Image
රටක සංවර්ධනය සඳහා රටකට හිමි භෞතික සම්පත් ප්‍රමාණය, ප්‍රග්ධන ශක්තිය හා මානව සම්පත බලපානු ලබයි. රටක භෞතික සම්පත් හා ප්‍රග්ධන හැකියාව කෙතරම් ඉහළ මට්ටමක පැවතියද එහි මානව සම්පත දුර්වල නම් වේගවත් සංවර්ධනයක් කරා ළඟාවීමට හැකියාවක් නොලැබේ. යම් රටක උගත්, බුද්ධිමත්, පුහුණු වෘත්තිකයන් රටකට අහිමි වීම සුවිශාල පාඩුවකි. වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ රටට අවශ්‍ය හැකියාවන් සහිත බොහෝ පිරිසක් වෙනත් රටවලට සංක්‍රමණය වීම ශ්‍රී ලංකාවේ අනාගතයට ප්‍රබල ලෙස බලපෑම් ඇති කළ හැකිය. මහජන මුදලින් නිශ්පාදිත වෘත්තිකයන්, බුද්ධිමතුන් සම්පත් බහුල සංවර්ධිත රටවලින් පවතින ඉහළ ඉල්ලුමත්, වැටුප් වරප්‍රසාදත් හේතුවෙන් වෙනත් රටවලට සංක්‍රමණය වීමට පෙළඹෙන අතර ඒ තුළින් අඩු ආදායම් ලබන රටවලට අත්වනුයේ ඛේදනීය ඉරණමකි.
Image

ලාංකිකයන් මෙපමණ කලක් ලොව දියුණු රටවලට සංක්‍රමණය විය. එහෙත් 2022 වසරේදී ලංකාවේ බුද්ධිගලනය 300%ක් පමණ ඉහළ ගොස් ඇත. ලංකා ඉතිහාසයේ මෙතරම් ඉහළ බුද්ධිගලනයක් පෙරදී සිදුවී නැත. මෙයට බලපෑ ප්‍රමුඛ හේතුව වන්නේ ලංකාව ආර්ථික හා දේශපාලනික වශයෙන් බංකොලොත්භාවයට පත් වීමයි. එමෙන්ම දක්ශතාවයට හා හැකියාවට තැනැක් නොදීම, රාජකාරි කටයුතුවලට බලපෑම් එල්ල කිරීම, නිසි වැටුපක් නොලැබීම, අවශ්‍ය සහයෝගය ලබා නොදීම යනාදී හේතූන් ද මෙයට බලපා ඇත. මෙසේ දිගුකාලීනව සිදුවන බුද්ධිගලනය නිසාවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි අනිසි බලපෑම් රාශියකි. රටතුළ සිටින විවිධ ක්ෂේත්‍රයන්හි අත්දැකීම් බහුල වෘත්තිකයන් බොහෝමයක් රට හැරයාම සිදුවන විට ඔවුන්ගේ සේවාව අත්‍යවශ්‍ය වන සෑම ක්ෂේත්‍රයකම සංවර්ධනයට එමගින් බාධා ඇතිවිය හැක.  රට තුළ ශ්‍රම බලකාය සංකොචනය වීම සෘජුවම රටේ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි බලපායි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය පහළ ගොස් තවදුරටත් සදා දුප්පත් රටක් ලෙස පැවතීමට සිදුවීමයි.

Image
බුද්ධිගලනය යටතේ රට හැර යන්නේ එක් පිරිසක් පමණක්ම නොවේ. ඉන් පළමු පිරිස වෘත්තිකයන් ය. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, පුහුණු වෘත්තිකයින් ඒ අතර වෙයි. දෙවැනි පිරිස වන්නේ කුසලතා හා නිපුණතා පිරිපුන් කොටසයි. ලිපිකරු වැනි වෘත්තිකයන් තෙවැන්නෝ ය. නුපුහුණු ශ්‍රමිකයෝ තුන්වන පිරිස වේ. පස්වන කාණ්ඩයට අයත් වන්නේ ගෘහ සේවයට යන පිරිසයි. අපට ලැබෙන විදේශ විනිමයෙන් 70% ලැබෙන්නේ නුපුහුණු හා ගෘහ සේවයට යන්නන්ගෙනි. කෙසේ වෙතත් 2022 වසරේ දත්තවලට අනුව පිරිමි පුද්ගලයන් හාරලක්ෂයකට අධික පිරිසක් සහ දෙලක්ෂයකට අධික කාන්තාවන් විදෙස් ගමන් බලපත්‍ර ලබාගෙන ඇත. 2022 මුල් මාස හයේදී වෛද්‍යවරුන් 500කට අධික පිරිසක් රටින් පිටව ගොස් ඇති බව හෙළි වේ. වෛද්‍යවරුන්, පුහුණු වෘත්තිකයන්, හෙද හෙදියන් බිහි කිරීම සඳහා ජනතා මුදල් වැය කළ අතර මෙම වැය බර නැවත පැටවෙන්නේ ජනතාව මතට ය. බුද්ධිගලනය දියුණු රටවලද සිදු වේ. ඇමරිකාව, යුරෝපය වැනි රටවල ජනතාව වෙනත් රටවලට යති. ඒ කෙටි හෝ අර්ධකාලීන සේවා සඳහා ය. එසේම එය තොග වශයෙන් නොව සුළු වශයෙනි. නමුත් වර්තමානයේ ලංකාවේ සිදුවන බුද්ධිගලනය දරාගත නොහැකි තරම් ය. ලංකාවෙන් පිටවන බුද්ධිමතුන්ට නැවත ලංකාවට පැමිණීමට කිසිදු අදහසක් නොමැත. කෙසේ නමුත් බුද්ධිගලනය මුළුමුනින්ම නැවැත්වීම ප්‍රායෝගික නොවේ. එහිදී බුද්ධිගලනය සිදුවන ප්‍රමාණය ප්‍රමාණාත්මක ලෙස අවම කිරිම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය. වෘත්තිකයන්ට නිසි වරප්‍රසාද හිමිකර ගත හැකි පරිසරයක් සකස් කිරීම තුළින් ක්‍රමක්‍රමයෙන් බුද්ධිගලනය සිදුවන වේගය අවම කර ගත හැකිය.
සවනි සහස්‍රා ප්‍රේමචන්ද්‍ර
විශේෂවේදී දෙවන වසර
ජන සන්නිවේදන අධ්‍යන අංශය 
කැලණිය විශ්වවිද්‍යාලය