Image

ලෝකයේ හැම සංසිද්ධියකට ම කාලගුණයේ කුමන හෝ බලපෑමක් පවතිනවා. ලෝක කාලගුණ දිනය සෑම වසරකම මාර්තු මාසයේ 23 වන දාට ලෝක කාලගුණ දිනය යෙදී තිබෙනවා. 2023 වර්ෂයේ කාලගුණ දිනයේ තේමාව වන්නේ " කාලගුණය, දේශගුණය හා ජලය පරම්පරාවන් තුළින් අනාගතය උදෙසා"  යන්නයි.

කාලගුණය හා දේශගුණය යනු ....?

එදිනෙදා ලෝකය මුහුණදෙන ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධියක් ලෙසින් කාලගුණය නම් කරන්නට පුළුවන්. හොඳින් හිරු පායා තිබීම, ප්‍රශස්ත සූර්‍යාලෝකයක් පැවතීම, අකුණු සහිත වර්ෂා ඇතිවීම, පොද වර්ෂාව ඇතිවීම, මීදුම ඇතිවීම, හිම වැටීම,අයිස් වැටීම මේ සියළු සංසිද්ධීන් කාලගුණය ලෙසින් හඳුනාගත හැක.

කාලගුණය හා දේශගුණය යන වචන එක ළඟ කියැවෙන සමාන වචන වුවත් කාලගුණය හා දේශගුණය එකිනෙකට බොහෝ වෙනස්කම් දක්වන ක්‍රියාවලීන් දෙකකි. ස්වභාවික පරිසරයේ කෙටි කාලීනව ඇති වන සංසිද්ධීන් කාලගුණය ලෙස හඳුන්වයි. කෙටි කාලීන ව පවතින එම කාලගුණික ලක්ෂණ එම ප්‍රදේශයේ කාලීන ව හා අවකාශීය ව සාමාන්‍ය තත්ත්වයක් ගන්නෙදැයි දීර්ඝ කාලීනව කරණ ලද පරීක්ෂණ සහ නිගමන තුළින් දේශගුණය අර්ථානුරූප කරයි.නිදසුන් ලෙස යම් ප්‍රදේශයකට වසරේ මැද ඉතා තදින් සූර්‍යාලෝකය ලැබීම එම ප්‍රදේශයේ සාමාන්‍ය තත්ත්වය විය හැකියි. එවිට එම දත්තය වසර පනහක් පමණ නිරීක්ෂණය කොට එම ප්‍රදේශයේ දේශගුණය වසරේ මැද තදින් සූර්‍යාලෝකය ලැබීම සහ උෂ්ණත්වයක් තිබීම ලෙස නිමානය කරයි. ඇතැම් විට අහසේ හෝ වෙනත් බලපෑ හේතුවක් මත මෙම වසරේ හදිසියේ වර්ෂාවක් එම ප්‍රදේශයට ඇද හැලුනේ නම් එය දේශගුණික ලක්ෂණයක් නොවේ. එය කෙටි කාලීන කාලගුණික ලක්ෂණයකි.

Image
අන්තර්සම්බන්ධතාව .....?
 
දේශගුණය තීරණය වන්නේ කාලගුණික දත්ත මත වේ. කාලගුණය තුළින් ලබා ගන්නා දත්ත මඟින් තොරතුරු රැස්කොට මූලාශ්‍ර කර තබයි.
වර්තමානයේ අධ්‍යයනය කරනු ලබන ලෝකයේ දේශගුණික කලාප, ශ්‍රී ලංකාවේ දේශගුණික කලාප, කාලගුණික ලක්ෂණ හා දැනට සාර්ථක ලෙස හඳුනා ගැනෙන කෙපන්ගේ දේශගුණ වර්ගීකරණය පවා කාලගුණය හා දේශගුණය මත අධ්‍යයනයට බඳුන් වන කරුණුය.
 
භූගෝලවිද්‍යාත්මකව, පරිසර විද්‍යාත්මකව හෝ ස්වභාවික විද්‍යාත්මකව ලෝකයේ සියළු සාධක , අංග ලක්ෂණ නිර්මාණය කිරීමට මූලික සාධකයක් ලෙස කාලගුණය හා දේශගුණය වැදගත් වේ. නිදසුන් ලෙස ලෝකයේ විවිධ කලාප වල එකිනෙකට වෙනස් වූ පාංශු කලාප නිර්මාණය වීමට, එකිනෙකට වෙනස් වූ ජීවීන් නිර්මාණය වීමට, එම ජීවින් අන්තර්ගත වූ ජෛවපරිසර පද්ධති බිහිවීමට කාලගුණය හා දේශගුණය බලපා ඇත. මානව විද්‍යාත්මක ලක්ෂණ ඒ ඒ ප්‍රදේශානුගත ව හැඩගැසීමටත් කාලගුණය හා දේශගුණය බලපා ඇත. මානව ශරීර ලක්ෂණ, මානව හැසිරීම්, කෘෂිකාර්මික අංග, ජන ජීවිතය ආදි ලක්ෂණ වේ.
 
අධ්‍යයනයේ පරාසය ....?
 
කාලගුණය හා දේශගුණය තවත් සීමා කරන්නේ නම් හිරුඑළිය හා වර්ෂාව අතර අන්තර් දෝලනයක් ලෙස ද දක්වන්න පුළුවන්. ආපදාවක් ලෙස ගංවතුර හා නියඟ ඇතිවන්නෙත් සීතල උණුසුම ඇති වන්නේත් මෙම ලක්ෂණ නිසාවෙන්මය. කාලගුණය හා දේශගුණය අධ්‍යයනය ඉතා පුළුල් විෂය ක්ෂේත්‍රයකි. මේ නිසා ම දේශගුණ විද්‍යාව ලෙස ඉතාම පුළුල් විෂය ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යයනය සිදු කල හැකි.ශ්‍රී ලංකාව තුල දේශගුණ විද්‍යාව පුළුල් ලෙස ඉගෙනීමේ අවස්ථා අවම වුවත් විදෙස් රටවල ඒ පහසුකම් පුළුල් අයුරින් පවතී.
Image
සංවර්ධනය හා දේශගුණ විද්‍යාව ...?
 
සංවර්ධනය හා තිරසර සංවර්ධනය තුළ දේශගුණ විද්‍යාව නැතිනම් කාලගුණය හා දේශගුණය ඉතා වැදගත් ස්ථානයක් අත්කර ගනී. ජල සම්පත් සංරක්ෂණය හා සංවර්ධනය, කෘෂිකර්ම සංවර්ධනය, මානව සංවර්ධනය, පාංශු සංරක්ෂණය, පරිසරය සංවර්ධනය හා සංරක්ෂණය, ජෛව සංරක්ෂණය හා සංවර්ධන, ජනගහන අධ්‍යයනය ආදි මූලෝත්පාදක සංවර්ධන ක්‍රියාවන් උදෙසා කාලගුණය හා දේශගුණය බලපානු ලබයි. 
 
කෘෂිකාර්මාන්තය සංවර්ධනය කිරීමේ දී කාලීන හා අවකාශීය වශයෙන් ඒ ඒ ප්‍රදේශ වල කාලගුණික රටා, දේශගුණික ලක්ෂණ පිළිබඳ අවබෝධමත් විය යුතුය. මානව අධ්‍යයනය කටයුතු වල දී විශේෂයෙන් සාමය නිරාකරණය කිරීම් සහ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනයන් තුළ දේශගුණ විද්‍යාව ද වැදගත් වේ. පාංශු කලාප වෙන වෙනම හඳුනා ගැනීම, වගාවන් වෙන වෙනම ප්‍රවර්ධනය කිරීම, ජාන සංවර්ධනය හා සංරක්ෂණය වැනි කටයුතු වලදී කාලගුණික ලක්ෂණ බලපායි.
 
වර්තමානය වන විට දේශගුණය හා කාලගුණය විකෘති වී ඇත්තේ මානව බලපෑම් නිසාවෙනි. ජලය ප්‍රශස්‍තව පෘථිවිය මත චක්‍රාකාරයෙන් ගලා යාමට දේශගුණය හා කාලගුණය අවශ්‍ය වේ. එමෙන් ම ප්‍රශස්ත ශාක ගහනයක් ඇති වීමටත් දේශගුණය වැදගත් වන අතර මානවයා නිසා ශාක විනාශ වේ. මේ නිසා දේශගුණය විකෘති වේ. 
 
කාලගුණය හා දේශගුණයත් සමඟ ලේ බැඳීමක් ජලයට සහ එතැනින් පරිභාහිර සමස්ත ජීව ලෝකයම සමඟ පවතී. මේ නිසා දේශගුණික ලක්ෂණ ප්‍රශස්තව පවත්වා ගැනීම සිදු කරගැනීම ඉතා වැදගත් වේ. ජලය හිඟ වීම, නියඟ ඇති වීම පවා සිදු වන්නේ මේවායේ ආන්තික තත්ත්වයන් ඇති වීම මතය.
 
අධ්‍යයනයේ වැදගත්කම ....?
 
බහුතරයක් වත්මනයේ පවා සිතා සිටින්නේ ගංවතුර කරුමෙට පැමිණෙන බවත්, නියඟ,නියඟ හේතුවෙන් ඇතිවන දුර්භීක්ෂ පැමිණෙන්නේ ද පෙර ආත්ම වල දන් නොදුන් නිසාවෙන් බවත් ය. නමුත් විද්‍යාත්මක ව සියළු කරුණු කාරණා දෙස විමසිලිමත් වීමේ දී විද්‍යාත්මක හේතු කාරණා මෙම සියළු සාධක වලට හේතු වී ඇති බව පෙනී යයි. 
 
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින හෝ දරිද්‍රතාවයෙන් පෙළෙන රටකට අවශ්‍ය වන්නේ නිවැරදි විද්‍යාත්මක කියැවීම් ය. මේ වසරේ කාලගුණ දින තේමා පාඨය තුළද අනාගතයට නිවැරදි විද්‍යාත්මක කරුණු පරම්පරානුගත ව සම්ප්‍රේෂණය කල යුතු බව හුවා දක්වයි. සංවර්ධනය තුළ තිරසර සංවර්ධනයක් ඇති කර ගත හැක්කේ එවිටය.
 
යළිඳු ජයවීර 
සංවර්ධන අධ්‍යයනය ශාස්ත්‍රවේදී (ගෞරව)
භූගෝලවිද්‍යා අධ්‍යයනාංශය 
කැලණිය විශ්වවිද්‍යාලය