විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් නීරෝගී ද?
- කතු වැකිය
- Hits: 1526
ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ අසීරුතම කඩයිම් විභාගය වන අ.පො.ස උසස් පෙළ විභාගය ඉහළින් සමත් වී මෙරට පවත්නා සීමිත රාජ්‍ය විශ්වවිද්‍යාලයකට තේරී පැමිණෙන විද්‍යාර්ථීන්ගේ නීරෝගීකම මැන බලන්නේ ඇයි ද යන්න කෙනෙකුට ප්‍රශ්නාර්ථයක් විය හැකිය. විශ්වවිද්‍යාලයට පැමිණියත්, නොපැමිණියත් මෙරට ඉපදෙන සියලු දරුවන්ගේ නීරෝගීකම යහපත්ව පැවැතීම අවිවාදයෙන් අප පිළිගත යුත්තකි. නමුත් ගැටලුව නම් පවත්නා සමාජ, ආර්ථික, දේශපාලනික ගැටලු නිසා සෑම දරුවෙකුම නිසි කායික හා මානසික නිරෝගීතාවයකින් නොසිටීමයි. නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාදය ලැබ ශ්‍රී ලංකාවේ සතර දෙසින් විශ්වවිද්‍යාලයට පැමිණෙන විද්‍යාර්ථීන්ගේ කායික මානසික සුවතාවය යහපත්ව පවත්වා ගැනීම රටේ සංවර්ධනයට සෘජුවම බලපායි. මන්ද මෙරට රාජ්‍ය හා පෞද්ගලික ක්ෂේත්රයේ අනාගත රැකියා අවශ්‍යතා හා සේවාවන් සපයන, එහි තීන්දු තීරණ ගන්නා ප්‍රධාන ශ්‍රම බලකාය මොවුන් වන බැවිනි.
විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ කායික මානසික නිරෝගිකම යහපත්ව පවත්වාගෙන යෑමේදී ආහාර සඳහා හිමිවනුයේ වැදගත් ස්ථානයකි. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයට නිවසේ සිටත්, නේවාසිකවත් අවට බෝඩින් නිවාසවල සිටත් පැමිණෙන විද්‍යාර්ථීන් සිටී. පවත්නා ආර්ථික රටාව තුළ මේ බොහෝදෙනා තමා විසින්ම ආහාර පිළියෙළ කරගැනීමට යොමු වෙනු දැකිය හැකිය. එය යහපත් ප්රවණතාවයකි. කෙසේවෙතත් ප්‍රමාණවත් පරිදි පිරිසිදු, නිසි පෝෂණ ගුණයෙන් ආහාර පාන ඉගෙන ගන්නා විද්‍යාර්ථියෙකුට හිමි විය යුතුය. එය විවිධ රෝගාබාධවලින් වැළකීමට ද, මතක ශක්තිය වර්ධනය කිරීමට ද, මන්දපෝෂණයෙන් මිඳීමට ද හේතු වේ. පවත්නා අධ්‍යයන වර්ෂ ක්‍රමය තුළ එක දිගට දේශන හා වැඩමුළු සඳහා සහභාගී වන විද්‍යාර්ථීන්ට බොහෝ වෙලාවට කලට වෙලාවට ආහාර ගැනීමට හැකියාවක් නැත. එය නොයෙකුත් රෝගාබාධ සඳහා ද අත වැනීමකි. අනාගත රට භාරගන්නා පරම්පරාව කායික මානසික නිරෝගීභාවයෙන් තොර වීම රටේ සංවර්ධනයට ද බාධාවකි.
අධ්‍යාපන කටයුතු අධික වීම නිසාත්, අනෙකුත් සමාජීය හා පෞද්ගලික කාරණා නිසාත් විද්‍යාර්ථීන්ට විවිධ මානසික ආතති තත්වයන් ඇති විය හැකියි. මානසික සුවතාවය නොමැතිකම ඉගෙනීමට බාධාවකි. එබැවින් මානසික ගැටලු සාකච්ඡා කළ හැකි උපදෙශන සේවාවන්, විනෝදාස්වාදය ලැබිය හැකි වැඩසටන් විශ්වවිද්‍යාල තුළත්, සමාජයේ අනෙක් ඒකක තුළත් වර්ධනය විය යුතුයි. ක්‍රිඩාව මේ සඳහා වන මහත් ඔසුවකි. නමුත් පවත්නා තරඟකාරී අධ්‍යාපන රටාව තුළ විද්‍යාර්ථීන් ක්‍රීඩාව සඳහා යොමු වීමේ අඩුවක් පවති. ක්‍රිඩාව කායික හා මානසික සුවය ගෙන දෙන බැවින් විද්‍යාර්ථීන් සතියකට පැය කිහිපයක් හෝ ඒ වෙනුවෙන් කාලය මිඩංගු කළ යුතුයි. එයට අවශ්‍ය පහසුකම් ද විශ්වවිද්‍යාල තුළ පවතී. අවශ්‍ය වන්නේ විද්‍යාර්ථීන්ගේ උනන්දුව හා කැපවීම පමණි. පවත්නා ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීමට තරුණ ශ්‍රම බලකාය සංවිධානය විය යුතු බැවින් වර්තමානයේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් තම කායික මානසික නිරෝගීතාවය ගැන වඩා වඩා සිතිය යුතු, උනන්දු විය යුතු කාලයක් එළඹ ඇත. එයට වැඩිහිටියන්ගේද අවධානය යොමු විය යුතුය.
සංස්කාරක