Image
වර්තමාන ශ්‍රී ලංකාව ශීඝ්‍රයෙන් දියුණුවනවාට වඩා වේගයෙන් මුළු මහත් සමාජ ක්‍රමයටම හානිදායක වන අයුරින් වයස් භේදයකින් තොරව  මත්ද්‍රව්‍ය භාවිතය සමාජය වෙත ව්‍යාප්ත වී ඇත. එය ගැහැනු, පිරිමි, දුප්පත්, පොහොසත් මෙන්ම ග්‍රාමීයද, නගරය ද යන්න තැකීමක් නොකර විනාශකාරී ලෙසින් පැතිර ගොස්ය.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතයේ ඉතිහාසය සොයා බැලීමේදී පෙනී යන්නේ1505 දී ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ පෘතුගීසීන් විසින් අබිං ලංකාවට හඳුන්වා දුන් බවයි. ඉන්පසු අබිං සහ ගංජා ක්‍රමයෙන් ව්‍යාප්ත වූ අතර 70 දශකයේ අවසානයත් සමග ශ්‍රී ලංකාව, හොරොයින් මත් සඳහාද ගොදුරු වන්නට විය. ඒ වඩාත් තීව්‍ර වූයේ 1977න් පසු විවෘත ආර්ථිකයත් සමගිනි. මත් උවදුර විවෘත ආර්ථිකයේ අනිටුදායක විපාකයක් අවිවාදයෙන් පිළිගත යුතුය. 
Image
පසුගිය කාලය තුළ මත් උවදුර යළි ශ්‍රී ලංකාවේ හිස ඔසවමින්  පාසල් සිසුන් ඇතුළු ළමා සහ තරුණ ප්‍රජාව වෙත මත්ද්‍රව්‍ය බෙදාහැරීම් පිළිබඳ ප්‍රවෘත්ති ගණනාවක් වාර්තා විය.
මේ වන විට අපේ රටේ තරුණ පරපුර අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ. 2018 වර්ෂයේ අයිස් මත්ද්‍රව්‍ය පිළිබඳ වාර්තා වූයේ සිදුවීම් 257 ක් පමණි. නමුත් එය 2021 වනවිට ඒ සම්බන්ධ සිදුවීම් 13,000 දාහකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබේ. එනයින් පෙනී යනු ලබන්නේ අයිස් මත්ද්‍රව්‍ය ව්‍යාප්තියේ ඇති ඉතා වේගවත් බවයි. පුද්ගලයෙකු එක් වරක් හෝ කිහිප වරක් මත්ද්‍රව්‍ය භාවිත කළහොත් එම පුද්ගලයා එම මත්ද්‍රව්‍ය නැතිවම බැරි තත්වයකට පත්වේ. මත්ද්‍රව්‍යය කෙනෙකුගේ කායික, මානසික මෙන්ම ජෛව රසායනික ක්‍රියාවලිය ද අඩපණ කරන්නට සමත් වේ.
Image
මෙහි ඛේදනීය තත්ත්වයක් නම් මෙහි වැඩිපුර ගොදුරු බවට පත්ව ඇත්තේ නව යොවුන් වියේ පසුවන තරුණ ප්‍රජාවයි. විශේෂයෙන් මෙරට පාසල් සිසුන් හා තරුණ ප්‍රජාව අයිස් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි කර ගැනීම වෙනුවෙන් සංවිධානාත්මක වැඩසටහන් ජාලයක් ක්‍රියාත්මක වන බව එදිනෙදා ප්‍රවෘත්ති මඟින් පැහැදිලි වේ. පාසල් දරුවන් පිළිබඳ අවධානය දෙමව්පියන්ගෙන් ගිලිහීම, සමාජ අවබෝධය නොමැතිකම දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹීමට හේතූන් ය. මෙවැනි තත්ත්වයක් තුළ රටේ අනාගතය පරපුර රැකගැනීම සඳහා දෙමාපියන්ද, සිවිල් සංවිධානද, ආගමික නායකයින්ද, රජයය සියලු පුරවැසියෙන්ද මත් උවදුර පිටුදැකීමටත්, රටින් තුරන් කිරීමටත් කඩිනම් පියවර ගත යුතුය.  අදාළ නිතී රීති ක්‍රියාත්මක කිරීම, මේ සඳහා අවශ්‍ය නව නීති රීති සම්පාදනය් අකිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයින්ට දැඩි දඩුවම් පැමිණවීම, දරුවන්ට ආරක්ෂාව හා ආදරය ලබා දීම, ඔවුන්ව දැනුම්වත් කිරීම, කායික හා මානසික සුවතාවය වර්ධනය කිරීම වැනි දෑ ඉටු කළ යුතුය. දැයේ මතු පරපුර මත් උවදුරුන් ආරක්ෂා කරගැනීම සියලු දෙනාගේම වගකීමක් හා යුතුකමක් බැවින් ඒ වෙනුවෙන් සැම අවධානය යොමු කළ යුතුය. 
එස්.ඒ.තිලක්ෂි උත්පලා සමරතුංග 
විශේෂවේදී දෙවන වසර 
ජනසන්නිවේදන අධ්‍යයනාංශය 
සමාජ විද්‍යා පීඨය