Image

දරුවකු මෙලොව එළිය දුටු පළමු දින සිට ඔහු හෝ ඇය ක්‍රම ක්‍රමයෙන් සමාජ ගත වේ. එය සෑම මනුෂ්‍යකුගේම ස්වාභාවයයි.   මිනිසුන් වන අප හට සාමාන්‍යෙන් එකට එකතු වී ජීවත් වීමට , කාලය ගෙවීමට සිදු වේ. යම් පුද්ගලයකුට දිනපතා මුණගැසෙන පිරිස සහා ඔහුගේ සමාජ ජාලය ජීවිතයේ කොටසක් ලෙස හැඳින්විය හැකිය.  මනෝවිද්‍යානුකූලව විවිධ පුද්ගලයන්ට විවිධ ලෙස මානසික අක්‍රමිකතා ඇති වේ. එය ඔබටත් මටත් සැමටම පොදු කරුණකි.  එහි දී සමාජයේ ජීවත් වීමේ දී විවිධාකාර වශයෙන් භීතිකාවන් ඇති වේ. එය මනෝ විද්‍යාවට අනූව මිනිසුන් බොහෝ දෙනෙකු පීඩා විදින මානසික රෝගයක් ලෙස සැලකේ. යම්කිසි දෙයක් හෝ අවස්ථවක් කෙරෙහි දක්වන අසාමාන්‍ය අධික බය නිසා අත්‍යවශ්‍ය දේවල් හෝ අවස්තා පවා මඟ හැරීම භීතිකාව ( Phobia ) ලෙස හඳුන්වයි.  එය ග්‍රීක භාෂාවෙන් Phobos යන වචනයෙන් බිදී විත් ඉංග්‍රීසී භාෂාවේදී Phobia යන වචනය නිර්මාණය වී අත.   මෙම සමාජ භීතිකාව ඉතා කුඩා බියකින් ආරම්භ වී උග්‍ර ලෙස වර්ධනය වීම සිදු වේ. සාමාන්‍යෙන් පුද්ගලයෙකු හේතුවක් රහිතව යම් දෙයකට අධික බියක් දක්වන්නේ නම් එය මෙම රෝගයේ ලක්ෂණයි. එම භීතිකා වර්ග ගණනාවකී. සාමන්‍යයෙන් ලෝකය තුළ මනෝවිද්‍යානුකූලව තහවුරු කර ගත් දුර්ලභ භීතිකා 70 ක් පමණ ඇති බව සොයා ගෙන අත.  ඒ අතරින් සමාජ භීතිකාව වර්තමානය වන විට ශීඝ්‍රයෙන්  වර්ධනය වෙමින් පවතින තත්ත්වයකි.  මෙහි දී සාමාන්‍යයෙන් මනුෂ්ශ්‍යකුට සභාවක් ඉස්සරහ කතා කිරීමට, රංගනයක් ඉදිරිපත් කිරීමට , ගීත ගායනයට , නාඳුනන පිරිසක් හමු වන විට , සම්මුඛ පරික්ෂණයකට යන විට,  ආදී ක්‍රියා තුල දී සාමාන්‍යයෙන් යම් සබකෝලයක් ඇති වේ. එය ඕනෑම අයෙකුට තිබිය හැකි සාමාන්‍ය ලක්ෂණයකි. නමුත් සමාජ භීතිකාව මෙම සබකෝලයෙන් එහා ගිය කාංසාමය තත්ත්වයකි.  එනම්

 

“ සමාජය තුළ ගැවසීමටත් අන්‍යෝන්‍ය සබඳතා පැවැත්වීමටත් ඇති බියයි. එනම් සමාජගත වීමට දක්වන අසීමාන්තික බියයි “

 සාමාන්‍යයෙන් මෙම  සමාජ භීතිකාව කාලයත් සමඟ රෝග ලක්ෂණ දිනෙන් දින වර්ධනය කරනු ලැබේ. සාමන්‍යෙන් පුරුෂයාට වඩා කාන්තාවට මෙම සමාජ භීතිකාව හට ගනී. ඒ වගේම ධනපති පන්තියේ පිරිසට වඩා දිළිඳු පන්තියේ පිරිස තුළ මෙම රෝගය බහුලව දක්නට ලැබෙන බව පර්‍යේෂන වලින් සොයා ගෙන ඇත. මොවුන්ට බිය නිරන්තරයෙන් හට ගනී. සමාජය ආශ්‍රය කර ගෙන කරනු ලබන සියලු ක්‍රියාකාරකම් වලින් වැලකී සිටින අතර පොදු ජීවන චර්‍යා වලින් ඈත් කරනු ලබයි. සමාජයේ 2%  , 3% ක් අතර ප්‍රමානයකට මෙම රෝගය පවතී. ඒ වගේම ලෝකයේ සමස්ත ජන ගහනයෙන් 17% කට මෙම රෝගී තත්ත්වය වැලදෙන බව සොයා ගෙන ඇත. සෑම අයෙකුටම සෑම ස්ථානයක්ම පහසු ස්තාන නොවීමට හැකි ය. නමුත් සමාජ භීතිකාවෙන් පෙළෙන පුද්ගලයන්  හට සෑම ස්තානයක්ම අපහසු සේ දැනෙයි. සාමන්‍යයෙන් සමාජ භීතිකාව සැදීමට ජීව විද්‍යාත්මක සාධක , මනෝ විද්‍යාත්මක සාධක මෙන්ම පාරිසරික හේතු සාධක බලපානු ලබේ.

Image

මෙම සමාජ භීතිකාව කෙනෙකුට ඇති වීමට බලපාන ප්‍රධාන කරුණු ලෙස,

  • පවුල තුළ අසීමාන්තික ලෙස දැඩි හැදි වැඩීම.
  • පවුල තුල දෙමාපියන් සහා සහෝදර සහෝදරියන් අතර ගැටුම් ඇති කර ගැනීම.
  • නව යොවුන් වියේදී ඇති වන නොසුදුසු ආශ්‍රයන්
  • දෙමාපියන්ගේ නොදැනුවත්භාවය සහ කුඩා කල දරුවා පිළිබඳව මනා අවබෝදයක් නොමැති වීම.
  • සමාජ අප්‍රසාදය
  • ලිංගික චර්‍යා සඳහා අති අනිසි සහ අහේතුක බිය
  • දක්ෂතා හා හැකියා පිළිබඳව නිසි දැනුවත්භාවයක් නොමැති කම.
  • දරිද්‍රතාවය
  • අන් අයට වඩා රූප ස්වභාවයෙන් අඩු යැයි සිතීම.

 

මෙහි දී සමාජ භීතිකාවෙන් පෙළෙන පුද්ගලයින් සෑම විටම සීමාව ඉක්ම වූ ලැජ්ජාව ,නිහතමානිකම , තනිව සිටීමට දැඩි අශාවක් දැක්වීම , වැනි චර්‍යා රටා වලින් යුක්ත වේ. ඔවුන් සෙනඟ ගවසෙන ස්තාන වලින් හැකි පමණින් ඉවත්ව සිටීමට උත්සහ දරයි, කම්මැලි, නිශ්ශබ්ද , මිතුරන් ඇති කර ගැනීමට අකමැති පිරිසක් වේ. ඒ වගේම සෑම විටම අපහසුවෙන් සිටීම , ආගන්තුකයින් සමඟ සන්නිවේදනය කිරීමට බියක් ලැජ්ජාවක් දැක්වීම , ඔබව අවධානයට ලක් වන අවස්තා වලින් මග හැර සිටීම , විවේචනයන්ට අධි සංවේදීතාව , හීන ආත්මාභිමානය , අධික මත් පැන් භාවිතය ,  සෑම විටම ඔබටම අන් අය අවධානය දෙනු ඇතැයි අනිසි බිය , රූපය පිළිබඳව ඇති පහත් හැගීම වැනි චර්‍යාත්මක වශයෙන් රෝග ලක්ෂණ මතු විය හැකිය. 

 

රෝග ලක්ෂණ

ඒ වගේම සමාජ භීතිකාවෙන් පෙළෙන පුද්ගලයින් තුල වේගවත් හඳ ගැස්ම , වේගයෙන් කෙටි හුස්ම ගැනීම  වෙව්ලන අතපය , මුහුණ රතු වීම , බිඳි ගිය වචන , දහදිය දැමිම , කරකැවිල්ල , බඩේ දැවිල්ල , මුත්‍ර බර , මාංශ පේෂීන් තද වීම , ඔක්කාරය , අත් සීතල වීම , ආදී කායික රෝග ලක්ෂන වලින් පෙළෙනු ලබේ.

 

මෙහි දී  මෙම සමාජ භීතිකාවෙන් පෙළෙන පුද්ගලයින් හට මුල් අවධියේ දී එයින් මිදීමට හැකි වූවත් පසුව කාලයත් සමඟ එය සංවර්ධනය වීමත් සමඟ එය සුව කර ගැනීමට මනෝවෛද්‍යවරයෙකු හමු වී උපදේශක ප්‍රතිකාර ලබා ගැනීම , මෝහනය , ඖෂධ ප්‍රතිකාර යන ප්‍රතිකාර මගින්  මෙය සුව කිරීමට හැකියාව ලැබේ. ඒ වගේම මානසික පුහුණුව සහ ප්‍රතිකාර මගින් ද සමාජ භීතිකාවෙන් පෙළෙන පුද්ගලයින්ට එයින් මිදීමට හැකියාව ලබේ. 

 

එනම්,

  • සෘණාත්මක සිතිවිලි වලට අභියෝග කිරීම.
  • තමන් කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා වැඩි අවධානයක් අන් අය කෙරෙහි දක්වන්න.
  • හුස්ම පාලනය කරන්න. ( සෙමෙන් සිහියෙන් ගැඹුරින් හුස්ම ගන්න )
  • ඔබ ලබා ගත් ජයග්‍රහණ පිළිබඳව මෙනෙහි කරන්න.
  • සිතේ තියන සියල්ල ලියන්න. ( Diary )
  • ව්‍යායාම වල නිරත වන්න.
  • ඔබට පලා යාමට සිතෙන සෑම අවස්තාවකම එම අවස්තා වලට අභියෝග කරන්න.

 

ඔබේ සිතිවිලි සෑම විටම පුරුද්දක් බවට පත් වේ. එම නිසා ඔබට සම්පූර්ණයෙන්ම නොවුනත් රෝග ලක්ෂන අඩු කිරීමට පියවර ගත හැකිය. කාංසාව දිනෙන් දින උග්‍ර විය හැකිය.  එසේ හෙයින් ඊට පෙර එයට ඔබ විසින්ම පිළියම් ලබා ගත යුතු ය. සෑම විටම ඔබේ හඳවත කැමති දේ සිදු කිරීමට කාලය වැය කිරීම තුළින් කාංසාමය තත්ත්වයක් දක්වා මෙය වර්ධනය වීම වළක්වා ගත හැකිය.  ඒ වගේම තමාට සමීප යහළුවකු සමඟ පිරිසක් සිටින ස්තානයක කෑමට යාම , ඔබ හඳුනන නොහඳුනන සියල්ලන් සමඟ කතා බහේ යෙදීම , ඔබේ මනස සෑම විටම සන්සුන් කර ගැනීම ආදී දෛනික ක්‍රියාකාරකම් වලද නිරත් විය හැකිය. වැදගත්ම දෙය වන්නේ ඔබ තුල ඇති භීතිකාව මැඩ පැවැත්විය හැක්කේ ඔබට පමණකි. එබැවින් වඩ වඩාත් සමාජීය වීමට වෑයම් කරමින් ජීවත් වීමට උත්සහ කිරීමෙන් මෙය කාංසාමය තත්ත්වයක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීමට හැකියාව ලැබේ. ඒ වගේම අත්දැකීම් ලබා ගැනීමේදී තනිව ලබා ගැනීමට කටයුතු කිරීම ද කළ හැකි ය. 

ඒ අනූව සමාජ භීතිකාව මුල් අවධියේ දීම හඳුනා ගැනීම තුළින් එය පාලනය කිරීමට හකි අතර ඔබ ඔබවම ආරක්ෂා කර ගනීමට සිය ආකල්පයේ පටන් වෙනස් වීම මෙයට උපකාරි කර ගත හැකිය. නමුත් ඉහත සියල්ල ඔබට සිදු කළ හැකි නමුත් වඩාත් හොඳ ස්තාවර මානසික මට්ටමක් ලබා ගැනීමට නියමිත් මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් වේ. එලෙසම අප වටා මෙවැනි පුද්ගලයන් සිටිය හැකිය ඔවුන් සෑම විටම තනි වී සිටීමට උත්සහා ගනී එබැවින් ඔවුන් හා නිතර කතා බස් කිරීම ඔවුන් හා එක් වී වැඩ කිරීම සිදු කල හැකිය. අන් අයට මෙන් නොව ඔවුන්ට ජීවිතයේ බොහෝ අවස්තා මඟ හැරී යයි.

ඒ.ජී.ජී ඉමල්ෂා ද සිල්වා

තෙවන වසර 

ජන සන්නිවේදන අධ්‍යන අංශය

සමාජ විද්‍යා පීඨය