Image
ආදරය, ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද කියලා අපි විමසුවොත් එකිනෙකා එයට වෙන වෙනම වෙනස් වූ නිර්වචන ලබා දෙයි.නමුත් ඇත්තටම එයට නිවැරදි නිර්වචනයක් ලබාදිය නොහැකියි. කෙනෙක් ආදරේ කියන්නේ පරිත්‍යාගය යැයි දක්වනවිට, තවත් කෙනෙකු ලබාගැනීම, පරිස්සම් කිරීම යැයි විවිධ අර්ථවලින් ආදරේ නිරූපණය කරන්න පුළුවන්.නමුත් සැබෑ නිර්වචනයක් පද පේලි ගළපා මෙයයැයි අපට දැක්විය නොහැකිය.
අප කුඩා කළ පටන් අපට විවිධ අයුරින් විවිධ පුද්ගලයින්ගෙන් ජීවිතය පුරා ආදරය ලැබේ.අපේ දෙමව්පියන්ගෙන්, සහෝදරයන්ගෙන් සහ නෑදෑ හිතමිතුරන්ගෙන් ඉන්පසු පෙම්වතා හෝ පෙම්වතියගෙන් ආදරය අපේ ජීවිතයට ළඟා වෙයි. ඊට අමතරව සමාජයේ අප ගැටෙන ආකාරය අනුව විවිධ පුද්ගලයින්ගෙන් අපේ ජීවිතයට ආදරය සමීප වෙයි.
ආදරය,මනුෂ්‍යය ජීවිතයට ඇත්තටම අවශ්‍යම දෙයක් ද, මනුෂ්‍ය ශරීරය පවත්වාගෙන යාමට ආහාර,ජලය,වාතය අවශ්‍යය වන්නා වගේම ආදරය, සෙනෙහස මනුෂ්‍ය ශරීරයට අනිවාර්යෙන්ම අවශ්‍යයි. සමාජයට ආදරණීය දයාබර මනුෂ්‍යයකු බිහිවෙන්න ආදරය අත්‍යවශ්‍යයි.කුඩා කළ තම දෙමව්පියන්ගෙන් අසීමිත ආදරයක් ලැබූ දරුවකු සමාජයට අවතීර්ණ වන්නේ ද ආදරණීයකු ලෙසයි. නමුත් අද වන විට සමාජය පුරා ආදරය, විරහව,ආදරය හේතුවෙන් තම ජීවිතය හානි කරගැනීම වගේම තමන් ආදරය කළ අයව  විනාශ කිරීම් බහුලව සමාජගත වේ. වර්තමානයේ ඇත්තටම ආදරය කියන්නේ සත්‍යමය ආදරයද යන්න අපට එහිදී ප්‍රශ්නාර්ථයක් ඉදිරිපත් කරයි.
Image
එසේම අද වන විට ආදරය විරහව නිසාම විශාදය නැත්නම් depression යනු සුලභව කථා බහට ලක්වන තත්වයකි. ඇත්තටම මෙම තත්වයට පත්වුණු පුද්ගලයෙකු ඒ වේදනාව හොදාකාරවම දනී. ඒ වගේම වත්මන මිනිසුන් ජීවත් වන්නේද දැඩි සංකීර්ණ ආතතියෙන් පිරි ජීවන රටාවක් සමඟයි. එයද මෙම තත්ත්වය ඇතිවීමට බලපෑමක් කරයි. එහිදී ඔවුන්ට අවශ්‍ය අවධානයයි.හොද සවන්දීමක් විශ්වාසයක් තවදුරටත් ඇති කරන පුද්ගලයෙක්ය.
Image
අප හැම අයකුම සමානව නොවුනත් කෙදිනක හෝ අප ආදරණීයන්ගෙන් වෙන් වූ අවස්ථා ඇත. ඒ අවස්ථාවන් දරාගත නොහැකි වුවද දිග සුසුමක් පිටකර නිහඩ වූ අවස්ථා ඇත.විටෙක කවුරුත්ම නොදන්න අප සිත තුළ පමණක්ම ගැඹුරින්ම තැන්පත් කළ ආදරණීය මතකයන් ද අපට ඇත.කවුරු කෙලෙස ප්‍රේමය නිර්වචනය කළත් මනුෂ්‍යයෙකුට ආදරය අත්‍යවශ්‍යයි.නමුත් එහිදී අපට අවශ්‍යම පුද්ගලයා අප ළඟ තබා ගැනීමට උත්සාහ නොකළ යුතුයි.අප ළග රැඳිය යුතුමයිද යැයි නීතියක් නැත. එය අපේ මනසට වගේම එම පුද්ගලයාගේ මනසටත් පීඩාවකි.අප හැමෝටම ආදරය කිරීමේ අයිතිය තිබුණද කිසිවකුට හානිදායක වීම තරම් නොවේ.ආදරේ කියන්නෙ ගනුදෙනුවක් ද නොවේ.අපට මනුෂ්‍යයෙක් ලෙස පිටින් බලමින්  පුද්ගලයකු හොඳ ද, නරකද, යන්න විනිශ්චය කළ නොහැකිය.ඒ වගේම අප කිසිම අයකු සියයට සීයයක් සම්පූර්ණ ද නැත.ප්‍රේම සම්බන්ධතා ආරම්භ කිරීමට පහසු වූ නමුත් එය බිඳ වැටීම  දරාගත නොහැකි වේ. එමනිසා එවැනි සම්බන්ධතාවයක් තුළ සම්බන්ධතාවය තේරුම් ගැනීම, රණ්ඩු කරමින් තර්ක කර ගැනීම වෙනුවට  එකිනෙකාගේ හැඟීම් තේරුම් ගැනීමට උත්සාහ ගැනීම කළ යුතුය.ඒ වගේම හැකි සෑම විටම සමාව දීම කළ යුතුය. නමුත් අනවශ්‍ය ලෙස තමාව රිදවීමට එය භාවිතා නොකළ යුතුය. නිවැරදි තීරණ,නිවැරදි වෙලාවට ගත යුතුය.
ප්‍රේම සම්බන්ධතාවයක් නැති වුණු අවස්ථාවක  මොනතරම් දේ කීවත් තමන්ගේ හිත ක්ෂණිකයෙන් ශක්තිමත් කර ගැනීමට තරම් අප කවුරුත්ම ශක්තිමත් නැත. නමුත් මුළු ජීවිතය පුරාවටම අප එයින් විඳ විය යුතුද නැත. අලුත් වෙන්න උත්සාහ කරන්න, ධනාත්මකව හිතන්න, තමන්ගේ හීන සටහන් කරගන්න, නැවත ගොඩනැගෙන්න,විශ්වාසම කෙනෙකු සිටී නම් පමණක් පවසන්න, හැකිතරම් කාර්යබහුල වන්න.කාලයත් සමග ඇත්තටම ප්‍රශ්න අපෙන් ඈත් වෙනවා. කිසිම වේලාවක කවදාවත්ම තමන්ව ප්‍රතික්ෂේප කරගන්න එපා. ඔබට ලැබිලා තියෙන්නෙ වටිනාම ජීවිතයක්. තමන් තමාට මුලින්ම ආදරේ කරන්න. ලස්සනට ඔයාව දකින්න. කාලයත් සමග ඔබට හොඳම දේ ආකර්ෂණය වනු ඇත. විශ්වාස කරන්න ඔබට හොඳම දේවල් කවදාවත් මග ඇරෙන්නෙ නෑ. දෛවය දවසක වාසනාවන්තම තැනක් අපට හිමි කරනවමයි.
 
ඩබ්ලිව්. ඒ. එන් කාවින්ද්‍යා
ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය