ඔබ දැන  සිටියා ද ලෝකයේ සිටින සියලු දෙනා එකම ආකාරයකට භාෂා උපාර්ජනය කරන බව, එසේත් නැත්නම් සර්වමය රටාවකින් යුක්ත බව. ලෝකයේ  ජීවත් වෙන සියලු දෙනාම එකම ආකාරයකට භාෂාවක් උපාර්ජනය කර ගන්නේ කොහොමද යන්න කුතුහලය දනවන්නක්. ඓතිහාසික වාග්විද්‍යාව දෙස හැරී බැලීමේදී 1800 අග භාගයේ දී කුඩා දරුවන්ගේ භාෂා උපාර්ජනය ගැන පර්යේෂණ සිදු කිරීමට භාෂා විද්‍යාඥයින් මුල් වී ඇති අතර  කාලයාගේ අවෑමෙන් අද වන විට බොහෝ දෙනෙකු භාෂා උපාර්ජන සිදු වීම සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකර තිබේ.  1950 දශකය වෙන තෙක් නොකඩවාම මෙම අධ්‍යනයන් සිදු වෙමින් පැවති මුත්  වාග් විද්‍යාඥයින්ට භාෂා උපාර්ජන පිළිබඳ නිශ්චිත  නිගමනයකට එළැඹීමට නොහැකි විය.  ආගමික බලපෑම ,විවිධ ලෙඩ රෝග වලින් යුතු අය ජීවත් වීම හා තාක්ෂණික අතින් නො දියුණු වීම හේතුකොටගෙන මෙම පර්යේෂණ අසාර්ථක වී ඇත. නමුත් 1950 වර්ෂයේදී බී .එෆ් ස්කිනර්  නම් වාග් විද්‍යාඥයා  භාෂා උපාර්ජනය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීමට මුල් පිරීය. ඔහු වාචික ආචරණය නමින් ඔහුගේ පර්යේෂණ එළි දක්වා ඇති අතර එහි දී දරුවන් මුහුණ දෙන ගැටලුවල ප්‍රතිඵලයක් ලෙස භාෂා උපාර්ජනය ඇති වෙන බව සොයා ගත්තේය.

නමුත් නොම් චොම්ස්කි මෙයට විරුද්ධ වූ අදහස් ඉදිරිපත් කරමින් භාෂා උපාර්ජනය පිළිබඳ විද්වතුන් අතරට ද සමාජය අතරට වෙනස් මත ඉදිරිපත් කර තිබේ භාෂා උපාර්ජනය යනු සහජ හැකියාවකි. දරුවන් බිහිවන්නේ භාෂා දැනුම ඇතිව ය . මව් කුස තුළදී හැදී වැඩෙන කළලයට  සය මාසක් වූ පසු මවගේ භාෂාව දරුවාට උපාර්ජනය වනවාය යන්න ඉන්දියානු හෝමාවරුන් ප්‍රකාශයට පත් කිරීමත් සමගම භාෂා උපාර්ජනය යන මාතෘකාව තවදුරටත් සමාජයේ කතා බහට බඳුන් විණි. භාෂා උපාර්ජනය යනු සහජ හැකියාවක් ය යන මතය තීව්‍ර කිරීමට  නොම් චොම්ස්කිගේ අනුගාමිකයෙකු වන රෙනේ ඩෙස්කාස්, "දරුවා යම් වස්තුවක් දකී එය දරුවා මනසින් දකී එයට කියන නම ඇසීමෙන් දරුවාගේ මනසේ ඇති පරණ මතකය අවදි වේ. දරුවා එම වස්තුව හඳුනා ගනී යන සිය සොයාගැනීම ඉදිරිපත් කළේය. මෙය “Real Triangle”  ලෙස පසු කලක දී හඳුන්වා තිබේ .

නිදසුනක්  ඇසුරින් මෙය විග්‍රහ කළ විට දරුවා ත්‍රිකෝණයක් දකී. මෙය අසම්පූර්ණ ත්‍රිකෝණයකි. එය දැකීමක් පමණක් මෙහිදී සිදු වන මුත් එය මනසේ සඳහන් වේ. පසුව ත්‍රිකෝණයට ප්‍රකාශිත වචනය මතක් වේ. මෙය පැරණි මතකය අලුත් වීමක් ලෙස හඳුනාගත හැකිය. ඊට ත්‍රිකෝණය යැයි කීමට පසුකලෙක දරුවා උත්සුක වේ. එබැවින් මෙය සත්‍ය ත්‍රිකෝණය ලෙස හඳුන්වනු ලැබේ. ඒ පමණක්ම නොව ස්වභාවිකවාදියෙකු වු රොජර් බ්‍රව්න් ද මේ පිළිබඳ අදහස් දක්වා තිබේ. දරුවාගේ මනසේ ව්‍යාකරණ ආදී භාෂා ලක්ෂණ උපතින් ද පිහිටා තිබේ.උදාහරණයක් ලෙස go යන්න ආදී නාමය goned ලෙස කුඩා කාලයේ දී භාවිතා කිරීම පෙන්වා දිය හැකිය . 

කුඩා කාලයේ දී දරුවා උපන් මොහොතේ සිට ම හැඬීම, කෑ ගැසීම ,කෙඳිරී  ගෑම,  බඩගෑම, දණගෑම හා ඇවිදීම වැනි ක්‍රියාකාරකම් දැකගත හැකි ය. මේ අනුව කායික වර්ධනය හා සමගාමීව භාෂා වර්ධනයත් සිදු වෙනවා යන්න සැබෑ  ලෝකයේ දී අපට දැකගත හැකියි . කුඩා කාලයේ දී දරුවාගේ හැඬීම මූලික කරගෙන ඔහුගේ අසනීප තත්ත්වයන්, අපහසුතාවයන්, නිදිමත ආදිය අවබෝධ කර ගැනීමට දරුවාගේ මවට හැකි වේ. දරුවා ඉපදීමෙන් මුල් සති 8 තුළදී මෙම ලක්ෂණ පෙන්නුම් කරන අතර මෙම කාලය ප්‍රතිබිම්බ හැඬීම ලෙස නම් කර තිබේ .ප්‍රත්‍යාවර්තක හැඬීම ලෙස ද හඳුන්වයි. දරුවා ඉපදීමෙන් සති 9 - 20 ත් අතර කාලය තුළ දී කූජන අවධිය පසු කරන දරුවා තුළ දැක ගත හැකි සුවිශේෂී ලක්ෂණය වන්නේ සිනහවයි .

දරුවා ඉපදීමෙන් සති 21 - 30 අතර කාලය "වාචික ක්‍රීඩා අවධිය" ලෙස හඳුන්වනු ලැබේ. එම කාලයේදි මුඛයේ චලනය ක්‍රීඩාවක් කරන්නාක් මෙන් දිස් වේ. සති 31 - 50 අතර කාලය "බලන අවධිය" ලෙස නම් කරනු ලබයි. මෙය අවුරුදු එකහමාරක් කාලය තුළ දැකගත හැකිය. අධි ඛණ්ඩියේ ලක්ෂණ මෙන් ම ඛණ්ඩියේ ලක්ෂණ ද මෙකල දැකගත හැකි වේ .මෙම කාලය "පූර්ව භාෂා අවධිය" ලෙස ද හැඳින්වේ .පූර්ව භාෂා අවධියෙන් පසුව "භාෂා අවදියට" පා තබන දරුවා ශබ්ද හඳුනාගැනීමත්, ශබ්ද එක්කොට වචන ප්‍රකාශ කිරීමට උත්සාහ කිරීමත්, "වාගාලාප අවධිය" වන විට අර්ථවත් ප්‍රකාශ කිරීමට හැකි තරම් දරුවාගේ උපාර්ජන හැකියාව දියුණු වේ . මෙම තත්ත්වය දරුවා ඉපදීමෙන් මාස 10-18 කාලය තුළදි සිදුවේ. එමෙන්ම මෙම අවධියේදී භාෂාමය ලක්ෂණ ලෙස එක් වචනයක් අර්ථාන්විත ව ප්‍රකාශ කිරීම, වැඩිහිටියකු ශබ්ද කරන්නාක් මෙන් ශබ්ද නො වුවත් ඊට ආදේශක ලෙස ශබ්ද වීම හා සීමිත වචන ගණනාවක් උච්චාරණය කිරීම දැකගත හැකිය. "ද්වි පද වාගාලාප අවධි"  යනු දරුවා ඉපදීමෙන් අවුරුදු 1 1/2 අතර කාලයයි. මෙය දරුවාගේ වඩාත් වර්ධනාත්මක කාලය ලෙස හඳුනාගත හැකි ය. භාෂාමය ලක්ෂණ ලෙස කේන්ද්‍රිය පද භාවිතා කිරීම, වාගාලාප ගණන් කළ හැකි වීම හා ව්‍යාකරණ ලක්ෂණ අනුව විශ්ලේෂණය කළ හැකි වීම යන ලක්ෂණ දැකිය හැකිය . "ත්‍රිපද වාගාලාප අවධිය" මාස 25- 30 අතර එනම් අවුරුදු 2 1/2 කාලයට අයත් වේ. මෙකල භාෂාත්මක ලක්ෂණ ලෙස වචන තුනක් කතා කිරීම, පද දීර්ඝත්වය දැක ගත හැකි වීම, වාක්‍ය තුළ පූර්ණත්වයක් දැක ගත නොහැකි වීම,  වාක්‍ය විචාරාත්මක ලෙස විග්‍රහ කිරීම, කේන්ද්‍රීයවාගාලාපයන්ගෙන් වෙන් කළ හැකි වීම, වාක්‍ය සැලැස්මක් විශ්ලේෂණය කළ හැකි වීම යනාදී ලක්ෂණවලින් යුක්ත වේ.

අවුරුදු දෙක හමාරෙන් පසු දරුවා වාගාලාප හතරක් දක්වා වර්ධනය අතර උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ කරණ හා ස්ථාන ක්‍රියාකාරීත්වය වැඩිහිටියෙකුට වඩා වෙනස් වන බැවින් වාගාලාපයන්ගේ වෙනස් වීමක් සිදු වේ. එමෙන්ම ක්‍රම ක්‍රමයෙන් සංකීර්ණ වාගාලාප නිපදවීම ද සිදු වේ. දරුවාගේ මනස නිරන්තරයෙන් විශ්ලේෂණාත්මක ව ක්‍රියා කරන අතර  ඊට කිසියම් වයස් සීමාවක් පෙන්නුම් කරයි. වාගාලාප උත්පාදනයේදී සීමා හෙවත් කාලානුරූපව වෙනස් වන ආකාරය රටාවක් සේ දැක ගත හැකිය. මෙය සර්වමය රටාවක් ලෙස හඳුනා ගැනේ. කොයි කවර දරුවාටත් එය පොදු වූ රටාවක් වුවුද උපාර්ජනය කරනු ලබන භාෂාව එයට වැදගත් නොවේ.

 

ඩබ්. ඩබ්. හේමමාලි වඩුගේ

තෙවන වසර

වාග් විද්‍යා අධ්‍යන අංශය

මානව ශාස්ත්‍ර පීඨය