‘විභාගය’ යන වචනය ඇසූ පමණින්ම දරුවන්ගේ සිත් තුළ ඇති වන භය, චකිතය එදා මෙන් අදටත් තවමත් එසේමය. කුඩා කල සිට දරුවන් විභාග පිට විභාග වලට මුහුණ දුන්නත්, සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීම විටෙක සිහිනයක් පමණක් වන්නේ ඇයි? ඔබ ඒ පිළිබඳ සිතුවාද? විභාගයකට හොඳින් සුදානම් විය යුත්තේ කෙසේද, විභාගයට යහපත් මානසිකත්වයකින් මුහුණ දෙන්නේ කෙසේද , එසේම සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්නේ කෙසේද යන කරුණු පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය A.G අමරසිංහ මහතා සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකසිණි.

 කොපමණ විභාග සංඛ්‍යාවකට අප මේ වන විට මුහුණ දී තිබෙන්නට ඇතිද?. කෙතරම් විභාග ප්‍රමාණයකට අප සහභාගී වී තිබුණත්, තවමත් අපි අතරින් බහුතරයක් දෙනා විභාගයක අරමුණ , වැදගත්කම නොදන්නවා විය හැකියි. දරුවෙක්ව විභාගයකට සහභාගී කරවීමේ අරමුණ හා වැදගත්කම පිළිබඳ විමසීමේදී දරුවා විසින් අවධානය යොමුකළ යුතු ප්‍රධාන කරුණු පහක් පෙන්වා දිය හැක. ඉන් මුලික අරමුණ වන්නේ ශිෂ්‍යයන්ට ඒ ඒ විෂය ක්ෂේත්‍රය පිළිබඳ ඇති දැනුම, ආකල්ප හා කුසලතාවයන්ගේ ස්වභාවය මැන බැලීමයි. එහිදී දරුවාව විෂය අධ්‍යයනය කෙරෙහි  වැඩි නැඹුරුවක් දැක්වීම  තුළින්ම සාර්ථක ප්‍රතිඵලයකට මගපෑදේ. විභාගය, ඉතා සුභදායි හා ධනාත්මක සංකල්පයක් වන්නේ එයින් ලැබෙන ප්‍රතිඵලය දරුවාගේ ජීවිතය යහපත් දිශානතියකට යොමු කරන නිසාවෙනි. විභාගය යනු දරුවාව විෂය අධ්‍යයනය කෙරෙහි යොමු කරවන ප්‍රබල පෙළඹුම් කාරකයක් වීම විභාගයක ඇති අනෙක් වැදගත්කමයි. විභාගයක් පැවැත්වෙන කාලසීමාවට පෙර වෙනත් බාහිර කටයුතු වලින් දරුවාව වෙන්කර  අධ්‍යයන කටයුතු සඳහාම සිය අවධානය යොමු කරවීමේ හැකියාව විභාගයක් සතුවේ. දරුවාට තමන්ගේ දැනුම,හැකියාවන්,කුසලතා පිළිබඳ ස්වයං තක්සේරුවක් ඇතිකර ගැනීමට විභාගය ඉවහල් වන අතර බාහිර පාර්ශවයන්ගෙන් ලබා දෙන තක්සේරුවට සීමා නොවී තමාගේ කුසලතා මැන බැලීමට තමාටම අවස්ථාව උදා වීම විභාගයක ඇති තවත් වැදගත්කමකි. දරුවාගේ අනාගතය තීරණය කිරීමේ අයිතිය හා හැකියාව දරුවාටම හිමි  කරදීමේ ප්‍රජාතන්ත්‍රවාදී හා සාධාරණ ක්‍රමය විභාගය වේ. එකම වර්ගයක බීජ කුඹුරක පැළ කළත් ඒ සියලු බීජ එක හා සමානව සාර්ථකව හොඳින් දළු ලා නොවැඩේන්නාක් මෙන් පන්ති කාමරයද විවිධ බුද්ධි මට්ටම් වලින් යුතු දරුවන්ගෙන් සමන්විත වේ. එක් දරුවෙක් විභාගයෙන් හොඳ ප්‍රතිඵල ලබා ගනිමින් විශිෂ්ටයෙකු විය හැකි අතර තවකෙක් අවම ප්‍රතිඵල ලබා ගත හැක.විශිෂ්ටයින් ඇගයීමටත්, අවම ප්‍රතිඵල ලාභීන් දිරිමත් කිරීම හා ඔවුනට නැවතත් විභාගයට මුහුණ දීමට අවස්තාව ලබා දීමත් විභාගයක හඳුනාගත හැකි තවත් වැදගත්කමකි. දරුවන්ට  තමන් වඩාත් දක්ෂ විෂය පථය හඳුනා ගැනීමට හා ඒ ඔස්සේ ඉදිරි අධ්‍යාපන කටයුතු සිදු කිරිමට අඩිතාලම දමන්නේ විභාගයයි. විභාගයෙන් ලැබෙන ප්‍රතිඵලය තුළින් තමන් වඩාත් දක්ෂ හා කැමති විෂය ධාරාව තෝරා බේරා ගෙන උසස් අධ්‍යාපනය හැදෑරීමට හා ඉදිරියේ තමා නියුතු වන  වෘත්තීය ක්ෂේත්‍රය හඳුනාගැනීමට විභාගය වැදගත් වේ. පුරුද්දට විභාග ලියනවා වෙනුවට විභාගයක අරමුණු හා වැදගත්කම    හොඳින් අවබෝධ කරගෙන විභාගයට සුදානම් වීම තුළින් දරුවාට විභාගයට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය පදනම නිර්මාණය වේ.

විභාගයකින් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා දරුවෙක් කෙසේ සුදානම් විය යුතුද යන ප්‍රශ්නය බහුලව අසන්නට දකින්නට ලැබෙන ගැටලුවකි.කෙතරම් මේ පිළිබඳව සාකච්ඡා කළත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී ප්‍රතිඵල අවම වන්නේ, විභාගයට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට අදාළ යාන්ත්‍රණය හා ක්‍රමවේදය පිළිබඳ වැඩි සැලකිල්ලක් නොදක්වන නිසාවෙනි.මෙහිදී අප විසින් අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු තුනකි. ඉගෙන ගැනීම යනු කුමක්දැයි තේරුම් ගැනීම, ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය අවබෝධ කර ගැනීම සහ ඉගෙන ගැනීමේ ක්‍රියාවලියට අදාළ පසුබිම් සාධක අවබෝධ කර ගැනීම හා ඒවා සකසා ගැනීම යන කරුණු පිළිබඳ මනා අවබෝධයක් ඇති කර ගැනීම හා ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගත හැකි වේ.මෙහිදී මුලිකවම  අධ්‍යයනය  හා අධ්‍යාපනය යන වචන ද්විත්වයේ වෙනස වටහාගත යුතුයි. අධ්‍යයනයෙන් අදහස් වන්නේ තමන් විසින් සිදු කරන හැදෑරීමයි.අධ්‍යාපනය ලෙස හඳුන්වන්නේ ඉගෙන ගැනීමට පහසුකම් සැලසීමයි. ඉගෙන ගැනීම හෙවත් අධ්‍යයනය  යන පදය සංස්කෘත භාෂාවේ ‘ධ්‍යානය’ යන පදයෙන් උපන් වචනයකි. ‘ඉදිරියට යෑම’, ‘උසස් තත්ත්වයකට පත් වීම’ යන අර්ථය සහිත ධ්‍යානයෙන් සිදු වන්නේ සිතින් සැලසුම් කිරීම, ගැඹුරු අධ්‍යයනයක යෙදීම, සිතිවිලි සාන්ද්‍රනය කිරීමයි.බුදු දහමට අනුව මෙම ධ්‍යානය කොටස් පහකින් සමන්විත වේ.ප්‍රථම ධ්‍යානය (විතර්කය), ද්විතිය ධ්‍යානය (විචාරය), තෘතීය ධ්‍යානය (ප්‍රීතිය), චතුර්ථ ධ්‍යානය (සුඛය) හා පංචිම ධ්‍යානය (ඒකාග්‍රතාවය) යන ධ්‍යානයේ කොටස් පහ අවබෝධ කොටගෙන අධ්‍යයනයේ  යෙදීම තුළින් විෂය කරුණු හොඳින් අවබෝධ කර ගැනීමට හා ඕනෑම අවස්ථාවකදී සන්සුන් මනසකින් කටයුතු කිරීමට හැකියාව ලැබේ. ඉගෙනුම-ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක වීමට හා  විභාගයට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නම්   ගුරු-ගෝල දෙපාර්ශවයම විසින්  ධ්‍යානයට සමවැදී අවබෝධයෙන් සිය ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාව සිදුකළ යුතුවේ. මනා අවබෝධයකින් තොරව හුදෙක් විෂය කරුණු මතකයේ තබා ගැනීමෙන් පමණක් සාර්ථක ප්‍රතිඵලයකට ළඟා වීමට හැකියාව නොලැබේ. විභාගයට සාර්ථකව පිළිතුරු ලිවීමට හා ඒ තුළින් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් දරුවන් විසින් විෂය කරුණු මතක තබා ගැනීමට අමතරව ඒවා තේරුම් ගැනීම,  භාවිතය, විශ්ලේෂණය, සංස්ලේෂණය හා ඇගයීම යන පියවර හයම නිවැරදිව සම්පුර්ණ කළ යුතු වේ.

වර්තමානයේ රටේ සෑම ක්ෂේත්‍රයකටම ප්‍රබලව බලපා ඇති කොවිඩ් 19 තත්ත්වය, දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහිද අතිශය ප්‍රබල බලපෑම් එල්ල කර ඇත.  සාමාන්‍යය අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව මාර්ගගත අධ්‍යාපන ක්‍රමයකට යොමු වීමට දරුවන්ට සිදු වී ඇති අතර , මාර්ගගතව පැවැත්වෙන විභාග වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නම් දරුවන් කෙසේ කටයුතු කල යුතුදැයි විමසා බැලීම අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තකි. එහිදී දරුවන්ට මුහුණ දීමට සිදුවන අභියෝග , අපහසුතා මෙන්ම යම් වාසි සහගත තත්ත්වයන් කිහිපයක්ම හඳුනා ගත හැක. දරුවන්ට නිවසටම වී අධ්‍යාපන කටයුතු වල නියැලීමට සිදු වීම නිසා ලැබී ඇති අතිරික්ත කාලයෙන් හා නිදහසින් උපරිම ප්‍රයෝජන ලබමින් ස්වයං අධ්‍යයනයේ යෙදීමට අවකාශය හිමි වී ඇති අතර ඒ තුළින් ධ්‍යානනගතව මනා අවබෝධයකින් යුතුව විෂය ග්‍රහණය කර ගැනීමට ඉඩ ප්‍රස්තාව ලැබී ඇත. මේ හරහා  සාර්ථක විභාග ප්‍රතිඵලයක් ලබා ගැනීම අරමුණු කරගෙන අධ්‍යයන කටයුතු වල යෙදීමට දරුවාට වැඩි ඉඩකඩක් හිමි වී ඇත. මාර්ගගත අධ්‍යාපනයේදී දරුවන්ට බහුල වශයෙන් මුහුණ දීමට සිදුවන ගැටළුවක් වන්නේ තාක්ෂණික වශයෙන් ඇති පහසුකම් අවම වීමයි. තාක්ෂණික වශයෙන් මෙන්ම මානසික වශයෙන් දරුවන්ට  ඇති වී ඇති යම් යම් අපහසුතා හැකි උපරිමයෙන් මඟහරිමින් කටයුතු කරීම සඳහා දරුවාට ගුරුවරුන්ගෙන්, දෙමාපියන්ගෙන් මෙන්ම මිතුරන්ගෙන්ද උපරිම සහයෝගයක් ලැබීම ප්‍රබලව බලපායි.දෙමාපියන් විසින් දරුවාට අධ්‍යාපනයට සුදුසු වටපිටාවක්  නිර්මාණය කරදීම හා ඊට අදාළ පහසුකම් හැකි උපරිමයෙන් සැපයීම තුළින් දරුවාට හොඳින් අධ්‍යයන කාර්යයෙහි දීමට හැකියාව ලැබේ. මාර්ගගත ඉගැන්වීම් ක්‍රියාවලියේදී ගුරුවරයා නිරන්තරයෙන් ද්විපාර්ශවිය අධ්‍යයන ක්‍රියාවලියක්  පවත්වා ගැනීම හරහා ඵලදායී අධ්‍යයන වටපිටාවක් නිර්මාණය කළ හැකිවේ. මාර්ගගත විභාගයන්ගෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මාර්ගගත අධ්‍යාපනයේ ඇති අවාසි සහගත තත්ත්වයන් මඟහරිමින්, කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ස්වයං අධ්‍යයනයේ යෙදීම තුළින් විභාගයට හොඳින් මුහුණ දීමට හැකියාව දරුවාට ලැබෙන බව පුර්වෝක්ත කරුණු දෙස බැලීමෙන්  පැහැදිලි වේ.

වර්තමාන කොවිඩ් 19 තත්ත්වය හමුවේ දීර්ඝ කාලයක් නිවසට වී මාර්ගගත අධ්‍යාපනය ලැබූ දරුවන් හට විභාගයට සහභාගී වීමට පමණක් විභාග මධ්‍යස්ථානයකට යාමට සිදු වීම හා සාමාන්‍ය ලෙස විභාගයට මුහුණ දීමට සිදු වීම තුළ දරුවාගේ මානසිකත්වය හා හැසිරීම කෙසේ විය යුතුද යන ගැටළුවට මතු වේ. විභාගය යනු දරුවාගේ ජිවිතයේ හැරවුම් ලක්ෂයක් වන නිසාවෙන් හා දරුවාගේ අනාගතය තීරණය කරන සාධකයක් වන නිසාවෙන් විභාගය වෙනුවෙන් දරුවා තුළ ඉතා හොඳ සුදානමක් තිබිය යුතු වේ. ඒ සඳහා දරුවාට ලැබෙන අතිරික්ත කාලයෙන් ප්‍රයෝජන ගනිමින්  විභාග ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම හොඳින් ප්‍රගුණ කළයුතු වේ. ප්‍රශ්න පත්‍රයේ ඇති උපදේශ පිළිපදිමින් කාලය කළමනාකරණය කර ගැනීමට දරුවාට පෙර පුහුණුවක් තිබිය යුතුමය.අධ්‍යයන කටයුතුවලින් පරිබාහිරව දරුවා නිරන්තරයෙන් සිය ශරිර සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කරමින් යහපත් සෞඛ්‍ය පුරුදු පිළිපැදීම තුළින් නිරෝගී සෞඛ්‍ය තත්ත්වයකින් හා මානසික තත්ත්වයකක් ඇති කර ගැනීමට හා පවත්වා ගැනීමට උනන්දු විය යුතුයි.ඒකාකාරී බවින් මිදෙමින් විභාග මධ්‍යස්ථානයකට ගොස් සාමන්‍යය අයුරින් විභාගයකට මුහුණ දෙන දරුවා සිය හැසිරීම පාලනය කර ගනිමින් යහපත් මානසිකත්වයකින් යුතුව විභාගයට මුහුණ දීමට හැකි පෞරුෂයකින් හෙබි විය යුතුයි.

විභාගයකින් ලබා ගන්නා සාර්ථක ප්‍රතිඵලය දරුවාගේ අනාගතය පැහැබර කරයි. මේ නිසාම සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා දරුවාට අවශ්‍ය  දැනුම,අවබෝධය හා අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් හා වටපිටාව සැලසීම  දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ මෙන්ම ඔබෙත් මගෙත් වගකීමකි.යුතුකමකි.

 

 

 

MKT නවාංජනා

මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය - ගෞරව උපාධි , ප්‍රථම වසර

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

සමාජීය විද්‍යා පීඨය

කැලණිය විශ්වවිද්‍යාලය