“අධ්‍යාපනය යනු බොහෝ කරුණු ඉගෙනීම නොව යමක් හිතන්නට මනස පුහුණු කිරීමයි” යනුවෙන් ඇල්බට් අයින්ස්ටයින් පැවැසුවේය. විද්‍යාර්ථියෙකුගේ මනස හිතන්නට පුරිදු පුහුණු කිරීම පහසුවෙන් කළ හැක්කක් නොවේ. එය දිගු කාලීන ක්‍රියාකාරකම් හා අත්දැකීම් රැසක ප්‍රතිපලයකි. විවිධ මාතෘකා ඔස්සේ විෂය මාලාවන් සකස් කර ඒ අනුව එක් එක් පර්යේෂකයින් සොයා ගත් කරුණු කාරණා ඉගෙනීම නොව විද්‍යාර්ථියා විසින් කරුණු සොයා බලා, අත්හදා බලා ඉගෙනීම මෙහිදී වඩා ප්‍රයෝජවනවත්ය. 

හිතන්නට මනස පුහුණු කිරීමට විෂය බාහිර ක්‍රියාකාරකම් මහඟු පිටුවහලක් සපයයි. කිසිම බාහිර ක්‍රියාකාරකමක් නොකළ විද්‍යාර්ථියෙකුට වඩා විවිධ අංශවල බාහිර ක්‍රියාකාරකම් කළ විද්‍යාර්ථීන් සෑම අතින්ම ඉදිරියට පැමිණෙනුයේ එබැවිනි. බාහිර ක්‍රියාකරම් සඳාහා කායික මානසික ශක්තිය වඩවන විවිධ ක්‍රීඩාවන්, සංගීතය, නැටුම් ගැයුම් වැනි කලාත්මක නිර්මාණද, අත්කම්, ශිල්ප කලා වැනි ක්‍රියාකාරකම් ද අඩංගු වේ. සමූහයක් ලෙස කණ්ඩායමක් සමඟ එකතු වී ක්‍රියා කරන විවිධ සමිති, සංගම් ද මීට ඇතුළත් වේ. ඒ අනුව නිවැරදි අධ්‍යාපනයක් ලැබීමට කැමති ඕනම විද්‍යාර්ථියෙකුට තමාට ගැළපෙන බාහිර ක්‍රියාකාරකම් තෝරාගෙන සිදු කළ හැකිය. 

විෂය බාහිර ක්‍රියාකාරම් සමඟ මුසු වු අධ්‍යාපනය පරිපූර්ණ විද්‍යාර්ථියෙකු නිර්මාණය කරයි. එය විද්‍යාර්ථියෙකුගේ අනාගත සාර්ථකත්වයට සෘජුවම බලපාන්නකි. පාසල් කාලයේ විවිධ බාහිර ක්‍රියාකාරම් සිදු කළ ශිෂ්‍යයින් විශ්වවිද්‍යාලයට පැමිණි පසු බොහෝ විට බාහිර ක්‍රියාකරකම් සඳහා සම්බන්ධ නොවේ. පළමු වසර තුළ ආරම්භ කළත් එය අනෙක් කටයුතු නිසා අඛංඩව සිදු නොකරයි. ඉන් සිදු වනුයේ කායික මානසික සතුට ලබා ගත හැකි, විශ්වවිද්‍යාලයේ විවිධ සම්බන්ධතා ජාලයක් සකසා ගත හැකි, විවිධ ශිෂ්‍යත්ව ලබා ගැනීමටත් ඇති අවස්ථාව නැති වීමය. සරසවි ජිවිතය තුළ විවිධ ගැටලු පැන නැගුණත් බාහිර ක්‍රියාකාරකම් සඳහා වෙලාව වෙන් කර ගැනීමට උනන්දුව හා උවමනාව තිබේ නම් කාටත් සිදු කළ හැකිය. අවශ්‍ය වෙන්නේ දෛනික වැඩ ප්‍රමුඛතා ගත කිරීම හා කැපවීමෙන් එය ඉටු කිරීමයි. එමඟින් මෙරට විශ්වවිද්‍යාලයට පැමිණෙන විද්‍යාර්ථීන්ට සාර්ථික අධ්‍යාපනයකුත්, ජීවන අත්දැකීම් පිරි සුන්දර මතකයන්ද, වෘත්තීය ජිවිතයට නිසි අඩිතාලම ද තබා ගැනීමට හැකි වනු ඇත. 

 

සංස්කාරක