සාමාන්‍යයෙන් අපි නිතරම තවත් කෙනකුගෙන් අහන ප්‍රශ්නයක් තමයි මම කොහොම කෙනෙක් ද? මම මොන වගේ කෙනෙක් ද? ඔබට මොනවද මං ගැන හි‌තෙන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න අනිවාර්යෙන්ම ඔබත් ඔබේ ජීවිතයේ කෙදිනක දි හෝ වෙනත් කෙනකුගෙන් අසන්නට ඇති. මේ ලිපිය ලියන මමත් එහෙමයි. ඒ, ඇත්තටම මම කොහොම කෙනෙක් ද? මොන වගේ කෙනෙක් ද? කියලා තවත් කෙනකු මාර්ගයෙන් දැනගන්නට  තිබෙන ආශාවට. කැමැත්තට ඔබත් එහෙම හිතනවා ඇති. 

අපි හැමෝම කැමතියි අපි කවුද කියලා දැනගන්න. තව කෙනකුට අපිව දැනෙන විදිහ, අපිව පෙනෙන විදිහ, ගැන දැනගන්න අපි හැමෝම කැමතියි. ඒත් ප්‍රශ්නය  තමයි අපි අපි ගැන දැන ගන්නෙ හරිම කෙනාගෙන්ද? කියන දේ. තව කෙනකුට  හරියටම මාව කියව ගන්න පුළුවන්ද? මං ගැන තේරුම් ගන්න පුළුවන්ද? මං ගැන දන්න මම හැරුණු කොට. මං ගැන මං තරම් දන්න තව කෙනෙක් ඉන්න පුළුවන් ද? නැහැ .කවදාවත්ම මං තරම් හොඳින් මං ගැන කිසි කෙනෙකුට තේරුම් ගන්න, හඳුන ගන්න  පුළුවන්කමක් නැහැ.ඒ නිසා මම හිතන්නෙ මම කියන්නේ කවුද? කොහොම කෙනෙක් ද? කියලා අහන්න සුදුසුම පුද්ගලයා තමන්මයි කියලා.අද ගොඩක් දෙනා වරදවා වටහා ගන්නෙත් මේ දේමයි. තමන් ගැන තමන්ට වඩා හොඳින් දන්න කෙනෙක් ඉන්දැද්දි අනිත් අයගේ ඇහෙන් තමා ගැන විනිශ්චය කරගන්න යන එක.

සමහරු හිතනවා තමා ගැන දැනගන්න නම් ජෝතීර්වේදීයෙක් හමුවෙන්න ඕන කියලා. අපේ ගති ලක්ෂණ ගැන දැනගන්න, හැසිරීම් ගැන දැනගන්න. ඒත් ඔහුට පුළුවන් උනාද ඔබ කවුද කියලා කියන්න, කොහොම කෙනෙක්ද කියලා කියන්න, අපේ බාහිර ස්වරූපය ගති ලක්ෂණ සමහරවිට කියන්න පුළුවන් වේවි ඒත්,තමන්ට හැර. කාටද පුළුවන්කමක් තියෙන්නේ අපේ අභ්‍යන්තරයේ සිත (ඇතුල් හිත) කියවන්න,  ඒක ඇත්තටම රහස්වලින් පිරුණු අඳුරු ගුහාවක් වගේ. හැම විටම අගුළු දමාගෙන වහලා තියෙන්නේ. කාටවත් යන්න බෑ, මං ඇරුණුකොට. මොකද යතුර තියෙන්නේ මා ළඟ නිසා. 

තව කෙනෙකුට ඔබ ගැන හරියටම කියන්න බැහැ. ඒක ඇත්ත. ඉතින් අපි අපෙන් අහල බලමු මම කවුද, මම මොන වගේ කෙනෙක්ද කියලා. එතකොට කෙනකුට  හිතෙන්න පුළුවන් තමන්ගේ හැසිරීම්,  ක්‍රියාවන්, සිතුවිලි ගලපල බලනකොට,මම නම් සංවේදී කෙනෙක්. ගොඩාක් හැඟීම්බර කෙනෙක්. එහෙම නැතිනම් තද හිතක් තියෙන කෙනෙක්. මම හැම වෙලාවෙම ජීවිතය දිහා සුබවාදීව බලන කෙනෙක්. තමන් ගැන විතරක් හිතන ආත්මාර්ථකාමී කෙනෙක්. තේරුම් ගන්න අමාරු කෙනෙක්. සරල චාම් කෙනෙක්. මේ වගේ චරිත ලක්ෂණ කියන්න පුළුවන්. ඒත් පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව මේ ලක්ෂණ වෙනස් වෙනවා.

අපි අනිත් අයගෙන් තමන් කවුද, කොහොම කෙනෙක් ද කියලා අහන්න පුරුදු වෙලා ඉන්නවා මිසක් කවදාවත් තමන්ව හොඳින් දන්න තමන්ගෙන් තමන් කවුද කියන ප්‍රශ්නය අහලවත් නැතුව ඇති.ඇත්තටම හිතලා තියනවද මම මොන වගේ කෙනෙක්ද කියලා, ගොඩක් අයගේ උත්තරේ නැහැ කියන එක. සමහර විට අපෙන් කෙනෙක්, දෙන්නෙක් මේ ප්‍රශ්නෙ අහලත් ඇති. එතකොට අපි හිනාවෙලා උත්තරයක් නොදී ඉන්නත් ඇති. මේ ඒ ගැන හිතන්න හොඳම වෙලාව. වැදගත්ම දේ තමයි තමන්ට තමන් පිළිබඳව හොඳ අවබෝධයක් තිබීම. අවබෝධයකින් ඉන්න එක. තමන් මොන වගේ කෙනෙක්ද කියලා තමන් දැනගන්න එක. බොහෝවිට එවැනි දේවල් අපි හිතන්නේ නෑ. ඇත්තටම හිතන්න කැමති නෑ. අපි අපි ගැන හොයනවට වඩා පුරුදුවෙලා ඉන්නෙ අනුන් ගැන හොයන්න. අනුන් නිර්වචනය කරන්න. 

එයා නං මෙහෙම කෙනෙක් නේ, ඌ හොරෙක් නේ. ඌ මිනී මරුවෙක්. අසහනකාරයෙක්.එයා හරි හොඳ කෙනෙක්.මනුස්සකම් දන්න මනුස්සයෙක්. මේ විදියට හරි අපූරුවට අනුන් ගැන තේරුම් ගන්න, හොයන්න පුළුවන් හැකියාවක් අපට තියෙන්නේ.ඉතින් කවුද දන්නේ අපිටත් තව කවුරුහරි එහෙම කියනවද කියලා. ඇත්තටම අපිත් එහෙම ද කියලා. මිනිස්සු හරි ඉක්මනට තමන් වටේ ඉන්න අය වැරදිකරුවො කරන්න දක්ෂයි. ඒකට වැරදි එයාලනෙ, අරයා තමයි එහෙම කරේ එහෙම නේ අපි කියන්නේ අපි වැරදි කරනවා ඇති.ඒත් අපි කවදාවත් අපි වැරදියි කියලා කියන්නවත්  හිතන්නවත් කැමති නැහැ.

ඒ නිසා කාටද මේ බොරු කරන්නේ, ජීවත් වෙද්දී තමන් කියන්නේ මොනවද, කරන්නේ මොනවද, හිතන්නේ මොනවද කියන දේ පිළිබඳ වන අවබෝධය ඉතාමත් වැදගත්. අපි අපිව අත් හැරල අනුන්  ගැන හොයන්න වුණොත් අපටත් නො දැනුවත්වම අපිට අපිවම මග ඇරිලා යනවා. ඒකනෙ ප්‍රශ්නයක් වුණාම කියන්නේ මට මාවත් තේරුම් ගන්න බෑ මේ වෙලාවේ කියලා. ඒත් ඔබට ඔබ ගැන නිගමනයක් තියෙන්න ඕන.ජීවත් වෙද්දි මම කවුද, කොහොම කෙනෙක් ද කියලා දැනගෙන ජීවත් වීම ඉතාමත් වැදගත්.හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නවා වගේම, අපි තුළ තියෙන හොඳ වගේම නරකත් අපි දකින්න ඕන. ඒවා වෙන්කර ගන්න පුළුවන් වෙන්න ඕන. ඔබ ගැන ඔබට   හැඟීමක් අදහසක් ගන්න බැරි නම් ජීවිතයේ බොහෝ අභියෝගයන්ට දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නොඅනුමානයි. අනිත් අය සමඟ ගනුදෙනු කරන විට සබඳතා පවත්වාගෙන යාමේදී අන්‍යෝන්‍ය අවබෝධය වගේම තමා පිළිබඳව තමා තුළ වන අවබෝධය ද ඉතාමත් වැදගත්. කණ්ණාඩියක් වගේ හරියට දැකලා, හඳුනාගෙන තේරුම් ගතහොත් ජීවිතේ ජීවත්කරවන්න ලේසියි වගේම එහා මෙහා විනිවිද නොගියහොත් තමන්වත් දන්නැති ශෝකාන්තයකින් ජීවිත කතාව ඉවර වෙන්න උනත් පුළුවන්. මූලිකව මේ ගැටලුවලට හේතුව අපි හැමෝම අපි හැමෝගෙන්ම වෙනස් වන නිසා. කුමන හෝ හේතුවක් මත මම අනෙකාගෙන් වෙනස් වෙනවා. මේක තමයි පුද්ගල අසමානතාවය  කියන්නෙ. මේ ලෝකේ එක සමාන මිනිස්සු තියා එක සමාන වැලිකැට දෙකක්වත් හොයාගන්න බැහැ, කියලා තමයි කතාවට උනත් කියන්නේ. ඉතින් අපිට මේ සමාජයේ ගනුදෙනු කරන්න වෙන්නෙ මිනිස්සු එක්ක. ඉතින්    ඒ නිසා අපිට අපි ගැන අවබෝධයක්, අදහසක් තියෙන්න ඕන. ඒක හරි වටිනවා. මේ අසමානතාවය නිසාම බොහෝ විට මිනිසුන් අතරමත් මතභේද, ප්‍රශ්න, ගැටලු ඇති වෙලා තියෙනවා. මොකද මම හිතෙන විදියට නෙවෙයි තව කෙනෙක් හිතන්නේ. දෙයක් දිහා බලන්නේ. ඔවුන්ගේ දැකීම්,  මතවාද, අදහස් විවිධාකාරයි.අපිට අපි ගැන අදහසක් තිබ්බොත්, මම මේ වගේ කෙනෙක්, මේ වගේ ප්‍රතිපත්ති මත ජීවත් වෙන කෙනෙක්, මේ වගේ දේවල් විශ්වාස කරන කෙනෙක්,මේ විදියට හිතන පතන කෙනෙක් කියලා, එහෙම වුණොත් වේලාසනම පුළුවන් මෙයා මට ගැළපෙන කෙනෙක්. නොගැළපෙන කෙනෙක් කියලා අදහසක් ගන්න. මොකද අපි අපි ගැන දන්න නිසා මම මේ වගේ එයාගේ අදහසුත් මගේ වගේ කියලා අඳුනගන්න ලේසියි. අඳුනා ගැනීම මත ජීවත්වීම පහසුයි. ප්‍රශ්න බාධක අවමයි. 

තේරුම් ගත යුත්තේ බොහෝමයක් මිනිස්සු අතර සමානකම් හරි අඩුයි.ගොඩක් තියෙන්නේ අසමානකම්.වෙනස්කම්. නොගැළපීම්.අපි කරන්න ඕන ඒ නිසා නො ගැළපීම් ගළපා ගැනීමට උත්සාහ කිරීම. නොගැළපීම් ඇති අය අය එක්ක සබඳතා අවම කරගනිමින් ගැළපෙන අය තෝරා ගන්න ඕන, මිතුරෙක්, මිතුරියක්, සහකරුවෙක්, සහකාරියක් තෝරා ගැනීමේදී ද එසේමයි. ජීවත් වන විට ඇතිවන බාධා, ගැටලු, මතභේදාත්මක සිදුවීම් නිර්මාණය වෙන්නේ මේ නොගැළපීම මත. අදහස් නො ගැළපෙන්න පුළුවන්, හිතන පතන විධි වෙනස් වෙන්න පුළුවන්. නොගැළපීම් හැම විටම ප්‍රශ්න ඇති කරනවා. දුකක් ගෙනෙනවා. කලකිරීමක් ඇති කරනවා, බිඳවැටෙනවා, කොටින්ම කිව්වොත්  තමන්ට හිනා වෙන්න පවා අමතක කරනවා. 

ඉතින් මේ විවිධාකාර මිනිස්සු එක්ක ගනුදෙනු කරන විට අපට පුළුවන් වෙන්න ඕන එක එක්කෙනා පිළිබඳව වගේම, අපි ගැන, අපි හිතන විදිය ගැන අඳුනගන්න.නො ගැළපෙන දාහක් හිටියට වඩා ගැළපෙන එක් අයකු සිටීම වැදගත්. ඒ නිසා හිතන්න මම කවුද කියලා. අදහසක් ගන්න අපේ අතීතය, වර්තමානය, අනාගතය,අපේ සිහින,පරාජයන්,නොගැළපීම් තුළින්.එතුළින් මම කවුද කොහොම කෙනෙක් ද කියලා නිගමනය කරන්න. එවිට ඔබට නොපෙනෙන බොහෝ දුර යා හැකි. ගමනක් යන්න  නම් තමන් තමන් ගැන දැනගන්න ඕන.මොකද අපි වටේ හුරේ දාන්න කට්ටිය හිටියට වැටෙන තැන ඉන්නේ අපි විතරයි. අර කියමනක් තියෙන්නේ තමා හිසට තම අතමය සෙවනැල්ල කියලා. අනිත් අයට ආදරය කරන්න කලින්, පිළිගන්න කලින්,තමාට ආදරය කරන කරන්න.ගෞරව කරන්න. මුළු  හදවතින් ම තමන්ව  පිළිගන්න. දිගු ගමනක් යන්න ඒ අවබෝධය ගොඩක් වටිනවා. ඒ විශ්වාසය අපිව දිනෙන් දින දිරිමත් කරනවා හැමදාටම.

ඩී. එම්. ශලිනි ලක්ෂිකා

ජනසන්නිවේදන අධ්‍යයනාංශය

 

සමාජීය විද්‍යා පීඨය