අලුත් අවුරුද්ද ආරම්භ වෙලා සති කිහිපයක් ගෙවිලා ගිහින්. අලුත් දිනපොතක් ඔබේ  ජීවිතයට අලුතෙන් එකතු වුණාට පරණ හීන හීනයක්ම වෙන්නට දුන්නාද?

පොඩි කාලේ මං කවුරු වෙනවා කියලද හිතුවේ.  වෛද්‍යවරයෙක්, නීතීඥවරයෙක්, ඉන්ජිනේරුවරයෙක්, ගුරුවරයෙක්. ඒත්  වයසින් වැඩිවෙනකොට ඒ හීනේ වෙනස් වුණා නේද? නැත්නම් පොඩි කාලේ කවුරු වෙන්නද කැමති කියලා ටීචර් ඇහුවහම මං එහා පැත්තේ යාලුවා වගේ, එහෙමත් නැත්නම් එයා කිව්ව දේටත් වඩා දෙයක් කිව්වට,

ඒ හීනේ මඟ හැරුනද නැත්නම් මහන්සි වුණා මදිද? පොඩි කාලේ හිනේ වෙනස් වෙන්න හේතුව හිතලා බැලුවද?

දැන් ඔබ කරන රැකියාව ගැන යම් පුද්ගලයකු විමසූවහොත් ඔබ උජාරුවෙන් වචන ඇමිණුවාට, ඔහු ඇසුවොත් ඔබ සතුටින්ද  ඉන්නේ යැයි එවිට දෙන පිළිතුර කුමක්ද? රැකියාව ගැන තෘප්තිමත්ද? , අතෘප්තිමත්ද? රැකියාව ගැන පැවසූ විගස ඔබගේ මුහුණේ ඉරියව් මඟින් රැකියාව ගැන ඔබ දරණ මතය පිළිඹිබු වේ. කෙතරම් වැටුපක් ලැබුණද ඔබ සතුටින් නොමැති නම් ඒ වැටුපෙන් ඵලක් වේද යන්න සිතීම ඔබ සතුයි.

දවසකට කැඩපතකින් ඔබ ඔබේම රුව කිහිපවරක්ම දකිනු ලැබුවත්, ඔබ එයින් දකින්නේ ඔබේ මතුපිට පමණකි. ඒ කැඩපතෙන් ඔබ ඔබේ දක්ශතාවයන්, දුර්වලතාවයන්, හඳුනා ගැනීමට කුඩා හෝ වෑයමක් යොදනු ලැබුවාද යැයි ඇසුවොත් ඔබ දෙනු ලබන පිළිතුර කුමක්දැයි සිතුවාද? ප්‍රතිරූපය ගොඩනැඟුවා මිසක ඇතුළාන්තය හිස් බව  පිරවීමට වෙහෙසක් දැරුවාද යන්න සිතීම ඔබ සතුයි.

ඔබ විටෙක දියණියක, තරුණියක,බිරිඳක, මවක් හෝ මිත්තණියක වන්නට පුලුවන් එසේත් නැතහොත් පුතෙකු, තරුණයෙකු, සැමියෙකු, පියෙකු හෝ මුත්තණුවන් කෙනෙකු වන්නට පුළුවනය.  ඔබේ හිස මත මේ වනවිට ඉහත කුමන හෝ භූමිකාවක වගකීමක් පැටවී තිබෙන්නට පුළුවන්ය.

එහෙත් ඒ හැම මොහොතකම ඔබ ඔබට පැවරී ඇති වගකීම නැතහොත් වගවීම ඉටු කළා මිසක අඩුම තරමේ ඔබ ගැන සිතීමට පැය 24න් විනාඩි 10කටත් වඩා කාලයක් වැය කලාද?

ජීවිතයේ අපි හැමෝම අනෙකාගේ සතුට වෙනුවෙන් පෙනීසිටියද, මම මා වෙනුවෙන් කාලය වෙන් කිරීමට මැලි කමක් දක්වනවා. එසේත් නැතහොත් එය නොසලකා හරිනු ලබනවා. ඇයි මුදල් නොමැතිවීමද? නැතහොත් ඔබට ඔබ ගැන අගයක් නොමැතිද සිතීම ඔබ සතුය.

යම් අයෙකුට දෙඅත් සහ දෙපය ලැබී තිබුණද සතුටක් නොමැත. නමුත් එම  ශරිර අංගයන්ගෙන් එකක් හෝ නැතිනම් සියල්ල නැතිවූ විටක අපිට එහි අගය මනාව තේරුම් යයි. ඒ නැතිවූ විට තේරුම් යාමත්, තිබෙනා විට අගය නොදැනීමත්, අපි එයට දක්වන උනන්දුව මත රඳාපවති. අපි ලද දෙයින් සතුටු විය යුත්තේ ඒ නිසා නේද?

සතුට රඳාපවතින්නේ ඔබ ළඟ මිස අන් අයකු ළඟ නොවේ. ඔබ ඔබේ සතුට වෙන අයකුගෙන් බලාපොරොත්තු වේ නම් ජිවිතයේ ඔබ සැබෑ සතුටක් ලඟා කරගෙන නොමැත. ඔබ යමෙකුගෙන් සතුට ඉල්ලාගෙන ඇත. සතුට ණයක් නොවන අතර, ඔබ තුළින් සතුට සෙවීමට උත්සුක වන්න.

 

ඔබ ඔබම වන්න.

අනෙකා මත යැපීමෙන් වළකින්න.

ආත්ම විශ්වාසයෙන් හෙබි පුද්ගලයකු වන්න.

ඔබේ සතුටේ, ජීවිතයේ යතුර ඔබ මිස වෙන අයකු නොවන බව වටහා ගන්න.

 

සටහන  

අයි. එම් දෙව්මිණි  සිල්වා

ජන සන්නිවේදනය අධ්‍යයන අංශය

කැලණිය විශ්ව විද්‍යාලය