පුරා පෙරුමන් ගෙනාවෙමි පුතු

දස මසක් කුස තුළ දරන්

නිදා සිටිමුත් රැගෙන දෝතට

හිනහුනෙමි කදුළැල් මැදින්

නිදාහුන් නුඹ අවදිවනතුරු

වරු ගණන් සිටියා බලන්

සුමුදු සියුමැලි දෙනෙත නොහැරම

පුතේ නුඹ සිටියේ නිදන්

විඩාපත් සිත වියරු වැටුණා

ගලා උතුරන දරු පෙමින්

තුරුලු කරගෙන මගේ දෝතට

රැගෙන නුඹ පපුවේ හොවන්

ගව් ගණන් දුර ඇවිද ගොස් මඟ

නුඹේ නෙතු හරිනා රිසින්

හඬ හඬා මා අයැද සිටියෙමි

නොමළ ගෙයකින් අබ මිටක්

 

ජේ. තරුෂි චමෝද්‍යා සෝමරත්න 

දෙවන වසර

මානව සම්පත් කළමනාකරණ  අධ්‍යයන අංශය

වාණිජ හා කළමනාකරණ අධ්‍යන පීඨය