හිරිකඩ වැටුනම නිකිනි ඌෂ්නෙට පාට අකුරු බොඳ වෙන්න එපා

වාහන හුළඟින් දූවිලි නැටුවට පුංචි පුතුගෙ ඇස් දන්න එපා

දැවෙනා ඉර මල ගිණිගෙන වටුනද හිතක සිසිල වියලෙන්න එපා

කවුලුව අස්සෙන් සඳ කැන් වැටුනට පහන නිවා ලත වෙන්න එපා

 

පාසල දුර වී පා මඟ ඇද වී තිබුනත් අහිමිව ඉස්කෝලේ

පාට පෙට්ටියේ කූරු නොමැති වී හැඬුවත් සනසනු නුඹ බාලේ

සෙල්ලම් වයසට ජීවිත බර ගෙන අඩිය තියා හෙමිහිට කාලේ

එපා මගේ පුත ඈතට යන්නට පියඹා ගෙන්  යන්නම් වාලේ

 

රැළක් ළමා උන් සෙල්ලම් පිටියේ නැටුවත් නුඹ නම් බලනු එපා

රැයේ සිසිල එයි තනිවූ පාරේ පුංචි පුතුව වෙව්ලන්න එපා

බඩගිනි කුස දයි කෑම පොදක් නැති හිතට දුකක් නම් දැනෙනු එපා

මලක් නොවෙයි ජීවිතය දුකක්මයි එය වටහා පුත හඬනු එපා

 

දිනන දිනක නුඹෙ දිවියම හැඩ වෙයි තිබූ අපල ගෙවිලාම  පුතේ

තබන තබන බිම පා මල් හැඩ වෙයි එදින වෙතට යනු චූටි පුතේ

ඉරටු අකුරු දූවිල්ලෙ ලියාපන් රන් මුතු වැල්ලේ රතට රතේ

දිනක අකුරු නුඹ ජය වෙත ගෙන යයි එය හඳුනා ගනු මගේ පුතේ

 

අමිල විජේතිලක

සිව්වන වසර

වෛද්‍ය පීඨය