අධ්‍යාපනය යනු පුද්ගලයා තුළ දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය කිරීමේ ක්‍රියාවලියකි. අධ්‍යාපනය යන්න ඉගෙනීම, ඉගැන්වීම, ඇගැයීම, රස විඳීම පුහුණුව.. ආදී පුළුල් ක්ෂේත්‍ර හා සම්බන්ධ වෙයි. අධ්‍යාපනය පුද්ගල හැකියාවන් පිටතට මතුකොට ඒ තුළින් පූර්ණ මිනිසකු බිහිකිරීම සහ සමාජ සංවර්ධනය කිරීම පෙරටු කොටගත් වැදගත් සංකල්පයක් ලෙස පෙන්වාදිය හැකිය. ලොව හොඳම අධ්‍යාපන ක්‍රමය මෙන්ම සතුටින් ජීවත් වන රට ලෙස ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ පින්ලන්තයයි. ඊට මූලිකම හේතු ලෙස,

  1. තරගකාරී අධ්‍යාපන රටාවෙන් වෙන්ව අත්දැකීමෙන් හා නිරීක්‍ෂණයෙන් ඉගෙන ගැනීමට දරුවන්ට අවකාශය සැලසීම.

  2. දරුවන්ගේ විවේකය සහ නිදහස අගය කිරීම උදාහරණයක් ලෙස දරුවන්ට මාස හයක නිවාඩු කාලයක් ලබා දීම. 

  3. අධ්‍යාපන කටයුතුවලින් පීඩාවට පත් දරුවන් සඳහා විවේක කාමර තිබීම.

  4. සියලු දරුවන්ට සමානාත්මතාවයෙන් අධ්‍යාපනය ලැබීමට ඉඩහසර ලබාදීම.

  5. හැකියාව මත අධ්‍යාපනික නැඹුරු ඇති කිරීම නිදසුනක් ලෙස වෘත්තීය පුහුණු සඳහා යොමු කිරීම 

ආදිය පෙන්වාදිය හැකිය. මෙහි අධ්‍යාපන ක්‍රමවේදය සැලකිල්ලට ගත්විට ආගම් භේද කවරක් වුවත් බෞද්ධ ක්‍රමවේද මුල්කොට ඇති බව බෞද්ධ මූලාශ්‍ර හා සැසදීමේදී පැහැදිලිවෙයි.

දරුවා අධ්‍යාපනයට නැඹුරු නොවීමට කායික මෙන්ම මානසික යන ද්විත්ව හේතු බලපායි. ඒවා කණ්ඩනය කොට අධ්‍යාපනයට දරුවා නැඹුරු කරන ක්‍රමවේද පහක් විතක්කසන්ඨාන සූත්‍රයෙහි පෙන්වා දී ඇත.

1.      අඤ්ඤනිමිත්තපබ්බං (ප්‍රතිවිරුද්ධ කුසල සිතිවිලි මෙනෙහි කිරීම)

පාඩම් කිරීමේ දී කම්මැලි වීම, නිදිමත, බඩගින්න, දුරකථනය භාවිතා කිරීමට සිතීම,... ආදී නොයෙකුත් කාරණා සිහිපත්වීම තුළ අධ්‍යාපනය අඩපණ වෙයි. මින් මුදවාලීමට උක්ත කාරණයට අනුව තමාට බෑ යන සෘණාත්මක සිතිවිලි කාරණා වෙනුවට මූලික අරමුණක් සිහිපත් කොට තමා අධිෂ්ඨානය පෙරටු කොට ධනාත්මකව තමාට පුළුවන්, මම පාඩම් කරනවා, මට පාඩම් මතක හිටිනවා, සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න දැම්මට පුළුවන්, මම මේ පාඩම කාටහරි කියල දෙනවා යන ධනාත්මක ආකල්ප වර්ධනය කිරීම තුළ අධ්‍යාපනයට නැඹුරුවීම සිදුවේ.

උදාහරණයක් ලෙස වාරවිභාගයකදී ශිෂ්‍යයකු ලබාගන්නා ලකුණු ගැන දෙමව්පියන් ගුරුවරුන් ආදීන් තමාව ඇගැයීමට ලක් කරන ආකාරය සිහිපත් කිරීම දෙමාපියන්ගෙන් සමත්වීම හේතුවෙන් ලැබෙන ත්‍යාග පිළිබඳ මෙනෙහි කිරීම මත අරමුණු මූලිකව සෘණාත්මක සිතිවිලි වෙනුවට ධනාත්මක සිතුවිලි ගොඩනැගීම අධ්‍යාපනයට නැඹුරු වීම සිදුවෙයි.

2.      ආදීනවපබ්බං ( උපන් අකුසල විතර්කයේ ආදීනව සිහිකිරීම)

පාඩම් කිරීමට කම්මැලිකමක් දැනෙන විට පාඩම් නොකර සිටීම තුළ තමන්ට ලැබෙන ප්‍රතිඵල කිහිපයක් හා එයින් තමාට සිදුවන අයහපත මෙනෙහි කිරීම තුළ ද අධ්‍යාපනයට නැඹුරු කළ හැකිය.

නිදසුනක් ලෙස වාර විභාගයකට පාඩම් කිරීමේ දී නිදිමත කම්මැලිකම ආ විට පාඩම් නොකිරීමෙන් වාර විභාගයට ගොස් පේපරයට අනිත් ළමුන් ලියද්දි තමාට පිළිතුරු ලිවීමට නොහැකිව අපහසුතාවයට පත්වන ආකාරය චිත්ත රූප මවාගැනීම, ලකුණු ආ විට ළමුන් අතර ලැජ්ජාවට පත්වන ආකාරය මෙන්ම ගුරුවරුන් අතර ලැජ්ජාවට පත්වන ආකාරය සිහිපත් කිරීම, දෙමාපියන් වාර්තා පොත ඉල්ලූ විට ලකුණු අඩු වූ හෙයින් පෙන්වීමේදී ඇතිවන ගැටලු සිහිපත් කිරීම,.. ආදී තමාට වන බලපෑම වීමට පෙර සිහිපත් කිරීමෙන් කම්මැලිකම, නිදිමත නැතිව පාඩම් කිරීමට  පෙළඹවීමෙන් අධ්‍යාපනයට නැඹුරු කළ හැකිය.



3.  අසතිපබ්බං(වෙනත් අරමුණකට සිත යොමුකොට අයහපත් අරමුණ අමතක කොට දැමීම)

ආදීනව මෙනෙහි කර ද නැවත සෘණ ආකල්ප ඒ නම් උපන් අකුසල විතර්ක අමතක කරලීම කළ යුතුය. බොහෝ විට දරුවන්ට ඉගෙනීමට ආසාව තිබුණද බාහිර බලපෑම හේතුවෙන් මානසිකව ඇතිවන පීඩනය කරණකොට අධ්‍යාපනයට නැඹුරු නොවේ. නිදසුනක් ලෙස පාඩම් කරන විට දුරකථනය මතක් වීම, ටෙලි නාට්‍ය මතක් වීම තුල ඒවා අමතක කර දැමීම මත අධ්‍යාපනයට නැඹුරු වීම සිදුවෙයි.

4.  විතක්කමූලභේදපබ්බං (උපන් අකුසල විතර්කයේ මූල සිහිකිරීම)

සෘණාත්මක අරමුණු ගොඩනැගෙන විට එම අරමුණු ගොඩනැගෙන මූලය මෙනෙහි කළ යුතුය. උදාහරණයක් ලෙස පාඩම් නොකිරීමට හේතුව නිතර එන නිදිමත නම් ඊට මූල කාරණය පෙර දවසේ ටෙලි නාට්‍ය බැලීම බව අවබෝධ කොට එම මූල කාරණා අවබෝධයෙන් ඒවායින් මිදීම ඈත්වීම තුළ අධ්‍යාපනයට නැඹුරු වීම සිදුවේ.

5.  අභිනිග‍්ගණ‍්හපබබ්බං (කායික හා මානසික අධිෂ්ඨාන ශක්තිය යොදා මර්දනය කිරීම)

කායික ශක්තිය සිතට ලබා දෙමින් අකුසල විතර්ක මර්ධනය කිරීම මට බෑ, මට නෑ, මට දැන් කම්මැලි යන සෘණාත්මක ආකල්ප මනසට එන විට අරමුණ මූලිකව සිහිපත් කොට අධ්‍යාපනයට බලපෑම් කරන නිදිමත, කම්මැලිකම, අධිකක උෂ්ණත්වය..ආදී කවර සාධකයක් වුවද දැඩි වීර්යෙන්, උත්සාහයෙන් මට පුළුවන්, මට පාඩම් මතකයි, කාලසටහනකට අනුව මම පාඩම් කරනවා, යන හැඟීමෙන් එදිනෙදා පාඩම් එදිනෙදා කිරීමෙන් අධ්‍යාපනයකට නැඹුරු වීම සිදුවෙයි.

උක්ත බෞද්ධ ක්‍රම ශිල්ප ප්‍රායෝගිකව දරුවා අධ්‍යාපනයට නැඹුරු කිරීමේ දී භාවිතා කළ හැකිය. එමෙන්ම “චිත්තං. චිත්තං, භික්ඛවෙ, භාවිතං බහුලීකතං මහතො අත්ථාය සංවත්තතී” යනුවෙන් බහුලීකත  සූත්‍රයේ යමක් ගැන බහුල වශයෙන් නැවත නැවත හිතනවනම්, සොයා බලනවා නම් නැඹුරු වී නිවැරැදි ඵල ලබාගත හැකි බව උක්ත පාඨයෙන් පැහැදිලි වෙයි. ඒ අනුව දරුවන් අධ්‍යාපනයට නැඹුරු  කිරීමට නිතර නිතර ඉගෙනීමට යොමුකිරීම,  මුලින්ම නොතේරුණු පාඩම් වුවද නැවත නැවත අධ්‍යයනයට පෙළඹීම තුළ අධ්‍යාපන රුචිය වැඩීමෙන් අධ්‍යාපනයට නැඹුරු වීම සිදුවෙයි.

තවදුරටත් අධ්‍යාපනයට නැඹුරු කිරීමේදී ත්‍රී ශික්‍ෂා ක්‍රමයද උපයෝගී කරගත හැකිය. එනම්

01. සීලය තුළින් කායික සංවරය අපේක්ෂා කරන අතර මානසිකව අධ්‍යාපනික කරුණු අවධාරණය කර ගැනීමට කායික සංවරය මූලික වශයෙන් අත්‍යවශ්‍ය සාධකයකි. 

02. සමාධිගත කිරීම යටතේ ශිෂ්‍යයන්ගේ දැනුම මට්ටම මෙන්ම පෙර කරන ලද පාඩම් සිහිපත් කිරීම තුළ අවබෝධය ගොඩනැගිය යුතුය. 

03. ප්‍රඥාව වැඩීම යටතේ නව කරුණු ඉගෙන්නුම් මනස තුළ තැන්පත් කිරීම පෙර පාඩම් අවබෝධය මත ධාරණය වීම සිදුකරයි. ඒ අනුව අධ්‍යාපනික රුචිය වර්ධනය සමඟ අධ්‍යාපනික නැඹුරුව ඇතිවේ.

රටක අනාගතයේ පැවැත්ම දරුවන් මත තීරණය වෙයි. දැනුමෙන් ආකල්ප වලින් මෙන්ම සාරධර්මවලින් පිරිපුන් දරු පරපුරක් රටට දායාද කිරීමේ මුදුන් මල්කඩ අධ්‍යාපනයයි. එහෙත් ඛේදනීය තත්ත්වය වී ඇත්තේ බහුතරයක් දෙනා අධ්‍යාපනය තුළින්  ඵල ප්‍රයෝජන නොගැනීමයි.  එය අ.පො.ස සාපෙළ   දක්වා සිටින සිසුන් ප්‍රමාණයත්, උසස් පෙළ විභාගය සඳහා සිටින සිසුන් ප්‍රමාණයත්, ඒ අතරින් විශ්ව විද්‍යාලය සඳහා ප්‍රවේශ විය හැකි සිසුන් ප්‍රමාණයත් සැලකිල්ලට ගත් විට තව දුරටත් පැහැදිලි වේ. එහෙයින් මූලික අඩිතාලමේ සිටම අධ්‍යාපනයට  දරුවා නැඹුරු කිරීමට කටයුතු කළ යුතුය. ඒ අනුව උක්ත සඳහන් බෞද්ධ ක්‍රම ශිල්පද උපයෝගී කොට අධ්‍යාපනික නැඹුරුව වර්ධනය කිරීම තුළින් සාර්ථක ජීවිතයකට උරුමකම් කීමට අපි සැවොම පුරුදු පුහුණු විය යුතුය.

 

කේ. ඉමාලි සහනිකා සේනාරත්න

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය

මානව ශාස්ත්‍ර පීඨය