සංස්කෘතිය තුළින් සංචාරක කර්මාන්තය දියුණු කළ හැකිද ?
- කාලීන
- Hits: 6

ශ්‍රී ලංකීය සංස්කෘතිය සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා දායක කරගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන සෝමරත්න මහතා සමඟ සිදු කළ සංවාදයක් ඇසුරින් සම්පාදනය කළ ලිපියකි.
දකුණු ආසියාතික රටවල් අතර සුප්‍රකට සංචාරක ගමනාන්තයක් සහිත රටක් වශයෙන් ශ්‍රී ලංකාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය උකහා ගනු ලබන ප්‍රධාන ආර්ථික සාධකය සංචාරක කර්මාන්තයයි. සංචාරක කර්මාන්තයේ දී සංචාරකයා එහි වැදගත් ම අංගයයි. සංචාරකයා යනු තම භූමියෙන් පැය විසි හතරක් ඉක්ම ගොස් වෙනත් රටකට හෝ ස්ථානයකට සංචාරය කරන්නෙකි. සංචාරකයන් විනෝදය, සංස්කෘතිය, ඓතිහාසික වැදගත්කම, ව්‍යාපාරික හා ආගමික කටයුතු, ස්වභාවික සෞන්දර්ය, ත්‍රාසජනක බව හා විශේෂ ජන කණ්ඩායම් නිරීක්ෂණය ආදී කාරණා හේතු කොටගෙන සංචාරය කිරීමට පෙළඹෙයි. යුරෝපීය යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාවේ නව මුහුණුවර නැරඹීමට විදේශිකයන් කැමැත්තක් දක්වන අතර ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකම, ස්වභාව සෞන්දර්යය, ආගමික හා සංස්කෘතික වැදගත්කම් නැරඹීමේ අපේක්ෂාවෙන් සංචාරකයෝ මෙරටට පැමිණෙති.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා සංස්කෘතිකාංග ප්‍රබල ලෙස බලපායි. එනම්, ආගමික හා කෘෂිකාර්මික සංස්කෘතිය, සම්ප්‍රදායික කලාවන්, ආහාර සංස්කෘතිය, හස්ත කර්මාන්තයන්, සංස්කෘතික උත්සවයන්, ගැමි ජීවන රටාවන් හා සංස්කෘතික සංරක්ෂණයන් ඒ අතර ප්‍රධානය. සංචාරකයා නිරන්තරයෙන්ම සංචාරය කරන රටෙහි ආවේණික සංස්කෘතීන්වලට දැඩි ඇල්මකින් යුතු වේ. මේ නිසාම මෙය එක් ක්‍රමෝපායක් ලෙස ගනිමින් අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුතුව සංචාරකයින් දේශීය සංස්කෘතිකාංගයන්ට මුසු කරගැනීමෙන් සංචාරක ආකර්ෂණය තව තවත් ලංකාව වෙත ලබා ගත හැකිය.

ශ්‍රී ලංකාවේ දේශීය සංස්කෘතිකාංගයන් සංචාරක ආකර්ෂණය ලැබෙන පරිදි භාවිත කළ යුතුවේ. කෘෂිකාර්මික සංස්කෘතිය තුළ වී ගොවිතැන ප්‍රධාන තැනක් උසුලයි. වී ගොවිතැනේ දී එයට ආවේණික ගවයන් සී සාන අයුරු, ගොයම් රැගෙන යෑම, ගවයන් විසින් කොළ පැගීම, ගොයම් නෙළීම ආදී විශේෂ ක්‍රියාවලීන් සංචාරකයින්ට නැරඹිමට මෙන්ම එම අත්දැකීම් විඳගැනීමට ඔවුනට අවස්ථාව සලසා දීම වැදගත් වේ. ඉන් දේශීය කෘෂිකර්මාන්තය රැකෙන අතරම, දේශීයත්වය ජාත්‍යන්තරයට ගෙන යාමට ද හැකියාව ලැබේ. එමෙන්ම පරම්පරාගතව පවතින අංගම්පොර වැනි දේශීය සටන් ක්‍රම ආදිය සංචාරකයාට හදුන්වා දීම ද සංචාරක ආකර්ෂණය වැඩි වීමට හේතුවකි. දේශීය සංචාරක කර්මාන්තයේ දී දේශීය කලාව සහ ජන සංගීතය, සංස්කෘතික උත්සව, පාරම්පරික ආහාර සංස්කෘතිය, පූජනීය ස්ථානයන්, උරුමයන්, ශ්‍රී ලංකාවේ අත්කම් නිර්මාණ (බතික්, ලී කැටයම්) ආදී බොහෝ දේශීයත්වයෙන් යුතු දේ විදේශීය සංචාරක ආකර්ෂණීයත්වයකින් යුක්තය. එමෙන්ම සොකරි, නාඩගම්, කෝළම් වැනි දේශීය සංස්කෘතිකාංගයන් ඔවුන්ගේ භාෂාවට පරිවර්තනය කර රසවිඳීමට ලබාදීමෙන් අපගේ සංස්කෘතිය වඩාත් ඔවුන් වෙත සමීප වීමට ද හේතුවේ. දේශීය වෙදකම තුළින් ද, නිල පීඩන කර්ම , සම්බාහන ක්‍රම, ආයුර්වේද ක්‍රම හරහා ද දේශීය සංස්කෘතිය සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට හැකි තවත් අවස්ථාවකි. නිදසුනක් ලෙස සම්බාහන මධ්‍යස්ථාන දේශීය අයුරින් වෙද ගෙදර වැනි සංකල්පයක් ලෙසින් නිර්මාණකරණයට හැකියාව පවතී.
ලංකාවේදී සංචාරකයන් හට අත්විදීමට හැකි අපූරු අත්දැකීමක් ලෙස මුහුදු වෙරළාශ්‍රිත, වැව්, ගං ආශ්‍රිත ක්‍රියාකාරකම් හඳුන්වන්නට හැකිය. මාළු ඇල්ලිම, බෝට්ටු පැදීම, මල් නෙළීම වැනි අත්දැකීම් ලබා දෙමින් සංචාරකයන්ට ගැමි ජීවන රටාවේ සුන්දරත්වය විදිමට අවස්ථාව සලසා දිය යුතුය. ශ්‍රී ලංකාවේ උප සංස්කෘතියක් වූ වැදි සංස්කෘතිය හා බැදුණු සංස්කෘතිකාංග ද සංචාරකයන්ගේ ආකර්ෂණ දිනා ගැනීමට යොදා ගත හැකිය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට දේශීය සංස්කෘතිය තුළ ගත යුතු ක්‍රියාමාර්ග රැසක් පවතී. විශේෂයෙන්ම ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව රජය විසින් සහතික කර යුතුය. එමෙන්ම දේශීය සංස්කෘතිකාංගයන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම ද සිදු කළ යුතුය. සංචාරක ව්‍යාපාරයට පවතින සංස්කෘතික අභියෝග ලෙස ස්ථානීය සංස්කෘතියට බලපෑම්, භාෂා බාධක, ආචාර ශිෂ්ටාචාර ගැටලු, සංස්කෘතික වාණිජීකරණය, නිදහස් ජීවිතයට බලපෑම්, සංස්කෘතික ආරක්ෂාව සහ හවුල්කාරිත්වය අඩු වීම ප්‍රධාන ලෙස දැක්විය හැක.
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ශක්තිමත් බව ද ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයෙහිලා වැදගත් වේ. ඇල්ල, ගාල්ල වැනි ප්‍රදේශන්හි දිවා, රාත්‍රි සේවය සංචාරකයන්ට සපයා ඇති නමුත් අනෙකුත් ප්‍රදේශවල ද සංචාරකයින් වෙනුවෙන් ප්‍රවාහන සේවාව වැඩි දියුණු කළ යුතුයි. සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, දේශීය සංස්කෘතිකාංගයන් ප්‍රචාරණය වර්ධනය කිරීම, ලාංකිකයන් සඳහා විදේශීය භාෂා පුහුණුව හා සංචාරකයින් සඳහා තාක්ෂණික සේවාවන් වර්ධනය කිරීම, සංචාරකයින්ගේ ගමන් බලපත්‍රවලට අය කරන අධික මුදල සාධාරණීකරණය වීම, දේශීය සංස්කෘතීන් ආරක්ෂා කිරීම හා විදේශීය සංස්කෘතීන්ට ද හැඩ ගැසීමට පුරුදුවීම, දේශීය ආහාර සංස්කෘතිය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීම යන ක්‍රියාමාර්ග සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ගත හැකිය.
ශ්‍රී ලංකාවේ ආර්ථික සාධනයෙහි දළ දේශිය නිෂ්පාදනයෙන් 5 % පමණ එකතු වන්නේ සංචාරක කර්මාන්තයෙනි. ඒ අනුව සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකෙහිම මැදිහත්වීම වැදගත් වේ. සමස්තයක් ලෙස සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අත්‍යවශ්‍ය සාධකයකි. ලංකාවේ ස්වභාවික සෞන්දර්යය, පෞඪ ඉතිහාසය ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනූ තෝතැන්නකි. දේශිය සංචාරක කර්මාන්තයේ දියුණුව සලසා ගැනීම සඳහා උපායශීලී ලෙසින් ක්‍රියා කිරිම තුළින් රටේ ආර්ථික සංවර්ධන ඉහළ නංවා ගැනීමට හැකි වේ.
හංසනී දිසානායක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
සමාජීය විද්‍යා පීඨය