මානවයාගේ දිවිපැවැත්ම සාර්ථක කරගැනීමට නම් ක්‍රීඩාව අත්‍යවශ්‍යය. ලොව බොහෝ රටවල් පෙර පාසල් කාලයේ සිට පාසල් කාලයේදීත්, විශ්වවිද්‍යාලය තුළත් විද්‍යාර්ථීන්ට ක්‍රීඩා අධ්‍යාපනය ලබා දීමටත්, නිවාසාන්තර ක්‍රිඩා සඳහා කාලය වෙන් කිරීමටත් කටයුතු කරනුයේ ක්‍රිඩාවේ ඇති වැදගත්කම නිසාය. කාර්මික විපලවයට පෙර මිනිසුන් යන්ත්‍ර සූත්‍ර භාවිත නොකර ශ්‍රම ශක්තිය යොදා සියලු අවශ්‍යතා හා වුවමනා ඉටු කරගත්තේය. නමුත් කාර්මික විපලවයෙන් පසු ආරම්භ වු සන්නිවේදන  හා තාක්ෂණ දියුණුවත් සමඟ මිනිසා සිය කය වෙහෙස වනවාට වඩා යන්ත්‍ර සූත්‍ර මත පදනම් වූ ජිවිතයකට හුරු විය. මෙම හුරු වීම අධ්‍යාපන ක්ෂේත්‍රයට බලපෑවේ කෙසේද යන්න අප විග්‍රහා කර බැලීම වටී.

මෙතරම් ප්‍රවාහනය දියුණු නැති කාලයේ ඉගෙනගන්නා දරුවන් පාසල් ගියේ දෙපයින්ය. එසේත් නැත්නම් පා පැදිය පදවාගෙනය. නමුත් දැන් බස් රථය, පාසල් වෑන් රථය හෝ පෞද්ගලික වාහනයක් මාර්ගයෙන් පාසල වෙත ගමන් කරයි. ඉන් දරුවන්ගේ කය වෙහෙසීමක් සිදු නොවේ. ඉන් පසුව ඉගෙනගන්නා කාලයද දුව පැන සෙල්ලම් කිරීමට ඇති කාලයට වඩා වැඩිය. පාසලෙන් පසුද නොයෙකුත් විෂයන් ඉගෙනීම සඳහා අමතර පන්ති සඳහා සහභාගී වන බැවින් තම කය වෙහෙසවා සෙල්ලම් කිරීමට දරුවන්ට කාලයක් නොමැත. පවත්නා සංකීර්ණ සමාජ පද්ධතිය තුළ වඩා දැනුමින් පොහොසත් වෘත්තිකයෙකු බිහි කිරීමේ අරමුණින් ගමන් කරන මේ සමාජ ක්‍රමය කායික මානසික සුවය සමබරව පවත්වාගන්නා නීරෝගී පුද්ගලයෙකු බිහි කිරීමට ගන්නා උත්සහය තරමක් මන්දගාමීය. වසර 13ක් පාසල තුළත්, ඉන්පසුව තෘතීක අධ්‍යාපනය සඳහා යොමුවන  වසර කිහිපය තුළත් විද්‍යාර්ථියෙකුට ක්‍රීඩා කිරීම සඳහා සමාජයෙන් ලැබෙන තල්ලුව සාපේක්ෂව අඩුය. ඊට වඩා වර්තමානයේ වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවරයෙකු, පරිගණක තාක්ෂණවේදියෙකු හා නීතීඥයෙකු වීම වැනි සිහින පසුපස දරුවන්ව හඹාගෙන යෑමට අවශ්‍ය පසුබිම, තරඟකාරී හා ආත්මාර්ථකාමී මනසත් නිර්මාණය කිරීමට දක්වන උනන්දුව වැඩිය.

පොත පත දැනුම පමණක් ඇති විද්‍යාර්ථියෙකු පරිගණකය, ජංගම දුරකථනය ආධාරයෙන් දෛනික වැඩකටයුතු කළ හැකි වුවද ඉන් ශරීරයේ අවශ්‍ය ප්‍රමාණයට කැලරි දහනය වීමක් සිදු නොවේ. සියල්ලටම වඩා වැදගත්වන්නේ විද්‍යාර්ථියෙකුගේ නීරෝගීභාවයයි. නීරෝගීකම පරම ලාභය බව බුදුරජානන් වහන්සේ විසින් දේශනා කළේද ද එබැවිනි.  

අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන්ගේ කායික මානසික සුවය රටක සංවර්ධනයට සෘජුවම බලපායි. ශක්ති සම්පන්න, නීරෝගී, දැනුමින් හා බුද්ධියෙන් සන්නද්ධ වෘත්තිකයන් සිටින රටක් වේගයෙන් දියුණුව කරා ගමන් කරයි. එබැවින් ආර්ථික, දේශපාලන හා සමාජීය අර්බුද රැසක සිරවී සිටින ශ්‍රී ලාංකේය පුරවසියන් ද ක්‍රීඩාව කරා දක්වන උනන්දුව වැඩි කරගැනීම මෙරට බොහෝ ගැටලු සඳහා විසඳුම් සෙවීමට සෘජුව හා වක්‍රව බලපායි. කොතරම් ඉගෙනගත්ත ද ලෙඩ රෝගවලින් පිරි, මනස අධෛර්යමත් පරම්පාරවකට මෙරට අලුත් පරිච්ඡේදයක් ආරම්භ කිරීම අසීරුය. එමෙන්ම කෙතරම් හොඳට ඉගෙනගත්තද ඔහු හෝ ඇය සමාජයට වැඩදායී පරිපූර්ණ වෘත්තිකයෙකු වන්නේ ක්‍රිඩාවේ පියගැටපෙළ ආරම්භයේ සිටම නැග ආ විටය. එමනිසා ඉගෙනගන්නා විද්‍යාර්ථීන් ක්‍රීඩාවේ පියගැටපෙළ නගිමින් කායික හා මනසික සුවය යන දෙකම සමබරව පවත්වා ගෙන තමන්ගේ ඉදිරි කටයුතු සැලසුම් කිරීම වැදගත් වේ. 

 

සංස්කාරක