රටක සංවර්ධනයෙහිලා අධ්‍යාපනික ක්ෂේත්‍රයට ප්‍රධාන තැනක් හිමිවේ. පසුගිය අවුරුදු කිහිපයේ අපේ රටට ඇති වූ විවිධ ව්‍යසන හමුවේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට විශාල බාධා රැසක් ඇතිවිය. විශේෂයෙන් පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමේදී ගුරුවරුනට,  සිසුනට, මෙන්ම මවුපියනට ද විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවිය. මෙවැනි තත්ත්වයන් හමුවේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමේදී ඇතිවන ගැටලු මොනවාද, වර්තමාන අවශ්‍යතාවන්ට සරිලන පරිදි විෂයමාලා සංශෝධනය විය යුත්තේ කෙසේද, ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ අන්තර් පීඨ විෂයමාලා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නාමලී සුරවීර මහත්මිය සමඟ කරන ලද සාකච්ඡාවකි.

පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් පෙර පාසල් අධ්‍යාපනයේ සිට සියලුම අධ්‍යාපන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වුණා නේ ද?

මේ සඳහා අවස්ථා කිහිපයක්ම එකට සම්බන්ධ වෙලා තියෙනවා. පාස්කු ප්‍රහාරය ලංකාවට පමණක් මුහුණ දීමට සිදු වූ තත්ත්වයක්. වර්තමානයේ රටේ ඇති ආර්ථික ප්‍රශ්නය ලංකාව තනිව භුක්ති විඳින කාරණයක්. නමුත් කොවිඩ් 19 ගෝලීය වසංගතයක්. මේ සෑම තත්ත්වයක දී ම අධ්‍යාපන ක්ෂේත්‍රය පමණක් නොවෙයි අනිත් සෑම ක්ෂේත්‍රයක්ම දැඩි බලපෑමකට ලක් වුණා. පුරුදු පුහුණු තත්ත්වයන්ගෙන් මිදිල, නුපුරුදු නුපුහුණු ක්‍රම සමඟ කටයුතු කරන්න සිදුවුණා.  වසර ගණනාවක යුද්ධයකට මුහුණ දීලත්, මෙවැනි තත්ත්වයක් උදා වුණේ නැහැ. නමුත් මේ දුෂ්කර කාල පරිච්ඡේදයේදී පෙර පාසල් අධ්‍යාපනයේ සිට පශ්චාත් උපාධි අධ්‍යාපන කටයුතු දක්වා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නවමු ආකාරයකින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දායකත්වයෙන් කරන්න සිද්ධ වුණා. අපි කුඩා කාලයේ සිට මේ දුෂ්කර තත්වයන්ට මුහුණ දෙනතුරු අපි අත්දැකපු, අත්විඳපු මුහුණට මුහුණලා කෙරුණු අධ්‍යාපන ක්‍රමය (F-2-F Education) නවතා මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියකට මාරු වෙන්න සිදු වුණා. එතනදි අපිට අහිමි වූයේ අපේ සංස්කෘතිය අනුව අපි ඉතාමත් සතුටින් සහ සහයෝගයෙන් අධ්‍යාපනය ලද අපේ හුරු පුරුදු පන්ති කාමරය.  මේ මාර්ගගත ඉගෙනුම් ක්‍රියාවලියකට මාරුවීම අපි කැමැත්තකින් කරන ලද දෙයක් නො වුනත් රටේ දුවා දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය අඩපණ නොකර ඉදිරියට ගෙන යා යුතු නිසා අපි හැම දෙනෙකුටම අලුත් ක්‍රමයන්ට හුරු වෙන්න සිදුවුණා. එය අභියෝගයක් ලෙස ගෙන ඊට සාර්ථකව මුහුණ දීම අප සැම සතු යුතුකමක් ලෙසයි මම දකින්නේ. 

පාසල් අධ්‍යාපනයට මේ අභියෝග බලපෑවේ කොහොම ද?

මුහුණට මුහුණලා කෙරුණු අධ්‍යාපනයෙන් සම්පූර්ණ මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියකට පෙර සූදානමක් නොමැතිව ක්ෂණිකව යොමුවීම ම විශාල අභියෝගයක්. සාමාන්‍ය තත්ත්වයක් යටතේ නම් එම ක්‍රියාවලිය සිදු විය යුත්තේ පියවරෙන් පියවර. නමුත් පවතින විෂයමාලා සමඟ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපාංග නොමැතිව, හෝ එකී මෙවලම් භාවිතය පිළිබඳ හසුරු දැනුමක් හෝ කුසලතාවක් නොමැතිව, විශේෂයෙන්ම මාර්ගගත අධ්‍යාපනයේ ස්වභාවය හෝ එහි සාර්ථක ක්‍රම පිළිබඳ අවබෝධයකින් තොරව අපේ රටේ ගුරු පරපුර ස්වකීය ශිෂ්‍ය ප්‍රජාවේ උන්නතිය උදෙසා හැකි පමණින් මාර්ගගත ඉගැන්වීම පවත්වාගෙන යාම ගැන රටක් ලෙස අප සතුටු විය යුතුයි. 

දැන්  සිදුවිය යුත්තේ ඕනෑම තත්ත්වයක් තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන දැනුම, පුහුණුව, උපාංග හා වෙනත් පහසුකම් සමානුපාතිකව හා ක්‍රමානුකූලව සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රමුඛ වගකිව යුතු අනෙකුත් අංශ සාර්ථක වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කිරීමයි. 

නමුත් ඇතැම් ගුරුවරුන්, සිසුන් මෙන්ම මවුපියන්ද තවමත් කැමති මුහුණට මුහුණලා කෙරෙන අධ්‍යාපනයට නේද?

එය නිවැරදියි, නමුත් අපිට හැම මොහොතෙම අපි හුරුපුරුදු ක්‍රමය මතම රැඳී ඉන්න බැහැ, එහෙම වුණා නම් මේ පසුගිය අවුරුදු දෙක තුළ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයක් ගැන කතා කරන්න අපට ඉතුරු වෙන්නේ නැහැ, අලුත් අදහස්, අලුත් අධ්‍යාපන ක්‍රම බිහි වෙන්නේ අභියෝග ජය ගැනීමට. අකමැත්තෙන් වුවත් ක්ෂණිකව හෝ මාර්ගගත අධ්‍යාපනය ඔස්සේ හැකි පමණින් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමම, මා මුලින් සඳහන් කරපු ආකාරයට අපි රටක් ලෙස ලබා ගත් විශාල ජයග්‍රහණයක්. දකුණු ආසියාවේ අනෙකුත් රටවල් හා සංසන්දනය කර බලනවිට අපි මාර්ගගත අධ්‍යාපනය වැළඳ ගැනීම හා එහි භාවිතය සාර්ථකයි.

නමුත් මාර්ගගත අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ලබන්න ඇතැම් පාසල්වලට නොහැකි වුණා නේද? 

මාර්ගගත අධ්‍යාපනය යනු කුමක්ද? මාර්ගගත අධ්‍යාපනය සාර්ථකව පවත්වාගෙන යාමට නම් ලැබිය යුතු ගුරු පුහුණුල මාර්ගගත අධ්‍යාපනයට දායක කරගත හැකි සංඛ්‍යාතික ඉගෙනුම් ඉගැන්වීම් උපාංග (Digital Teaching and Learning Tools) මොනවා ද ? හා මාර්ගගත අධ්‍යාපනයේ දී ගුරු, ශිෂ්‍ය හා දෙමාපියන්ගේ භූමිකාව කුමක්ද ? ආදිය පිළිබඳ සමස්ත පාසල් පද්ධතියට ම එක හා සමාන පුහුණුවක් නොලැබීම ඊට හේතුවයි. සිදුවූයේ ගුරුවරුන්ගේ පුද්ගලික කැපකිරීම් සහ සොයා ගැනීම්වල ප්‍රතිඵලයක් ලෙස සමාජ මාධ්‍ය(WhatsApp) සහ Zoom වීඩියෝ තාක්ෂණය භාවිතයෙන් ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන යාමයි. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නැණපියස, අධ්‍යාපනික සේවා,ගුරු ගෙදර’ හැදෙන අපි හදන තැන රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන්, ඊ - තක්සලාව සහ මානව සම්පත් සංවර්ධනය වැනි සාර්ථක වැඩසටහන් ගණනාවක් හඳුන්වා දුන්නා. නමුත් ඇතැම් දුෂ්කර පළාත්වල පහසුකම් නොමැති පාසල්, ගුරුවරුන් සහ ශිෂ්‍ය ප්‍රජාවට මේ වැඩසටහන් සමඟ සම්බන්ධ වීමට හෝ මාර්ගගත අධ්‍යාපනය සාර්ථක ලෙස පවත්වාගෙන යාමට අවස්ථාව ලැබුණේ නැහැ, එවැනි අඩු වරප්‍රසාද ලත් සෑම පාසලක්ම, සෑම ශිෂ්‍යයෙක් ම සෑම ගුරුවරයෙක් ගැනම අවධානය යොමු කරමින් කටයුතු කිරීම ඉතා වැදගත්. 

කොහොමද අපි මේ නව ක්‍රමවලට අනුගත වෙමින් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන්නේ? 

කොවිඩ් 19 වසංගතයත් සමග අප රට තුළ මාර්ගගත අධ්‍යාපනය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණා. දැන් අපි වසර දෙකකට ආසන්න කාලයක් මේ අධ්‍යාපන ක්‍රමයෙහි නිරත වෙනවා. නමුත් තවදුරටත් අත්‍යවශ්‍ය කාරණය නම්, නවීන තාක්ෂණය ඔස්සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා විධිමත් පුහුණු පාඨමාලා හඳුන්වා දීමයි, උදාහරණයක් ලෙස අප සතු විෂයමාලා සියල්ලක්ම සැකසී තියෙන්නේ පන්ති කාමර අධ්‍යාපන ක්‍රමයකට, එනිසා දැන් එය දෙමුහුන් අධ්‍යාපන ක්‍රමයක්  (Blended Learning) ඒ කියන්නේ මුහුණට මුහුණලා සහ මාර්ගගත යන දෙයාකාරයටම ඉගැන්වීමට සුදුසු පරිදි විෂයමාලා සංවර්ධනය කරගත යුතුව තිබෙනවා. 

ඒ වගේම මාර්ගගත අධ්‍යාපනයේදීත් ශිෂ්‍යයින් ක්‍රියාකාරීව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හා සම්බන්ධ කරගැනීමට විවිධ ක්‍රමවේද අනුගමනය කළ යුතුයි. ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසීම, කණ්ඩායම් සාකච්ඡා සඳහා පෙළඹවීම, කණ්ඩායම් ක්‍රියාකාරකම් හඳුන්වාදීම. ඒ සඳහා සුදුසු සංඛ්‍යාංක උපාංග (Digital tools)  භාවිතය අත්‍යාවශ්‍යයි. එසේ නොමැතිව සාමාන්‍ය පන්ති කාමරයේ දී භාවිත ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලිය මාර්ගගතව යොදාගැනීම අසාර්ථකයි. මාර්ගගත අඛණ්ඩ ඇගයීම් ඔස්සේ සිසුන්ගේ දැනුම. කුසලතා, ආකල්ප සංවර්ධනය කිරීම අත්‍යවශ්‍යයි. එනිසා මේ පිළිබඳ සාර්ථක පුහුණු පාඨමාලා ගුරුවරුන්ට හඳුන්වා දීම අත්‍යාවශ්‍යයි. කෙනෙකුට සිතිය හැකියි කොවිඩ් 19 වසංගතය අඩුවෙමින් යන නිසා දැන් මාර්ගගත අධ්‍යාපනය අනවශ්‍යයි කියලා. මම හිතන්නේ පවතින ආර්ථික ව්‍යසනය හමුවේ වුවත් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් මාර්ගගත අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. 

මාර්ගගත අධ්‍යාපනයේ දී ග්‍රාමීය පාසල්වල ළමයින්ට දුෂ්කරතා රැසක් ඇතිවෙනවා.

ග්‍රාමීය පළාත්වල ගුරුවරුන් සහ ළමයින් දෙපිරිසටම දුෂ්කරතාවන් ගණනාවක් තියෙනවා. තමන්ට කැමැත්ත තිබුණත් මාර්ගගත  අධ්‍යාපනයට සම්බන්ධ වෙන්න ඔවුන්ට අවශ්‍ය අන්තර්ජාල පහසුකම්, අන්තර්ජාල සම්බන්ධතා ලබා ගැනීමේ අපහසුතා, තාක්ෂණික උපාංග නොමැති වීම වැනි ගැටලු තිබිය හැකියි.  ආර්ථික ප්‍රශ්න නිසා ඒවා මිලදී ගන්න හැකියාවක් නෑ. ගොවිතැන් කරන පවුලේ කෙනෙකුට ස්මාට් ෆෝන් එකක් අරන් දෙන්න කියලා කියන්න බෑ. තව ටික දවසකින් මේ තත්ත්වය තවත් අපහසු වෙන්න පුළුවන්. මොකද තව නොබෝ දිනකින් අන්තර්ජාල සේවාවන්වල පවා මිල ගණන් අධික විය හැකියි. විශ්වවිද්‍යාල, පාසල් මේ කිසිම තැනකට   Zoom තාක්ෂණයෙන් පවා අධ්‍යාපන කටයුතු කරන්න බැරි තත්ත්වයක් උදා විය හැකියි. නමුත් හැම වෙලාවෙම දුෂ්කරතා කතා කරන්නෙ නැතුව ධනාත්මක පැත්ත කතා කිරීම මානසික වශයෙන්  සුවයක් සහ එය නව ක්‍රම හඳුනා ගැනීමට අඩිතාලමක්. 

මේ අර්බුද සමයේ විෂයමාලා සම්පූර්ණ කරන එක ලොකු ගැටලුවක් වුණා, ළමයි අලුත් පන්තිවලට යන්නේ කලින් පන්තියේ  විෂයමාලාව සම්පූර්ණ කරගන්න බැරුව.

ඒක අනිවාර්යෙන්ම ගැටලුවක්. අපි   දෙමුහුන් අධ්‍යාපන ක්‍රමය (Blended learning)යොදා ගත්තා නම් මේ තත්ත්වය විසඳගන්න තිබුණා. මොකද සම්පූර්ණයෙන්ම දෙමුහුන් අධ්‍යාපනයේ දී අපි තීරණය කරනවනේ මුහුණට මුහුණ ලා උගන්වන්නේ මොනවාද, මාර්ගගතව උගන්වන්නේ මොනවාද කියලා, අපට කියන්න බෑ දැන් අප සතු  සම්පූර්ණ විෂයමාලාව මාර්ගගතව උගන්වන්න ඕන කියලා.  ඇතැම් විෂය කරුණු මාර්ගගතව උගන්වන්න  බැහැ.  ඒ සඳහා වෙනම ප්‍රායෝගික ක්‍රමවේදයක් තිබිය යුතුයි. ඒ සියල්ල අමතක කරලා විභාගවලදී මුළු විෂය මාලාවම ඉලක්ක කර ගන්නවා නම්, එතන සිසුන්ගේ පැත්තෙන් සහ ගුරුවරුන් ගේ පැත්තෙන් ලොකු අසාධාරණයක් වෙනවා.  තොරතුරු තාක්ෂණය, විද්‍යාවල ප්‍රාසාංගික කලා වැනි ප්‍රායෝගික විෂයයන්වල ඇතැම් කොටස් මාර්ගගතව සිදු කිරීම අපහසුයි. මෙවැනි අවස්ථාවක යම්කිසි ආකාරයකට සහනයක් ලැබිය යුතුයි. සම්පූර්ණ විෂය මාලාව ආවරණය කිරීම  නොව මාර්ගගතව සම්පූර්ණ කළ හැකි කොටස් අනුසාරයෙන් විභාග ප්‍රශ්න පත්‍ර පිළියෙල කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම වැදගත්.  විභාගයට ඉලක්ක නොවූවත් යම් අවස්ථාවකදී මගහැරුණු විෂය කරුණු ආවරණය කර දීමෙන් ශිෂ්‍යයා දැනුමෙන් හා කුසලතාවන්ගෙන් පෝෂණය කළ හැකියි. 

පසුගියදා ශිෂ්‍යත්වයට මුහුණ දුන් ළමයින් මෙවැනි ප්‍රශ්නයකට මුහුණ දුන් බවට මවුපියන් පවසනවා.

මේ වගේ දුෂ්කර කාල පරිච්ඡේදයක් තුළ සම්පූර්ණ විෂය මාලාවම ඉලක්ක කර ගනිමින් ප්‍රශ්න පත්‍රය හදනවා නම් එය තරමක් අසාධාරණයි. හැමෝටම එක හා සමාන පහසුකම් තිබුණේ නෑ.  මාර්ගගත අධ්‍යාපනය තුළින් වුණත්  විවිධ විදිහට  තමයි ඉගැන්වීම් කටයුතු සිදු  කෙරුණේ.  ප්‍රශ්නපත්‍ර හදන අයට මේ සම්බන්ධව අවබෝධයක් තිබිය යුතුයි. මාර්ගගතව ඉගැන්විය හැකි කොටස් සහ  එහි සීමාවන් තියෙනවා. කළ යුතුව තිබුණේ  මාර්ගගතව හෝ  පන්ති කාමරය තුළදී හෝ සමස්තයක් වශයෙන් උගන්වා අවසන්  කොටස් පමණක් ඉලක්ක කර ප්‍රශ්න පත්‍ර සැකසීමයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ පළාත් අධ්‍යාපන කාර්යාලවලින් පාසල්වලට දැනුම් දීමක් කරලා තිබුණා මාර්ගගතව වුණත් උගන්වන්න කාලසටහනක් තිබිය යුතුයි කියලා. එම පාසල්වල යම්කිසි වැඩපිළිවෙළක් තිබුණා.  නමුත් දිවයිනේ සෑම පාසලක්ම ඒ ආකාරයට කටයුතු කළාද යන්න අවිනිශ්චිතයි. මෙහිදී තවත් දෙයක් පැහැදිලි කළ යුතුයි.  ඕනෑම තත්ත්වයකදී  අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට නම් ගුරුවරුන්, ශිෂ්‍යයන්, ඒ වගේම දෙමව්පියන් හා අදාළ භාරකරුවන් හැමෝගෙම දායකත්වය අවශ්‍ය වෙනවා. ගුරුවරුන්ට ශිෂ්‍යයන්ට මඟ පෙන්විය හැකි සීමාවක් තියෙනවා.   ඉතාම කැපවීමෙන් ඉගැන්වීම් කටයුතු කරන ගුරු පරපුරක් අපට ඉන්නවා.  ඔවුන් හැකි තරමින් උත්සාහ දරනවා තමන්ගෙ සේවාව හරියට කරන්න. මොකද ගුරුවරයෙක්ට පසුතැවීමක් ඇති වෙනවා තමන්ගේ සේවාව නිවැරදිව ලබා දීමට නොහැකි වූවහොත්.  ඒ හා සමානවම ශිෂ්‍යයන් හා දෙමව්පියන් ඔවුන්ගේ වගකීම සහ වගවීම අධ්‍යාපනය වෙනුවෙන් දැරිය යුතුයි. 

වර්තමානයේ ඇතිවන යම් යම් අර්බුදකාරී තත්වයන් හමුවේ වුවද මාර්ගගත අධ්‍යාපනයට විශේෂ තැනක් හිමිවෙනවා. සැබැවින්ම මෙය සාර්ථක ක්‍රමයක් ද?

මුහුණට මුහුණලා අධ්‍යාපනයේදී අන්තර් ක්‍රියාකාරිත්වය, ආකර්ෂණය (Interaction) ඉතා ඉහළයි.    එනම් ගුරු - ශිෂ්‍ය, ශිෂ්‍ය - ශිෂ්‍ය ආකර්ෂණය පවත්වා ගැනීම පහසුයි, නමුත් මාර්ගගත අධ්‍යාපනයේදී ශිෂ්‍යයන්  හට එක්වරම නිවසේ  සිට තනිවම ඉගෙන ගන්නා පරිසරයකට යොමු වීමට සිදු වුණා. එවැනි අවස්ථාවක වැඩිහිටි අයගෙන් ඔවුන්ට මඟ පෙන්වීමක් අවශ්‍යයි,  ශිෂ්‍යයාට ඉගෙන ගැනීමට සුදුසු පරිසරයක් සකස් කර දිය යුතුයි. අදාළ තාක්ෂණික උපාංග තියෙනවා, තාක්ෂණය තියෙනවා දැන් ඉගෙන ගන්න කිව්වට හරියන්නේ නෑ.  මාර්ගගත ක්‍රමයේදී දරුවන්ට ඇති වන අහිතකර බලපෑම් වළක්වා ගන්න පුළුවන් වෙන්නේ හොඳ පුරුදු ඇතිකර ගත්තොත් විතරයි.  සාර්ථකව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිත කළ යුතු ආකාරයත්, එම තාක්ෂණයම වැරදි ලෙස භාවිතයේ ස්වභාවයත් දරුවන්ට අවබෝධ කර දිය යුතුයි. යම් කෙනෙක් අභියෝග කරනවා නම් මාර්ගගත ක්‍රමයෙන් දරුවන් නොමඟ යනවා යැයි, එයට හේතු වන්නේ  තාක්ෂණය වෙත වැරදි ලෙස ඇබ්බැහි වීමයි. එනිසා යම්කිසි නීති රාමුවක්  හෝ අධීක්ෂණයක් ඇතුළත ඇතුළත දරුවා මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට යොමු කළ යුතුයි. 

පාස්කු,  කොවිඩ් 19 ආර්ථික අර්බුදය වැනි දුෂ්කර තත්වයන් තුළ අධ්‍යාපන කටයුතු සාමාන්‍ය ආකාරයට කෙරෙන්නේ නැත්නම්,  ඒ සඳහා හොඳම විසඳුම මාර්ගගත අධ්‍යාපනයයි. මේ ක්‍රමයෙන් අපට තිබෙන ප්‍රධාන පහසුකම නම් නම්‍යශීලීත්වය යිග අපට පහසු ස්ථානයක සිට, ඕනෑම වෙලාවක පන්තියකට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා.   මාර්ගගත පන්තියකට සහභාගි වීමට නොහැකි වුවහොත් රෙකෝඩින් එකක් හරි ඇසීමේ හැකියාව තියෙනවා,   මාර්ගගතත අධ්‍යාපනයේ තවත් වාසියක් නම්, ප්‍රවේශතාවයි.  සෑම තොරතුරකට ඉක්මනට ප්‍රවේශ වීමේ හැකියාවක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය එක්ක අපට ලැබිලා තියෙනවා. 

වර්තමානයේ ඇතැම් ගුරුවරු තමන්ගේ වගකීම නිසි පරිදි ඉටු නොකරන බවට චෝදනා තියෙනවාග ඒ සම්බන්ධව ඔබතුමියගේ අදහස ? 

ගුරු භූමිකාව නිවැරදිව හඳුනාගත් ගුරුවරයෙක් අතින් නම් කවදාවත්  මෙවැනි වැරැද්දක් සිදු වෙන්නේ නෑ. ඔවුන් දන්නවා පෞද්ගලික දේවල්වලට වඩා. ලැබිලා තිබෙන රැකියාවේ තියෙන වගකීම, එක්තරා ආකාරයකට  එය රැකියාවක්  නොවේ. ඇත්තටම ගුරුවරු කරන්නේ සේවයක්.  මාසික වැටුපකට වඩා ඔවුන් ඉටුකරන සේවාව අති විශිෂ්ටයි.   උදෑසන පාසල ආරම්භයේ සිට  පාසල අවසාන  වන කාලය දක්වා ගුරුවරුන් විසින් එක් දිගට කෙරෙන සේවය අති විශිෂ්ටයි. එක්තරා ආකාරයකට එය අභියෝගයක්. ඇතැමුන් චෝදනා කරනවා අනෙක්  වෘත්තීන්ට සාපේක්ෂව ඔවුන්ට මාස කිහිපයක් නිවාඩු ලැබීම හා පස්වරු 1.30 ට රැකියාව අවසාන වීම විශේෂ වරප්‍රසාදයක් කියලා.  නමුත් මම නම් ඒ චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මොකද අඩු පහසුකම් සහිත එක් පන්ති කාමරයක් තුළ ශිෂ්‍යයන් හතළිහකට ඉගැන්වීම, ඔවුන්ව ඇගයීම සංයමයෙන් කළ යුතුයි. බහුතරයක් පාසල්වල වෙන වෙනම පන්ති කාමර නැහැ,  එක් විශාල ශාලාවක් තුළ පන්ති කාමර ගණනාවක් තියෙනවා, ශබ්ද, නොසන්සුන්තා සියල්ල විඳ දරා ගනිමින්, ඉවසීමෙන් ඉගැන්වීම් කටයුතු කිරීම පැසසිය යුතුයි.  එවැනි සේවාවක් අනෙකුත් රාජ්‍ය ආයතන මෙන් උදෑසන 8 සිට සවස 5 දක්වා කළ නොහැකියි, අනෙක් නිවාඩු මාසවල වුවත්, ප්‍රශ්න පත්‍ර ඇගයීම්, ශිෂ්‍යත්ව විභාග,  අ.පො.ස :සාමාන්‍ය පෙළ, අ.පො.ස :උසස් පෙළ විභාග සඳහා ශිෂ්‍යයන් සූදානම් කිරීමට අතිරේක පන්ති ස්වේච්ඡාවෙන් පැවැත්වීම, ඊළඟ වාරය සඳහා පාඩම් මාලා සඳහා සූදානම් වීම, විභාග සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සැකසීම වැනි කටයුතුවල නියැළීමෙන්  අනෙක් අය අදහස් කරන නිවාඩුවක් ලබා ගැනීම ඔවුන් හුදෙක් සිදු නොකරන බව තහවුරු කළ යුතුයි.

ගුරුවරු කියන්නෙත් සමාජයේ එක් කොටසක්.  ඔවුන්ටත් ඔවුන්ගේ අයිතිවාසිකම් තියෙනවා, ඔවුන්ට ලැබෙන වැටුපෙන් කළමනාකරණය කරගත යුතු විශාල වගකීම් සම්භාරයක් ඔවුන්ට තියෙනවා.  විශ්වවිද්‍යාලයෙන් අපි  ලබා  ගන්නා වැටුපට වඩා වැඩි වැටුපක් ගුරුවරුන්ට දෙනවා නම්  මම පෞද්ගලිකව කැමතියි. මොකද විශ්වවිද්‍යාලයට එන්නේ  සමස්ත අධ්‍යාපන පරිසරයෙන්  දක්ෂතා දක්වන  විශිෂ්ටයන්.  එම විශිෂ්ටයන් විශ්වවිද්‍යාලය වෙත එවන්නේ ගුරුවරු.  නමුත් කියන්න කනගාටුයි, අපේ සමාජ විෂමතාව කෙතරම්ද කියනවා නම් එවැනි සේවාවක් ලබා දෙන ගුරුවරුන්ට ලැබෙන වැටුප ඇත්තෙන්ම විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවකයෙකුටත් වඩා අඩුයි. එවැනි තත්වයක වුවත් ගුරුවරු හැකි උපරිමයෙන් උත්සාහ ගන්නේ තමන්ගේ ශිෂ්‍යයන්ට උපරිම  අධ්‍යාපනයක් ලබාදෙන්න. 

වර්තමාන ආර්ථික අර්බුදයත් සමග අධ්‍යාපන කටයුතුවල දී ළමයින්ට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවෙනවා. ඔවුන්ට සහනයක් වෙන්නේ කොහොමද? 

රටක් ලෙස බලධාරීන් මැදිහත් වෙලා ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු වෙනවා, ඒ වගේම මෙහිදී සාමූහිකත්වය අත්‍යවශ්‍යයි. අපේ සමාජයේ ඉස්සර තිබුණා ඇති හැකි අය නැති බැරි අයට උදව් උපකාර කරමින් ඉදිරියට ගිය සහයෝගී පරිසරයක්.  මේ පවතින වත්මන් අර්බුද හමුවේ එවැනි සහයෝගී පරිසරයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍යයි. හැම දෙයක්ම රජයෙන් දෙන තුරු බලාගෙන සිටීම මෙවැනි දුෂ්කර අවස්ථාවක  සුදුසු කටයුත්තක් නොවේ. රජයේ කටයුතු පවා පවත්වාගෙන යන්නේ ණයවලින්. රට යම්කිසි ස්ථාවරත්වයකට පත්වන තුරු  අපට වැඩ කටයුතු කරගෙන යාමට අවශ්‍ය නම්, ඒ සඳහා  ඇති හොඳම විසඳුම  ඇති හැකි අය නැති බැරි අයට උදව් කරමින් කටයුතු කිරීමයි.   පාසලක වුවත් වියදම් දරා ගත හැකි සහ නොහැකි මේ දෙපිරිස සහයෝගයෙන් කටයුතු කළ යුතු කාලයක් අපට දැන් උදාවෙලා තියෙන්නේ. සමාජය තුළ මානුෂීය ගුණාංග ඇති කරගැනීමට හැකි නම් බොහෝ අපහසුතා අවම කර ගැනීමට අපට අවස්ථාව ලැබෙනවා.

වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි පවතින අධ්‍යාපන රටාව වෙනස් විය යුත්තේ කෙසේද?

වර්තමානයේ පාසල්, විශ්වවිද්‍යාල මේ ඕනම ආයතනයක් නවීන තාක්ෂණය සමඟ ගනුදෙනු    කිරීම අත්‍යවශ්‍ය බව කොවිඩ් 19 වසංගතය අපට කියලා දුන්නා. ඒ නිසා අද බහුතරයක් නවීන තාක්ෂණය පාවිච්චි කරන මට්ටමට ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ අත්දැකීම හැමෝටම එක හා සමාන වීම වැදගත්.  ඒ සඳහා සමස්ත   අධ්‍යාපන පද්ධතිය තුළින්ම වැඩපිළිවෙළක් සැකසිය යුතුමයි.  නවීන තාක්ෂණයත් සමග ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට නම් පවතින විෂයමාලා  ද සංශෝධනය විය යුතුමයි. ඒ වගේම සෑම ගුරුවරයෙක්ම තාක්ෂණික, අධ්‍යාපනික,  සන්දර්භගත දැනුමෙන් දැනුමෙන්  (Technological, Pedagogical, Content Knowledge - TPACK)  සන්නද්ධ කළ යුතුමයි. එවිට   ඕනෑම දුෂ්කර අවස්ථාවක වුව අධ්‍යාපනයේ අනේකවිධ  ජයග්‍රහණයන් කරා යාමට අපට හැකියාව ලැබෙනු නො අනුමානයි.

 

රසිකා එස්.රණවීර

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය