වීදිය බණ්ඩාර කුමරු ලංකා ඉතිහාසයේ වීර චරිතයක් මෙන්ම දක්ෂ සටන්කාමියෙක් වශයෙන්  ද හැඳින්වේ. ඔහු මාදම්පේ විසූ තනියාන්වල්ලභ රජතුමාගේ දියණිය වූ කපුරු ළමා එතනාගේ පුත්‍රයාය. පියා කුමාර බණ්ඩාර නම් ප්‍රාදේශීය පාලකයෙකි. වීදිය බණ්ඩාර කුමරු බුවනෙකබාහු රජතුමාගේ දියණිය වූ සමුද්‍ර දේවීය විවාහ කරගෙන සිටියත් පසුව ඇයව දියවන්නාවේ ගිල්වා මරා ඇත. වරෙක පෘතුගීසීන් විසින්  සිරගත කර සිටි වීදිය බණ්ඩාර උපායශීලීව හිරෙන් පැන පැළෑඳට පැමිණ බලකොටුවක් සාදාගෙන තිබේ.

බස්නාහිර පළාතේ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙම පැළෑඳ නම් ග්‍රාමය පිහිටා තිබේ. දේවානම්පියතිස්ස යුගයේ සිට මේ ප්‍රදේශය හඳුන්වා දී ඇත්තේ දිගම්පතන කෝරළය ලෙසය.  දිගම් පතන කෝරළය සැකසෙන්නේ, එදා සංඝමිත්තා මෙහෙණිය සමඟ ලංකාවට පැමිණි අටලොස් කුලයේ සිටි විජයරාම බ්‍රාහ්මණරාලගෙන් ය. එය කුකුළු කෝරළය බවට පත්වන්නේ දෙවන රාජසිංහ යුගයේදී ය. දෙවැනි රාජසිංහ රජතුමන් කුකුළු පොර නැරඹීමට කැමැත්තක් දැක්වු බව කියැවේ.දිනක් දිගම්පතන කෝරළයෙන් හමුවන කළු කුකුලෙක් පොරයකදී ජයග්‍රහණය කළ බවත්, එනිසා දිගම් පතන කෝරළය කුකුළු කෝරළය බවට පත්වූ බවත්  ජනප්‍රවාදයේ කියැවේ.

මෝල්කාවේ සිට බදුරලිය පාරේ රබර් වතු යායක් පසු කරමින් යන විට ගේට්ටුව හංදියෙන් වම් අත පැත්තට දිස්වී  ඇති මාර්ගයේ ගමන් ගන්නා අතරෙහි හමුවන පැළෑඳ කනිෂ්ඨ විද්‍යාලය පසු කර, තවත් සැතපුමක් පමණ ඉදිරියේ දී හමුවන්නේ පැළෑඳ ගල්කණුගොඩැල්ල පුරාණ රජමහා විහාරයයි.

පැළෑඳ රජ මහා විහාරය

රාජාවලියේ සහ චූලවංශයේ සඳහන් වන පරිදි  වීදියේ  බණ්ඩාර කුමාරයා කලක් මෙම ප්‍රදේශයේ තම රාජධානිය ගොඩනගා ගෙන සිට ඇත. කළු ගඟෙන් එතෙර වී අටලුගම බුලත්සිංහල ආදී ප්‍රදේශ පසු කරමින් කැලෑ බද බිම් ඔස්සේ පිලින්ද  ගම්මානයට පැමිණ තිබේ. ඉන්පසුව මේ ප්‍රදේශයේ සේනාවත් සමඟ වීදියේ බණ්ඩාර කුමාරයා කඳවුරුගත වු බවත් සදහන් වේ.  පිලින්ඳ යනු ආභරණ තැබූ ගම යන අර්ථයයි. පසුව  එය පැළැඳ නමින් පරිවර්තනය වී තිබේ.

පැළෑඳ පුරාණ රජමහා විහාරය හෙවත් වීදිය බණ්ඩාර රජතුමාගේ රාජධානිය පිහිටා ඇති ස්ථානය මහා කඳුයායකින් වටවී තිබේ. නැගෙනහිරින් කෙලින්කන්දත් , බස්නාහිරින් මෙන්ම දකුණින්  මලදූගල  කන්දෙන් ද, උතුරින් වීදිය බණ්ඩාර දියකෙළියට ගිය මාකෙළි ඇල්ල ආරම්භ වන තපස්සරකන්දෙන්ද යුක්ත වේ . ඒමෙන්ම මෙම ප්‍රදේශය වට වී ඇත්තේ පැළැන්ද ගගෙන් ද‌‌ සහ මගුරු ගගෙන් ය. කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම දියඇලි ප්‍රමාණයක් ඇත්තේ පාලිද නුවරය. එමෙන්ම වැඩිම ගංගා ප්‍රමාණයක් මෙන්ම වනගහනයකින් ද  පාලිදනුවර සමන්විත වේ. ඒ ආකාරයට බලන විට වීදිය බණ්ඩාර රජතුමා තම යුද බලකොටුව ලෙස තෝරාගෙන ඇත්තේ කදිම ස්ථානයකි.

වීදිය බණ්ඩාර කුමාරයා සමඟ දහ හතර දහසක පමණ සේනාවක් මෙහි වාසය කර තිබේ. ඔවුන්ගේ පරම්පරාවල අය මේ වන විටත් එම ගම්මානයේ ජීවත් වෙති. සේනාවට ආයුධ සැපයීම සඳහා යකඩ කම්මලක් පැවැති බවට සාක්ෂි වශයෙන් දැනටත් ශේෂව පවතින යබොර වළවල් මගින් පැහැදිලි වේ. මොවුන්ට අවශ්‍ය ආභරණය සාදා ඇත්තේ පන්නේවත්ත , පන්නේකුඹුර, පන්නෙ ඇල යන ස්ථානවලයි. එම පරම්පරාවේ කම්මල්කරුවන් හට තිබුණේ පැළැඳ ගන් ආචාරිගේ යන පෙළපත් නාමයයි. ඊට අමතරව හේවාපන්න ආරච්චිගේ, ඉද්දගොඩ හේවාගේ, උඩු වන අතු කෝරල ලේකම් ලියනගේ,මොර මුදලි ආදී වාසගම් ද තිබේ. හෙට්ටිගෙ වත්ත පල්ලිය ගොඩැල්ල මුස්ලිම් ගොඩ කියන වීදිය බණ්ඩාර කුමාරයා සමග පැමිණි මුස්ලිම් ජනයාය. අද වන විටත් එම ප්‍රදේශයේ බහුල වශයෙන් මුස්ලිම් ජනතාව වාසය කරයි. බෞද්ධ කටයුතුවලටදි ද ඔවුන්ගේ නොමද සහය ලැබේ.

විහාර බිමේ වම් පසට වෙන්නට තවමත් ගල් කණු, කටාරම් සහිත කණු, වළවල් ආදිය දක්නට ලැබේ. මේවා වීදිය බණ්ඩාර මාලිගයේ දැනට ඉතිරිව ඇති නටඹුන් ලෙස සැලකිය හැකිය. පැලෑද ප්‍රදේශයෙන් හමුවූ පුරාවස්තු එක්රැස්කර ඒවා සංරක්ෂණය කිරීම සඳහා ප්‍රදේශවාසීන්ගේ සහාය ද ඇතිව තෙමහල් ගොඩනැගිල්ලක් සහිත කෞතුකාගාරයක් ඉදි කර තිබේ. පුස්කොළ පොත් ,උපසම්පදා සීට්ටුව, ලෝකඩ පිළිම, මැටි මෙන්ම පෝසිලේන් පිඟන් භාණ්ඩ,කාලතුවක්කු උණ්ඩ, බිම් උළු, මැටි කොරහා, අත්පොරව, ඊතල, යබොර පිහිතලයක් ,හඳුන්ගල, පත්තිනි සළඹ ,යපස් උඳුනක් ආදී බොහෝ නටඹුන් මහජන ප්‍රදර්ශනය සඳහා මෙම කෞතුකාරයේ තැන්පත් කර තිබේ.

පැළැද විහාරයට යාබදව පිහිටා තිබෙන එබූ වළ නම් ස්ථානයේ පෘතුගීසි සීතාවක සේනාව වට කළ පසු වීදිය බණ්ඩාරගේ රන් රිදී මුතු මැණික් ආදී රාජකීය වස්තු විශාල වළකට දමා අලි ඇතුන් ලවා පාගවා  විශාල කොටන් දමා වසා දැමූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එමෙන්ම පත්තිනි ඇදහිල්ල මෙම ප්‍රදේශයට රැගෙන විත් තිබෙන්නේ වීදියේ බණ්ඩාර කුමරුන් ය. 1854 අවුරුද්දේ දී පමණ පැළෑඳ පුරාණ පත්තිනි දේවාලය ආරම්භ වී තිබේ. පැළැඳ දේවාලය කේන්ද්‍ර කරගෙන මේ ප්‍රදේශයේ තවත් දේවාල කිහිපයක්ම පිහිටා ඇත. අඹේගොඩ, හැඩිගල්ල, ගුරුදොළ, හුරුලුගෙදර, ලත්පඳුර, බදුරලිය මේ අයුරින් දේවාල පිහිටුවා ඇති අතර ඒ වටා ජනාවාස ඉදි වී තිබේ.

සුප්‍රකට මාකෙලි ඇල්ල පිහිටා තිබෙන්නේ ද පැළැද නුවර ය. වීදිය බණ්ඩාර කුමරු සූරිය දේවිය සමග ජල ක්‍රීඩාව කළේ මාකෙළි ඇල්ලේ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ජනප්‍රවාදයේ සඳහන් වන ආකාරයට මා කෙළි ස්ථානය පසුව මාකෙලිය වශයෙන් වහරට පැමිණ තිබේ.

කෙසේ හෝ එකල පැළෑඳ නමින් හැඳින්වූ මෙම රාජධානිය පාලින්ද නුවර වශයෙන් පසුව නම් කෙරිණි . එයින් පසුව පාලිද නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,  පාලින්ද නුවර ප්‍රාදේශීය සභාව ආදී රාජ්‍ය ආයතන බිහිවුයේ ද මෙම නාමකරණයේ වෙනස හේතු කරගෙන ය. පසුකාලීනව මතුගම අධ්‍යාපන කලාපයේ මොරපිටිය විද්‍යාලය වීදිය බණ්ඩාර නමින් නම්කර ඇත්තේ ද මෙම රණශූරයාට උපහාරයක් වශයෙනි. පැළෑඳ නුවර 1948 වර්ෂයේදී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කර තිබේ. නමුත් එහි ඇති පුරාවස්තු පිළිබඳව මේ වන තෙක් විධිමත් ගවේෂණයක් සිදු කර නොමැත.

 

ඉෂාරා හේමචන්ද්‍ර

ජන සන්නිවේදන අධ්‍යන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය