෙන් හදුනාගත හැකිය. මෙහිදී ගෙවතු වගාව මුල් කොට ගනිමින් සෑම අයෙකුටම තම නිවසින් පිටත ප්‍රදේශයේ සිදුකළ හැකි බෝග වගාව පිළිබඳ සාකච්ඡා කෙරේ. ශ්‍රී ලංකාව සරු පොළවක් සහිත ආසියාතික රටකි. ගැමි කටවහරේ දී මෝල් ගසත් පැලවෙන බව කීම ඊට කදිම නිදසුනකි. කෙසේ වෙතත් වර්තමානය වන විට බොහෝ නිවාස අවට ගෙවත්ත කිසිදු ආකාරයකින් ප්‍රයෝජනයට නොගෙන ඇති අවස්ථා මෙන්ම විසිතුරු පැළවලින් අලංකාර කර ඇති අවස්ථා ද දැකගත හැකි ය. කුලී නිවාසවල ජීවත්වන උදවිය ද මල් බඳුන් ආදිය භාවිත කරන නමුත් ඒවායේ ද සිටුවා හැඩ බලනුයේ විසිතුරු  පැල, මල් පැළ ආදිය පමණකි. සාම්ප්‍රදායිකව බෝග වගාවන් මහා පරිමාණයෙන් සිදුකරන ප්‍රදේශවල පමණක් වී, එළවළු, පලතුරු, පලා ආදිය වගා  කිරීම නිසාවෙන් ඒවා වෙළඳපොල තුළ ඉහළ මිලකට අලෙවි කිරීම සිදුවේ. වර්තමානයේ ඇති වූ පොහොර ගැටලුව හමුවේ සාම්ප්‍රදායික ගොවීන්ගේ අස්වැන්න ද පහළ වැටුණු  අතර ඒ  හේතුවෙන් තව තවත් අහස උසට නැගි බෝග මිල හමුවේ ජනතාව අද වන විට ඉතාම අසරණ තත්ත්වයට පත්ව ඇත. මේ සියල්ලටම සහනයක් වීමට ගෙවතු වගාව ආරම්භ කළ හැකිය.

Image

බෝග වගාව ගෙවත්තේ ආරම්භ කිරීමට නම් පාරම්පරික ගෙවත්තක් හිමි සියලු දෙනාට තම ගෙවත්තේ කැලෑ ප්‍රදේශ එළිපෙහෙළි කර භූමිය බෝග වගාවට සුදුසු පරිදි සකස් කර ගත හැකිය. කුලී නිවාසවල ජීවත් වන අයට මල් බදුන් මෙන්ම නිවසේ ඉවත ලන බෝතල්, ප්ලාස්ටික් භාජන, පොලිතීන් කවර ආදිය පස් පුරවා වගාවට සුදුසු පරිදි සකස් කර ගත හැකිය. පිහිටි පොළොවේ වගාවන් සිදු කිරීමේ දී ජලය ගලා යන ආකාරය, ජලය රැඳෙන ස්ථාන, උස් පහත් බිම් ආදිය පිළිබඳ සැලකිලිමත් වී භූමිය බෝග වගාවට සකස් කළ යුතු අතර බඳුන්  වගාවේ දී ඒ ඒ බඳුන්වල ප්‍රමාණය අනුව බෝග වගාවට යොදා ගත හැකිය. බෝග වගාව ආරම්භ කිරීමට පෙර සැලකිලිමත් විය යුතු තවත් කරුණක් ලෙස කාලීන බෝග වගා කිරීම හඳුනාගත හැකි වේ. එනම් බෝග වර්ග දිගුකාලීන හා කෙටිකාලීන ලෙස විවිධාකාරයෙන් හදුනාගත හැකිය. බෝග වගා කිරීමේදී දේශගුණයද වැදගත් වේ. කෙසේ වෙතත් තම ගෙවත්තේ එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය වන බෝග වර්ග වගා කිරීම මේ මොහොතේ ඉතාමත් ඵලදායී වේ. බෝග වගාවට බඳුන් හා පොලොව සකස් කිරීමෙන් අනතුරුව බීජ අසුරන ලද කුඩා බීජ පැකට් වෙළඳපොලෙන් අඩු මිලට මිලදී ගත හැකිය. ඊට අමතරව එදිනෙදා පරිභෝජනයට වෙළඳපොළෙන් රැගෙන එන බෝග වර්ගයන්හි බීජ වර්ග ද ලබාගත හැකිවේ. නිදසුන් ලෙස කරවිල, තක්කාලි, වේලුන මිරිස් කරල්, වට්ටක්කා ආදී බීජ වර්ග ගෙන තවාන් කිරීමේ හැකියාව ඇත. එමෙන්ම පරිභෝජනයට ගැනෙන බෝග වර්ග වලින් ඉවත දමන කොටස් පැල කිරීමේ හැකියාවද ඇත. එනම් ලීක්ස් ගසේ මුල්, නරක් වූ තක්කාලි ගෙඩියේ බීජ, මුගුණුවැන්න කොළ මිටියේ කපා ඉවත් කරන කොටස ආදිය පැල කිරීමේ හැකියාව ඇත. පැළ  වර්ග වගා කිරීමේ දී හිරු එළියට ආවරණය වන හා නිරාවරණය වන තැන් පිළිබදව සැලකිලිමත් වීමත් අත්‍යවශ්‍ය වේ. එමෙන්ම ජලය සැපයීමේ පහසුව ද සලකා බැලීම වටී.

 

සියලු කාරණා සලකා බලමින් පාත්ති සකස් කර හෝ බඳුන්තුල බීජ සිටුවීමෙන් අනතුරුව ජලය යොදමින් සාත්තු කළ යුතුවේ. එහිදී නිවස තුළ භාවිත කරන ජලය එක් රැස් කර ගැනීමෙන් ඒවා බෝග වගාවට එක් කිරීමේ හැකියාවද පවතී. කාර්යබහුලත්වය මැද තම කටයුතු කරන අතරතුර දිනකට එක් වතාවක් උදේ හෝ සවස් කාලයේ දී ජලය යෙදීම බෝග වගාවට ප්‍රමාණවත් වේ. අධික ලෙස හිරු එළිය සහිත ගෙවත්තක බෝග වගා කිරීමේදී උදේ හා සවස ජල සාත්තු කළ යුතුය. එහිදී අවශ්‍ය ප්‍රමාණයට සෑහෙන ලෙස ජලය යෙදීමට උත්සුක විය යුතුය. බෝග වගාව පවත්වාගෙන යාමේදී යම් විටෙක නොසිතූ පරිදි කරදර වලට මුහුණ දීමට සිදුවනු ඇත. දේශගුණික තත්ත්වයන්ගේ වෙනස්වීම්, කෘමි උවදුරු ආදී වශයෙනි. එහිදී උපක්‍රමිකව ක්‍රියා කිරීමෙන් එම කරදර තත්ත්ව මගහරවා ගැනීමේ හැකියාව ලැබේ. කෘමි උවදුරු සඳහා ස්වභාවික කෙම් ක්‍රම භාවිත කළ හැකිය. ස්වභාවිකව පිළියෙල කරගත් කෘමිනාශක දියර ආදිය ද භාවිත කළ හැකිය.

Image
Image

බෝග වගාව සිදු කිරීමේදී ඊට අත්‍යවශ්‍ය සාධක අතර පොහොර ද වැදගත් වේ. මෙහි දී සුළු පරිමාණයෙන් නිවස අවට වගා කිරීමේදී පොහොර නිෂ්පාදනය නිවසේදීම සිදුකර ගත හැකි ය. එක් ක්‍රමයක් ලෙස කොම්පෝස්ට් නිෂ්පාදනය හඳුනාගත හැකිය. එනම් ගෙවත්තේ සුදුසු ස්ථානයක් තෝරා ගෙන එහි කුඩාවට ලී දඬු උපයෝගී කරගනිමින් කොටුවක් සකසා ගත යුතුය. එහි ඇතුළතින් පොල් අතු කෑලි කපා සිටුවිය යුතු ය. අනතුරුව බිමට ඇල්බීසියා කොළ අතු ඇතිරිය යුතුය. අනතුරුව මිදුලේ ඇති කොළ ආදිය එකතු කර එයට දිනපතා දැමිය හැකිය. පිදුරු ආදිය ද වරින් වර දමමින් කොටුව පුරවන අතර විටින් විට ජලය ද එක් කළ යුතුය. කාලයක් යාමේදී එය දිරාපත් වීමෙන් පොහොර නිපදවා ගත හැකිය. ඒ අතරතුර වගාවන්ට  ජලය රඳවා ගැනීමට ඇල්බීසියා (මකුලත, ලාඩප්පා) කොළ දැමිය හැකි ය. එමෙන්ම ගොම පොහොර ද වගාවට එක් කළ හැකිය. කොස් ගෙඩියේ කොස් ඉරි ආදියද කෙසෙල් පොතු ද වගාවන්ට පොහොර වශයෙන් යොදන ආකාරය දැකගත හැකිය.  පොල් ලෙලි, කොහු බත් ආදිය ද පොහොර වශයෙන් යොදා ගනී.

නිවෙස් ආශිතව සිදුකරන බෝග වගාව තුළින් ලබාගත හැකි ප්‍රධාන ප්‍රයෝජනය නම් එදිනෙදා පරිභෝජනයට ගත හැකි වීමයි. එමගින් ඊට වැය කරන මුදල් ඉතිරි කරගත හැකිවේ. එමෙන්ම වස විසෙන් තොර පෝෂදායි ආහාර වේලක් ලබා ගැනීමෙන් පෝෂණ අවශ්‍යතාවය ද සපුරා ගැනීමට හැකියාව ලැබේ. මීට අමතරව ඵලදාව වැඩි වශයෙන් ලබා ගත හැකි වූ විට අසල්වැසියන්ට හා වෙළෙඳ පොළට විකිණීමෙන් ආදායමක් ලබාගැනීමේ හැකියාවද ඇත. වගාවට අවශ්‍ය පොහොර ආදිය නිවසේදීම සපයා ගැනීම තුළින් ඊට වියදම් වන මුදල ඉතිරි කරගත හැකිවේ. ගෙවත්තේ එකතු වන කොළ රොඩු ආදිය කොම්පෝස්ට් කොටුවට එක්කිරීමෙන් නිවස අවට පිරිසිදුව තබාගත හැකිවේ. බෝග වගාවට නිවසින් ඉවත ලන බඳුන්, පොලිතින් කවර ආදිය  යොදා ගැනීමෙන් පරිසරය දූෂණය ද අවම කරගත හැකිවේ. අවසානයේ පිරිසිදු හා අලංකාරවත් ගෙවත්තක් හිමි කරගත හැකිවේ. රටේ ඇති වී තිබෙන ආර්ථික හා ආහාර අර්බුදයට විසඳුමක් ද හිමි වේ. හරිත ගෙවත්තක අසිරිය දැකීමෙන් සැනසීමක් හා සතුටක්ද උදාකරගත හැකිවේ.

 

බෝග වගාව පිළිබඳ සිතූ පමණින් සියලූ දේට විසඳුම් ලබාගත නොහැක. ඒ සඳහා සියලුම දෙනා ක්‍රියාවෙන් දායක විය යුතුය. බොහෝ දෙනා බෝග වගාව පිළිබඳ ලොකු ඇල්මක් නොදක්වති. සමාජය දැනුවත් කිරීමෙන් බෝග වගාවට යොමු කරගත හැකි අතර ඒ සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් විවිධ මට්ටමින් ක්‍රියාත්මක කළ යුතුය. නැති බැරි දේ පසෙකලා ඇති හැකි අයුරින් බෝග වගාවට සක්‍රියව දායක වීමේ වැදගත්කම සියලු දෙනාටම පහදා දිය යුතුය. පෝෂණ හා ආහාර අවශ්‍යතාවය සපුරා ගනිමින් මුදල් පසුම්බියට සහනයක් වීමට අපිත් හැකි පමණින් දායක වෙමු.

 

ඩබ්ලිව්. ආර්. කෞෂල්‍යා තිලකරත්න

ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පළමු වසර

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

සමාජීය විද්‍යා පීඨය