Image
ගැමි නාටක අතර ඇති අපූරු රූපන කලාවක් ලෙසින් රූකඩ හැඳින්විය හැකිය. රූකඩ කාලාව ලංකාව තුළ මෙන් ම ලෝකය පුරා ම විවිධ රටවල් තුළ ප්‍රචලිතව ඇති කලාවකි. රූකඩ කලාවේ ආරම්භය මෙදින යැයි නිශ්චිතව ම ප්‍රකාශ කළ නොහැකි වුවත් එය මානව ශිෂ්ටාචාරයේ ආරම්භක යුගවල සිට ම පැමිණෙන විනෝදාස්වාදන මාධ්‍යක් ලෙස හඳුනාගත හැකිය. ලංකාව තුළ ද රූකඩ කලාව පිළිබඳ ඉතිහාසය අනුරාධපුර යුගයෙන් ද ඔබ්බට දිවයන බව ඓතිහාසික සාධක සාක්ෂි දරයි. රූකඩ යන්නෙහි වචනාර්ථය ගත් විට ලීයෙන් කරන ලද මිනිස් හෝ වෙනත් රූප යන අර්ථය ශබ්දකෝෂ තුළ හඳුනාගත හැකිය. එලෙස ම සමහර තැනෙක රූකඩ යනු ‘රූපයෙන් කොටසක්’ යන අර්ථයද ලබා දී ඇත.
Image
ලංකාවේ අම්බලන්ගොඩ බම්බලපිටිය මිරිස්ස ප්‍රදේශ ආශ්‍රිතව පවුල් කිහිපයක් කේන්ද්‍ර කොටගෙන තවමත් මෙම රූකඩ කාලාව පවතියි. මෙරට තුළ බහුලව දක්නට ලැබෙන්නෙ ලීයෙන් කරන ලද රූකඩ වේ. රූකඩ රඟ දැක්වීම මෙන් ම රූකඩ කැපීම ද සුවිශේෂී කාර්‍යයකි. රූකඩ කැපීම සඳහා රුක්අත්තන සහ වෙල් කඳුරු ලී යොදා ගන්නා අතර ලී ලබා ගැනීමට පෙර ගසට මල් පහන් සුවඳ පූජා පවත්වමින් කරන විශේෂ අභිචාර ක්‍රමයක් අනුගමනය කරයි. රූකඩ කැපීම මෙන් ම වර්ණ ගැන්වීම, ඇදුම් හා කොණ්ඩය යෙදීම, ආධාරක සවිකිරීම රූකඩ ශිල්පීන් විසින් සිදුකරනු ලබයි. එසේ සකසන රූකඩ වර්ග කිහිපයක් හඳුනාගත හැකිය. රිටි රූකඩ, අත් රූකඩ, ඇඟිලි රූකඩ, සෙවණැලි රූකඩ, වෙස්මුහුණු රූකඩ, ක්ෂුද්‍ර රූකඩ වැනි රූකඩ වර්ග රැසක් පවතියි. රූකඩ රඟ දැක්වීමේදී විශේෂ වේදිකාවක් අවශ්‍ය වේ. එනම් රූකඩ නරඹන්නන් හට දර්ශනයවන වේදිකා කොටසක් සහ රූකඩ ශිල්පියාට රැඳීසිටීමට පිටුපසින් වෙන ම වේදිකාවක් අවශ්‍ය වේ.
Image
ලංකාවේ රූකඩ කලාව හා නාඩගම් අතර සෘජු සබඳතාවක් හඳුනාගත හැකිය. රූකඩ සඳහා නාඩගම්වල ආභාෂය ලැබී ඇත. නාඩගම්වල කතා පුවත, නාඩගම් සංගීතය රූකඩ රඟ දැක්වීමේදී භාවිත කරයි. රූකඩ රඟ දැක්වීමේදී මද්දලය හා සර්පිනාව වාද්‍ය භාණ්ඩ වශයෙන් භාවිත කරයි. රූකඩ හරහා අජීවී වස්තුවකට හඬ, චලනයන් සහ සංගීතය හරහා සජීවී බවක් මුසු කරයි. රූකඩ සඳහා මිනිස් චරිත මෙන් ම සත්ත්ව චරිත ද යොදා ගනියි. ඒ අතර රජවරු, බිසෝවරු,
Image
රාජසභිකයන්, නාටිකාංගනාවන් මෙන් ම ඇත්, අශ්ව,සිංහ, පක්ෂි චරිත ද වේ. ලංකාවේ රූකඩ ශිල්පීන්ගේ නාමයන් අතර පොඩිනේරිස් ගුරුන්නාන්සේ බාලයා ගුරුන්නාන්සේ සුරතන් ගුරුන්නාන්සේ වැනි පවුල් කිහිපයක් පිළිබඳ සඳහන් වේ. බාල මහලු භේදයකින් තොරව එකට සිට රසවිඳිය හැකි මෙම අපූරු රූකඩ කලාව අදටත් අම්බලන්ගොඩ මිරිස්ස වැනි ප්‍රදේශ තුළ ආරක්ෂා වී ඇති අතර ජාතික උරුමයක් වශයෙන් එය රැක ගැනීම කළයුතු වේ.
සචිනි ඉමල්ෂා උඩවත්ත
ජනසන්නිවේදන අධ්‍යනාංශය