Image
විවිධ හේතුමත වර්තමාන ශ්‍රී ලංකාවේ වැඩි පිරිසක් බෝ නොවන රෝගවලට ගොදුරුවන බව වාර්තා වේ.මේ අතරින් හෘදයාබාධවලට ලක්වන පිරිස 20%කින් පමණ ඉහළ ගොස් ඇති බවට පසුගියදා සෞඛ්‍ය අංශ වාර්තා කර තිබිණි. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු සහ හෘදයාබාධ අවදානම අඩුකර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය  වෛද්‍ය පීඨයේ මහාචාර්ය, කායික  රෝග පිළිබඳ විශේෂඥ  වෛද්‍ය චමිලා මෙත්තානන්ද මහත්මිය සමඟ කරන ලද සාකාච්ඡාවකි.
හෘදයාබාධයක් කියන්නේ මොකක් ද? 
හෘදයාබාධයක් කියන්නේ හෘදයේ එක් කොටසක  පේෂිවලට  රුධිරය ගමනාගමනය මද  වීම   නිසා සෛල  මරණයට පත් වීමයි. සරලවම   ඒ්ක තමයි හෘදයාබාධයක් කියන්නේ.  
මේ සඳහා බලපාන ප්‍රධාන හේතු මොනවා ද ?
හෘදයාබාධයක් ඇති වීමට බලපාන හේතු පාලනය කරන්න පුළුවන් හේතු සහ  පාලනය කළ නොහැකි හේතු වශයෙන් කොටස් දෙකක් දක්වන්න පුළුවන්.වයස එක හේතුවක් .වයසට යනකොට හෘදයාබාධ එනවා වැඩියි. ඒ වගේම පිරිමි අයට හෘදයාබාධ එන එක වැඩියි.  නමුත් කාන්තාවන් සහ පිරිමින් අතර මේ වෙනස එන්නේ ආර්තවහරණය එනතුරු පමණයි.  ආර්තවහරණයෙන්  පස්සේ කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ හෘදයාබාධ අවදානම එකයි. කාන්තාවන්ගේ ඔසප් වීමත් සමඟ එන හෝමෝනවලින්  හෘදයාබාධ හැදෙන එක අඩු කරනවා. ආරක්ෂාවක් සපයනවා.හැබැයි එය නතර වූවායින් පසු කාන්තා පිරිමි  වෙනසක් නැතුව හෘදයාබාධ අවදානම එක හා සමානව පවතිනවා. අනික් කාරණය තමයි  පවුලේ ඉතිහාසය. උදාහරණයක් වශයෙන් , පවුලේ පිරිමි කෙනකුට  අවු  55ට කලින්  හෝ ගැහැනු කෙනකුට   අවු  65 ට  කලින්  හෘදයාබාධයක්  වැළඳි ඇත්නම් ඒ් පිළිබඳ  අවදානයක් යොමු කරන්න ඔන. අවුරුදු අසූවට ගිහිල්ලා හෘදයාබාධයක් හැදුණු කෙනෙකු මේ යටතට ගැනෙන්නේ නෑ . අපට මේවා  වෙනස් කරන්න බැහැනේ. 
නමුත්  වෙනස් කරන්න පුළුවන්   ඒවා තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ; දුම් පානය , අධි රුධිර පීඩනය ,අධි කොලෙස්ට්‍රෝල් , දියවැඩියාව තරබාරුකම වැනි දේවල් වගේම  ආතතියත්  බලපානවා. තෙල් ,සීනි  කන එක වැඩි වුණාම, ව්‍යායාම අඩු වුණාම තමයි මේවා එන්නේ. මේ ටික පාලනය කරගත්තොත්   හෘදයාබාධයක් එන එක 80%ක් ම පාලනය කරගන්න පුළුවන්.
ඒ්ත් බොහෝ අය ආහාර පාලනය කරන්නේත්.ලෙඩ රෝග ගැන සැලකිලිමත් වෙන්නේත් වයසට ගියාම.. .....
 
 මෙය වැරදි අවබෝධයක් කුඩා  වයසේ සිටම රුධිර නාලවල  කොලෙස්ට්‍රෝල් තැන්පත් වෙනවා.  පොඩි කාලෙදි අපි ඒකට කියන්නේ   fatty streaks  කියලා. Atheromatous plaque කියන විශාල තත්ත්වයට  පත්වෙන්නේ ඉන් පසුවයි. මෙය  රුධිර වාහිනියේ ලේ ගමනාගමනයට ඇති ඉඩ අඩු කරනවා.හදිසි හෘදයාබාධයකදි  ඇතරෝමා එකේ මතුපිට කවරය  පුපුරා පලුදු වෙනවා.ඉන් පස්සේ  ඒක උඩ විශාල ලේ කැටියක් හැදෙනවා .එතකොට එතනින් ඔබ්බට රුධිර ගමනාගමනය නතර වෙනවා.  මෙයින්  තමයි හෘදයාබාධයක් ඇති වෙන්නේ. ඇත්තටම අපි ආහාර පාලනය කළ යුත්තේ අවසාන කාලයේ ඉඳලා නෙවෙයි.  කුඩා කාලේ ඉඳලාම  ආහාර ගැන සැලකිලිමත් විය යුතුයි.අද ළමයින්ගේ ජීවන රටාවත් වෙනස්.  ක්ෂණික කෑමට හුරු වෙලා.වැඩි කාලයක්  ගත කරන්නේ පරිගණක සමඟ, ව්‍යායාම නැහැ. සමහර ළමයි  ගොඩක් මහතයි.ඔවුන්ගේ තියෙන්නේ උදරය මහත් වීම  (abdominal obesity).කොලෙස්ටරෝල්  නිසා රුධිර වාහිනිවල ඇතිවෙන වෙනස්කම් පටන් ගන්නේ  කුඩා කාලයේ  ඉඳලා. මේ  නිසා කුඩා අවදියේ ඉඳලාම තමන්ගේ ජීවන රටාව, සෞඛ්‍ය පුරුදු ගැන සැලකිලිමත් වෙන්න ඕන.
හෘදයාබාධ අවදානමක් තියෙනවා කියලා කලින් දැන ගන්න පුළුවන් ද?
ඔව් අපේ  තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ  චාට්  (WHO risk charts) එකක් . ඊළඟ අවුරුදු දහය ඇතුළත අපට හාට් ඇටෑක් එකක් එන්න කොච්චර අවදානමක් තියෙනව ද කියලා බලන්න  පුළුවන්. වයස.  කාන්තා, පිරිමි බව ,සීනි තියනවා ද  කොලෙස්ට්‍රෝල් තත්ත්වය. අධි රුධිර පීඩනය . සිගරට් බොනවාද වැනි කරුණු මත ඔබගේ  අවදානමත්      මෙම චාට් එකෙන්  බලන්න පුළුවන්.මේ චාට්  එකේ අවදානම 20% ට වඩා එනවා  කියන්නේ ඊළඟ අවුරුදු  දහය ඇතුළත හාට් ඇටෑක්  එකක් එන්න තියන අවදානම ගොඩක් වැඩියි  කියන එකයි. සාමාන්‍ය වෛද්‍යවරයකු  හමුවීමෙන් වුවත් මේ තත්ත්වය බලාගන්න පුළුවන්.  එවැනි අවදානමක් තියනවානම්   මං කලින් කියූ සාධක  ටික පාලනය කිරීම තමයි කරන්න පුළුවන්. වයසත්,ගැහැනු පිරිමි බවත්  වෙනස් කරන්න බැහැනේ.නමුත් සීනි,කොලෙස්ටරෝල් ,අධි රුධිර පීඩනය අඩු කරන්න පුළුවන්.සිගරට් බීම නවත්වන්න පුළුවන්. ඒ සඳහා ව්‍යායාම කරන්න ඕන තෙල් කන  එක අඩු කරන්න ඕන. 
සමහර අයට ඇවිදිනකොට සහ ව්‍යායාම කරනකොට  පපුවේ කැකකුමක්  වැනි  ලක්ෂණ හෘදයාබාධයකට   පෙර ඇති  වෙන්න පුළුවන්.නමුත් සමහර අයට  කිසිම  රෝග ලක්ෂණයක් නැතිව එක පාරට හෘදයාබාධයක්  හැදෙන්නත්  පුළුවන්. 
Image
සමහර අයට හෘදයාබාධයකට පෙර රෝග ලක්ෂණ ඇතිවෙන්නේ කොහොම ද ?
 
 කුඩා  කාලයේ සිටම රුධිර වාහිනී බිත්තියක  කොලෙස්ට්‍රෝල්  තැන්පත් වෙනවා.මේ සථරය වටේට  තව සෛල ඇවිල්ලා  කවරයක් වගේ හැදෙනවා. කල් යනනොට  ක්‍රමයෙන් කොලෙස්ට්‍රෝල් තැන්පතුව  විශාල වෙනවා, ඒ් සමඟම රුධිර නාලයේ ලේ ගමනට ඇති ඉඩ අඩු වෙනවා. උඩ කවරය හොඳට සෛල ඇවිල්ලා බැඳිලා තියනවානම් එක්වරම මෙය පුපුරන්නේ නෑ.. එතකොට හයියයිනේ.කල්තියා රෝග  ලක්ෂණ එන්නේ මෙහෙම අයට.කාලයක් යන විට රුධිර නාලය  අවහිර වෙලා තියෙන  ප්‍රමාණය වැඩි වෙනවා.   ඒත් ලේ ගමන් කරනවා, ලොකු  ප්‍රශ්නයක් නෑ. ඒත් අපි ව්‍යායාම කරන්න ගත්තොත් තව ගොඩක් ලේ ඔන  වෙනවා . මෙතැනින් එන  ලේ ටික මදි වෙනවා .එතකොට පපුව රිදෙනවා. පපුව බරයි වගේ ඒකට තමයි කියන්නේ angina . කියලා  ටික දුරක් ඇවිද ගෙන යන කොට පපුව හිර වෙනවා.හැබැයි නැවැත්තුවොත් ඒ් වේදනාව  නැතුව  යනවා.  මෙය  හෘදයාබාධයක පූර්ව රෝග ලක්ෂණයක්. රුධිර වාහිනියේ බිත්තිය හොඳට තියෙනකොට ලේ කැට හැදෙන්නේ නෑ . මෙතන කොයිවෙලේක හරි කඩතොලු  වුණොත් ඒ් මත ලේ කැටයක් හැදෙන්න පුළුවන්. රුධිරවාහිනිය හොඳටම අවහිර වුණාම ,ඉදිරියට ලේ ගමනාගමනය අඩාල වීම නිසා  හෘදයාබාධයක් හැදෙනවා. 
 
සමහර  අයට  හෘදයාබාධ විවිධ ආකාරයෙන් බලපානවා නේ ද ?
හෘදයාබාධ වර්ග දෙකක් තියෙනවා. හෘදයේ  බිත්තියේ    සම්පූර්ණයෙන්ම සෛල මැරෙන එක තමයි ලොකු හාට් ඇටෑක් එකක් කියන්නේ. ඒ්කට අපි කියන්නේ   ST EMI කියලා..තව සමහර ඒ්වා තියනවා ඒහිදි  මුළු බිත්තියම මැරෙන්නේ නෑ. ඇතුළේ ටික විතරයි, එයට කියන්නේ  NSTEMI කියලා.STEMI තත්ත්වයකට  එවෙලේම ලේ කැට දිය වීමට දෙන ඉන්ජෙක්ෂන්  හෝ stenting යන ක්‍රම ‌දෙකෙන්    එකකින්  ලේ ගමන්  කිරිම යථා  තත්ත්වයට ගත්තේ නැත්නම්  හාට් ඒකේ පේෂි වවන්න විධියක් නෑ.  මේ සෛල ආයෙ වැවෙන්නේ නෑ .ඊට පස්සේ කරන ඔක්කොම ජාති කරන්නේ හාට් ඒකේ ඉතිරි පේෂි ටික බේරාගන්න. NSTEMI තමයි , සුළු හාට් ඇටෑක් කියන්නේ . ඒවාට  දෙන ‌‌ෙඖෂධ  වෙනස් . නමුත් stent කරන්නත් පුළුවන්. 
රුධිර වාහිනිවල බ්ලොක් තියනවාද කියලා  angiogram එකකින් බලන්න පුළුවන් . බ්ලොක් තියනවා නම්  මෙයට කල්තියා ප්‍රථිකාර කරන්න පුළුවන්.  balloon  එකක් දාලා ඇරල තියෙන එක තමයි stent  එකක් දානවා කියන්නේ . නමුත්  හැම එකටම stent දාන්න බැහැ. එහෙම බැරි විශාල නහරවලට තමයි බයිපාස් කරන්නේ..  බ්ලොක් ඒක තියන තැන අනුව කරන්න පුළුවන්   දේ වෙනස් වෙනවා. සමහරුන්ට බයිපාස් කරන්න වෙනවා, සමහරුන්ට   stent දාලා හරි යනවා.
ඇතැම් අය කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා එක්වරම මියයනවා. එහෙම වෙන්නේ කොහොම ද?
හදවතට රුධිරය සපයන රුධිර වාහිනි  තුනක් තියෙනවා. බොහෝවිට , එකකින්  (dominant vessle) හෘදයේ විශාල ප්‍රමාණයකට  රුධිරය  සපයනවා . මේ මේ ප්‍රධාන  රුධිර වාහිනිය සම්පූර්ණයෙන්  වැසුණොත්   කෙනකු මරණයට පත් වෙන්න පුළුවන්.  මීට අමතරව හෘදයේ ගැස්ම පාලනය කරන  "SA node" එකට   රුධිරය සපයන නාලය අවහිර වුණොත් හෘදයේ ගැස්ම    වෙනස් වෙලා කෙනකු ක්ෂණිකවම  මිය යාමට පුළුවන්.
විවිධ අවස්ථාවලදි අපට හැදෙන පපුවේ කැක්කුම  හෘදයාබාධයක් නිසාද කියලා දැනගන්නේ කොහොම ද?  
  විනාඩි පහකට අඩුවෙන් පවතින පපුවේ වේදනාවක්  සාමාන්‍යයෙන්  හාට් ඇටෑක් එකක්  විමට ඇති ඉඩ අඩුයි. නිකන් ඉන්නකොට හැදෙන  සුළු සුළු  පපුවේ කැක්කුම නෙවෙයි. මහන්සි වෙන කොට පපුවේ කැක්කුමක් එනවා නම් ඒ් ගැන අවධානය යොමු කරන්න ඔ්න. පපුව   ඇල්ලුවාම රිදෙනවා නම්  ඒ්වා  හාට් ඇටෑක් වෙන්න තියෙන  ඉඩ ගොඩක් අඩුයි. හාට් එකට ලේ සැපයුම අවහිර වුණොත් විතරයි වේදනාවක් ඇතිවෙන්නේ,  ඇල්ලුවාට රිදෙන්න බෑ.  
තමන්ට හාට් ඇටෑක් ඒකක් එන්න සම්භාවිතාවයක් තියනවා කියලා පරික්ෂා කළ යුතු වෙන්නේ මොන වෙලාවට ද ?
ශ්‍රී ලංකාවේ සියයට අසූවක් මරණවලට  හේතුව බෝ නොවන රෝග. ඒවා නවත්තන්න තමයි අපි මහන්සි වෙන්නේ. අවුරුදු 35 ට වැඩි නම් හැමෝම අධි රුධිර පීඩනය ,සීනි බලන්න ඕන. බලලා එම වාර්තා සාමාන්‍ය නම් නැවත වතාවක් අවුරුද්දකින් බලන්න පුළුවන් .දැන්  අලුතෙන්  ලැබී තිබෙන උපදේශය නම් යම් රෝගියකු වෙන ලෙඩකට රෝහලකට   ආවත් අවු  35ට වැඩි නම් රුධිර පීඩනය බලන්න කියලා .  දියවැඩියාව , අධි රුධිර පීඩනය, කොලෙස්ට්‍රෝල්  තියෙනවාද  බලලා,  තමන්ට හාට් ඇටෑක් එකක් එන එකේ සම්භාවිතාවය  WHO risk charts එකෙන් බලන්න පුළුවන්.   ඒ්කට තියන ඉඩකඩ වැඩිනම්   ඒ අය ගොඩක් මහන්සි වෙන්න වෙනවා .මෙමගින්  හාට් ඇටෑක්වලට හේතු වෙන  සාධක කල්තියා හඳුණාගෙන  ප්‍රථිකාර කරන්න පුළුවන් .
මහන්සි  වුණාම පපුව  රිදෙනවානම් සහ  හාට් ඇටෑක්වලට අවදානම වැඩි කෙකේ නම්  මූලික පර්යේෂණ දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි එක්සසයිස් ECG එක. මැෂින් එකක දුවලා බලන්න පුළුවන් හාට් එකට ලේ ගමන් තිරිමේ අඩුවක්  තියනවා ද කියල. එවැ නි  තත්වයක්  ඇත්නම්, රුධිර නාලවල  බ්ලොක්  එකක් තියෙනවාද  බලන්න  Angiogram test කරන්න පුළුවන්. Angiogram විවිධ විධිවලින් කරන්න පුළුවන්. කලින් නම් නහරයක්  හරහා  වයර් එකක් ඇතුළු  කර   ඩයි එකක්  යවලා තමයි Angiogram test  කළේ . ඒක අපහසු “invasive” තත්ත්වයක් නිසා  දැන් CT Quaranary Angiogram,  cardiac MRI test වැනි නවීන ක්‍රම තියෙනවා හෘදයාබාධ තත්ත්වය   බලන්න පුළුවන්.  
සාමාන්‍ය ජනතාව මේ කරුණු සම්බන්ධයෙන් නො දැනුවත් හෝ නො සැලකිලිමත් ඇයි?
නොදැනුවත්කම නෙවෙයි තියෙන්නේ. දුම් පානය, තෙල් සහිත ආහාර ,  සීනි  හොඳ නෑ කියලා ගොඩක් අය  දන්නවා. ඒත් හාට් ඇටෑක් එකක්  හැදෙනකම් ම ඉන්නවා ඒක පාලනය කරන්න. හැබැයි දැනගත යුතු දේ තමයි , හාට් ඇටෑක් එකක්  ඇති වුණායින් පස්සේ සම්පූර්ණයෙන්  හොඳ කරන්න අමාරුයි. එය   වළක්වා ගන්න එක  තමයි කරන්න තියෙන්නේ .ඒ්ක  ගොඩක් අමාරු නෑ .නිරෝගී සෞඛ්‍ය රටාවකට  හුරු වෙන එක තමයි ප්‍රධාන වශයෙන් කරන්න ඕන. සිගරට් මත්පැන් හොඳ නැහැ. කොහොමත් බර අඩු කරගන්න ඕන, අධික  ලුණු , තෙල් භාවිතය  හොඳ නෑ. එළවළු පලතුරු වැඩියෙන් කන්න ඕන. ඒ ටික කරන්න තමයි තියෙන්නේ.  
වර්තමානයේ ශ්‍රී ලංකාවේ හෘදයාබාධ වැඩි බවක් පැවසෙනවා .විශේෂයෙන් බස්නාහිර පළාතේ  ?   
කාලයත් සමඟ අපේ රටේ හෘදයාබාධ වැඩි වෙනවා. ඒ්කට  හේතු දෙකක්  තියෙනවා. එකක් තමයි ආපේ ආයු  කාලය වැඩියි.අවුරුදු හැටට වැඩි ප්‍රතිශතය වැඩිවේගෙන යනවා. අපේ රටේ මියයන ප්‍රමාණය  අඩුයි.ඒ් නිසා  වැඩිහිටි ජනගහනය  වැඩියි.  හාට් ඇටෑක්වලට වයස එක සාධකයක් නේ. අනිත් එක තමයි අපේ  ආහාර රටාව.කන්නේ ක්ෂණික කෑම , ව්‍යායාම නැහැ, යන්නේ වාහනවල, පරිගණකත් එක වැඩිපුර කාලයක් ගත ගත කරනවා. අපේ ජීවන රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙලා නිසා අපට  හෘදයාබාධ ඇති වීමට ඇති ඉඩකඩ වැඩියි. ඒවගේ ම  විවධ ප්‍රශ්න නිසා ආතතිය වැඩියි.  2000 වසර ඉඳලා  ගත්තොත් හෘදයාබාධ ප්‍රමාණය වැඩියි.නමුත්   මැරෙන ප්‍රමාණයත්   අඩුයි. හේතුව , බෙහෙත් තියනවා , හාට් ඇටෑක් එකක් කලින් දැනගෙන  වැළකෙන්න පුළුවන්.. 
හෘදයාබාධයක් කියලා දැනගත්තාම ඉක්මනින් කළ යුත්තේ කුමක් ද? 
හාට් ඇටෑක් එකක් කාටවත් හංගාගෙන ඉන්න බෑ .හරියට පපුව මැද මිරිකනවා වගේ තද ගතියක් දැනෙනවා. වමනය යනවා දාඩිය දානවා කැක්කුම දරාගෙන ඉන්න බෑ. එහෙම තියෙන කෙනෙකුට හාට් ඇටෑක් කියලා හිතනවානම්  ඇස්ප්‍රින් පෙත්තක් දෙන්න පුළුවන්. එහෙම දුන්නට  ප්‍රශ්නයක් නෑ. හොඳම දේ තමයි ළඟ ම රෝහලකට ඉක්මනින් යන එක .එතකොට අවශ්‍ය දේවල් ටික කරනවා. යන ඉක්මනයි අවශ්‍ය. දෙන්න තියන පණිවිඩය තමයි ළඟම තියන රෝහලට පුළුවන් තරම් ඉක්මනට යන්න කියලා.
වර්තමානයේ තරුණ පිරිස  හාට් ඇටැක්වලට ලක්වෙනවා වැඩියි නේ ද?
අද අවුරුදු හතළිහේ සීමාවේ දි හාට් ඇටෑක් දකිනවා . අද  හැමෝගේම ජීවන රටාව ගොඩක් වෙනස්වෙලා. ළමා කාලයේ සිටම  ව්‍යායාම නෑ පරිගණකත් එක්ක වැඩිපුර කාලයක් ගත කරනවා, ආහාර රටාව වෙනස්  .මේ  නිසා පස්සේ හැදෙන්න තියන හාට් ඇටෑක්  එක ඊට කලින් හැදෙනවා.   මිට අඅමතරව , මත්ද්‍රව්‍ය භවිතයත්  හෘදයාබාධවලට   බලපාන්න පුළුවන්.
 
ඇතැම් අය මෙම  රෝගවලට ලබාදෙන බෙහෙත් නිසියාකාරව ගන්නේ නැහැ
 
 ගොඩක් දෙනකුට බෙහෙත් දෙන්නේ තවත් හාට් ඇටෑක් එකක් එන වළක්වන්න.සමහර අය හිතනවා කලින් හාට් ඇටෑක් එකේ  අමාරුව හොඳ වුණාම ආයෙ බේත් බොන්න ඔ්න  නෑ කියලා. එයාලගේ දැනුම වැඩි කරන්න ඔන. එක පාර බේත් නවත්වන්නත් හොඳ නෑ.   අධි රුධිර පීඩනයට බෙහෙත් ගන්න  කෙනෙක්  එක පාරට  නවත්වලා  රුධිර පීඩනය  වැඩි වුණොත් එන ප්‍රතිපල දරුණුයි.. බෙහෙත් ගන්නකොට  රුධිර පීඩනය පාලනය  වුණාට  එය නැවැත්තුවොත් ආයෙත්රු ධිර පීඩනය වැඩි වෙනවා.දියවැඩියාවත් එහෙමයි .බෙහෙත් බොනකොට පාලනය  වුණාට   , බෙහෙත් නැවැත්තුවොත්  නැවතත් සිනි වැඩි වෙනවා  .මේ නිසා ‌ෙඖෂධ  ‌‌ගැනිමේ දි වෛද්‍ය උපදෙස් හරියටම පිළි පැදිය යුතුයි.
රසිකා එස්. රණවීර
සන්නිවේදන හා මාධ්‍ය ඒ්කකය 
කැලණිය විශ්වවිද්‍යාලය