බුද්ධිමත්ව ජීවිතය දිනන්න !!
- කතු වැකිය
- Hits: 50
වසරක් ආරම්භ වී එම වසර ගෙවී යනුයේ ඉටුවුණු බලාපොරොත්තුවල සොම්නස මෙන්ම ඉටුනොවුණු බලාපොරොත්තුවල පසුතැවීම් ද සමඟිනි. එසේම අපගේ ජීවිතවල යම් යම් සන්ධිස්ථානයන් පසු කරමිනි. 2024 වසර ද මේ ආකාරයට ගෙවී ගියේය. 2025 වසරේ දොරටු විවරව තිබේ. එසේ නම් අප කල්පනා කළ යුත්තේ නව වසර අපගේ ජීවිත අර්ථවත්ව ගත කිරීම සඳහා සැලසුම් කරගත යුත්තේ කෙසේ ද යන්න පිළිබඳවය.
බොහෝවිට අප ජීවිතයේ ගෙවෙන තත්ත්පරයක් තත්පරයක් පාසාම බලාපොරොත්තු පොදිබඳියි. ඒ ජීවිත ඉදිරියට ඇදෙනුයේ එම බලාපොරාත්තු සමගිනි. විශ්වවිද්‍යාල විද්‍යාර්ථින් හෝ ඉන් පරිබාහිර පුද්ගල කණ්ඩායම් වශයෙන් ඔබ තුළ ගොඩ නැගෙන බලාපොරොත්තු විවිධාකාර විය හැකිය. අධ්‍යාපනයේ කඩඉම් පසු කිරීම, රැකියා සිහින සැබෑ කරගැනීම හෝ වෙනත් අපේක්ෂාවන් විය හැකිය. මෙම කුමන තත්ත්වයකදී වුව ද අප අසාර්ථක වු තැන් මොනවා ද සහ දුර්වල තැන් මොනවා ද එසේ වීමට හේතු මොනවා ද යන්න සොයා බැලිය යුතුය. අප සැලසුම් ගොඩනගාගත යුත්තේ ඒ අනුවය.
තත්ත්පරයෙන් තත්පරය ලෝකය වෙනස් වෙමින් පවතියි. යහපත් හෝ අයහපත් ආකාරයෙන් තාක්ෂණය අලුත් වෙමින් ජීවිතවලට බලපෑම් එල්ල කරමින් සිටියි. එසේම විවිධ පුද්ගල සබඳතා, සමාජ සබඳතා ගොඩනැගෙමින් පවතියි. මේ සියල්ලෙහිම ඇත්තේ තරගකාරිත්වයකි. මෙවැනි සමාජ වාතාවරණයක අපගේ ඉලක්ක කරා යන ගමනේදි විශ්වවිද්‍යාලය තුළදී හෝ ඉන් පරිභාහිර සමාජයේ දී බලාපොරොත්තු නොවූ ගැටලුකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකිය. අවශ්‍ය වන්නේ සෑම අවස්ථාවකදීම අවබෝධයෙන්, අවධානයෙන් යුතුව කටයුතු කිරීමයි. යම් යම් අවස්ථාවලදී ඔබ විසින් දුර දිග නොබලා ගන්නා ක්ෂණික තීරණ ජීවිත කාලයම පසුතැවීමට හේතුවිය හැකිය. අධ්‍යාපනයෙන් කොතරම් ඉහළට ගිය ද තමන්ගේ ජීවිතය ගොඩනගා ගැනීමේ දී බුද්ධිමත්ව කටයුතු නොකළොත් පරාජයට පත්වීම වැළැක්විය නොහැකිය.
විශ්වවිද්‍යාලයක් යනු විශ්වය හඹායන තැනකි. සමාජයේ අනෙක් කණ්ඩායම්වලට වඩා විශ්වවිද්‍යාල විද්‍යාර්ථියකු වශයෙන් ඔබගේ ගමන යාම සඳහා ඇති අවස්ථා පුළුල්ය. එක් අවස්ථාවක් ගිලිහෙනවිට තව තව අවස්ථා ගණනාවක් නිර්මාණය වීමට පුළුවන. නමුත් එක් අවස්ථාවක් ගිලිහෙනවිට ඒ මතම පසුතැවිලි වී ජීවිතය අපසු හරවා ගන්නා පිරිසක් ද සිටිනු දක්නට ලැබේ. එසේ නොවී සමාජයේ අනෙක් පිරිස සිතනවාට වඩා වෙනස් අකාරයකට ජීවිතය ජය ගැනීමේ හැකියාව ඔබ සතුවිය යුතුය.
සංස්කාරක