Image
කෙණ්ඩා පෙරළීම නැතහොත් මස්පිඬු පෙරළීමේ වේදනාව ජිවිතයේ අත්විඳ නොමැති පුද්ගලයකු නොමැති තරම්‍ ය. සාමාන්‍යෙන් ලෝකයේ ජීවත්වන මිනිසුන්ගෙන් 95% ක්ම ශරීරයේ කොතැනක හෝ මස්පිඬු පෙරළීමක් එක් වරක් හෝ ඇතිවන්නට ඉඩ ඇති බව වෛද්‍යවරු සඳහන් කරයි. මස්පිඬු පෙරළීම අත, පය, උදරයේ, බෙල්ලේ, උරහිසේ, පිට ප්‍රදේශයේ හෝ ශරීරයේ ඕනෑම ස්ථානයක සිදුවිය හැකිය. එසේ සිදුවනුයේ ශරීරයේ සංකෝචනය වන මාංශපේෂි වලය. සරලව ගතහොත් අප අත හෝ පය නවා නැවත දිග හැරීමක් සිදු කරන විටකදී කෙණ්ඩා පෙරළීම සිදුවේ. ශරීරයේ ඕනෑම අවයවයක් නැවීමේදී මාංශපේෂි සංකෝචනය වීමත්, එම නැවූ අවයවය දිග හැරීමේදී සංකෝචනය වූ මාංශපේෂී ලිහිල් වීමක් සිදුවිය යුතුය. එසේ නොවන අවස්ථාවලදී කෙණ්ඩා පෙරළීම ඇතිවිය හැකිය. බොහෝ පුද්ගලයන් හට රාත්‍රී කාලයේදී මෙම තත්වයට බහුලව මුහුණ දෙන අතර එය ඉතා කෙටිකාලයකින් සුව වේ. රෝගී තත්වය තප්පර 10-15 අතර ඇතුළත එය සුව විය හැකි නමුත් විනාඩි 10-15 පුරා ඒකාකාරීව වුවද තිබිය හැකිය. 
Image
අවුරුදු 6 සිට ඉහළ වයස් කාණ්ඩාවල පසුවන පිරිස හට වයස් භේදයකින් තොරව කෙණ්ඩා පෙරළීම ස්ත්‍රී මෙන්ම පුරුෂ පාර්ශවයන්ද මුහුණ දෙන වේදනාකාරී තත්වයකි. මෙය රෝගී තත්වයක් නොවුනද ඇතැම් විට රෝග ලක්ෂණයක පෙර තත්වයක් කියාපෑමටද ඉඩ තිබේ.
කෙණ්ඩා පෙරළීමට හේතු ගණනාවක පවතින අතර විජලනය, දියවැඩියාව, වකුගඩු අකරණීය, තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධයන්, සිරෝසීස් තත්වය (ඇල්කොහොල් නොවන) කොලොස්ටරෝල් අඩු කරන ඖෂධ හේතුවෙන්ද, පෝෂණ ඌනතා, යනාදි ලෙඩ රෝගයන්ද ගර්භණී තත්වය, අධික ලෙස මහන්සි වීම, නිදි වැරීම, ක්‍රීඩා කිරීම, ව්‍යායාම් කිරීම හරහා මෙම රෝගී තත්වයට මග පෑදේ.
මස්පිඬු පෙරළීමේ තත්ත්වයට සමාන වන වෙනත් රෝගාබාධද පවතී. එනම් රුධිරවාහිනී සිහින්වීම නිසා මාංශ පේශි වලට ලැබෙන රුධිරය අඩුවීම හරහා මාංශ පේශියට අවශ්‍ය යකඩ නොලැබීයාම, පුද්ගලයාට මද දුරක් ඇවිදින විටදී පාදයේ වේදනාව ඇති වේ. ඒ තත්ත්වය (claudication pain)  මිස මස්පිඩු පෙරළීමක් නොවේ. ස්නායු ආබාධ හේතුවෙන් ද මාංශ පේශි වල විවිධ ගැටලු ඇති වේ. ශරීරයට අවශ්‍ය හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීමේ (නිරක්තිය) එනම් මාංශ පේශිවලට රුධිරය නොලැබීම නිසා ඇතිවන තත්ත්වය මස්පිඩු පෙරළීමක් ලෙස බවද වරදවා වටහාගන්න අවස්ථාද තිබේ. මෙවැනි රෝග සහ කෙණ්ඩා පෙරළීම වශයෙන් වෙන්කොට හඳුනා ගැනීම කළ යුතුය. 
කෙණ්ඩා පෙරළීම මඟහරවා ගැනීමට කළ හැකි වනුයේ,
Image
හොඳින් ජලය පානය කිරීම.
ජලය ශරීරයේ මාංශපේෂි ක්‍රියාකාරීත්වයට අතවශ්‍ය වන හෙයින් දිනකට ජලය වීදුරු 6-8 අතර පානය කළ යුතුවේ. එමඟින් සිරුර හැකිතාක් විජලයන වීමෙන් වළක්වා ගත හැකිය.
දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද ව්‍යායාම කිරීම.
ක්‍රීඩා කිරීමට පෙර මස්පිඬු ලිහිල් වන ආකාරයේ ව්‍යායාම කිරීමත්, ක්‍රීඩා කිරීමෙන් පසුවද එලෙස ව්‍යායාම කිරීමත් සිදු කිරීම හරහා  මස්පිඬු පෙරළීම වලක්වාගත හැකිය. එමෙන්ම නින්දට යාමට පෙර වුවද මස් පිඬු ලිහිල් වන ආකාරයේ ව්‍යායාමයක නිරත විය යුතුය.
වෛද්‍ය උපදෙස් මත ඖෂධ ලබා ගැනීම.
යම්කිසි රෝගයක් පවතී නම් එය වෛද්‍යවරයාගේ උපදෙස් මත ඖෂධ ලබා ගැනීමත්, ඊට සුදුසු ව්‍යායාම ලබාගැනීම වෛද්‍යවරයාගේ අනුදැනුම මත සිදුකල යුතුය.
ආහාර පාන ලබා ගැනීම.
සීතල ආහාර ගැනීමෙන් ද මෙම තත්ත්වය ඇතිවිය හැකිය අතර රළු ආහාර වැඩි වශයෙන් ද ගැනීම උචිත නොවේ. ශිතාගුණාධික ආහාර මෙන්ම උෂ්ණාධික ආහාර එකවර ගැනීම තුළින් ද රෝගීන් තත්ත්වය ඇති විය හැකිය. ප්‍රධාන ආහාර වේල නිසි පරිදි ලබා ගැනීම හරහා පෝෂණ ඌනතා ද අවම වේ.
ගර්භණි මව්වරු අවශ්‍ය ඖෂධ ලබා ගැනීම
මැග්නීසීයම් අඩුවීම හරහා මස්පිඬු පෙරළීමේ තත්ත්වය ඇතිවන අතර ගර්භණී මවුවරුන්ට ඇතිවන පෝෂණ ඌනතා හේතුවෙන් සායනයෙන් ලබාදෙන ඖෂධ නිසි මාත්‍රාවට අනුව ලබාගත යුතුයි.
මීට අමතරව තේ, කෝපි, මත්පැන් හා කාබනීකෘත බීම වර්ග වලින් වැළකීම හා පීඩනයක් ඇති නොවන ආකාරයේ සැහැල්ලු පාවහන් භාවිතය ද මස් පිඬු පෙරළීම අවම කරගැනීමට හේතු වේ.
මස්පිඩු පෙරළීමට ලක් වූ අවස්ථාවකදී එම ප්‍රදේශයේ පටක වෙත ඇති රුධිරය සංසරණය වැඩි වීම සිදුවේ. එහිදී මාංශපේෂි ලිහිල් වීමට අවශ්‍ය සාධක සැපයෙන නමුත් සම්බාහනය කිරීමට පටන් ගත් මුල් අවස්ථාවේදී වේදනාවක් දැනිය හැකි වුවත් එය ක්‍රමයෙන් පහව යනු ඇත. උණුසුම් ඔලිව් තෙල් හෝ පොල්තෙල් ස්වල්පයක් පමණ ගෙන පෙරළීමට ලක් වූ ස්ථානයේ ගැල්වීම හරහා එය මඟ හරවා ගත හැකිය. දිගටම අතගාමින් එම ප්‍රදේශය  සම්බාහනය කර අවසානයේම උණුසුම් තුවායකින් ආවරණය කර පැය කිහිපයක් ගත වන තුරු තබන්න. මෙවැනි ප්‍රතිකාර හරහා සුවයක් නොලැබේ නම් වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිකාර ලබා ගැනීම සුදුසු වේ. 
මහීෂා සිල්වා
විශේෂවේදී තෙවන වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
සමාජීය විද්‍යා පීඨ‍ය