මිනිසා සිය බුද්ධිය මෙහෙයවා නිර්මාණය කළ බොහෝ දෑ අතර විශිෂ්ට වූත්, ප්‍රබල වූත් නිර්මාණය ලෙස භාෂාව හැඳින්වීමට පුළුවන. මෙකී භාෂාව ප්‍රවාහයක් මෙන් නිතර වෙනස් වන සුළු ය. එය ලොව ඕනෑම භාෂාවකට පොදු ධර්මතාවකි. පරම්පරාවෙන් පරම්පරාවට සමාජමය වශයෙන් සම්ප්‍රේෂණය වීමේ දී භාෂාව ද විවිධ  වෙනස්කම්වලට  භාජනය වේ.  සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම භාෂාවක් ව්‍යක්තිගත වනුයේ භාෂණය හා ලේඛනය යන මාධ්‍යන් තුළිනි.

පෙර සඳහන් කරන ලද සියලු වෙනස්වීම් මෙම මාධ්‍ය දෙකට ද පොදු වූවකි. වාග්වේදීන්ට අනුව සාමාන්‍යයෙන් භාෂාවක, භාෂණය මුලින් ඇති වූයේ යැයි සැලකේ. පරිණාමය වීම භාෂණයට මෙන්ම ලේඛනයට ද එක සමාන පොදු ස්වභාවයක් වුවත් එය භාෂණයට වැඩි වශයෙන් බලපානු ලබයි. එබැවින් භාෂණයට සාපේක්ෂව ලේඛනය වෙනස් වන්නේ හෙමින්ය. මේ නිසා භාෂණයක් ලේඛනයක් අතර වෙනසක් නොහොත් පරතරයක් නිර්මාණය වේ.  එලෙස එකම භාෂාවක පවතින දෙයාකාර ස්වභාවය අපි  ‘භාෂා  ද්විරූපතාවය’ ලෙස හඳුන්වන්නෙමු.

සිංහල, දෙමළ, බෙංගාලි, අරාබි, ප්‍රංශ ක්‍රියෝල්, නූතන ග්‍රීක වැනි ලේඛන ඉතිහාසයක් සහිත බොහෝ භාෂාවන් තුළ මෙම ද්විරූපතා ලක්ෂණ දැකිය හැකිය. ඓතිහාසිකවව බලන කල මෙම ද්විරූපතා සංකල්පය පිළිබඳව පළමුව සාකච්ඡා කොට ඇත්තේ චාල්ස් ෆර්ගසන් නමැති වාග් විද්‍යාඥයා වේ. එසේ වුවත් 1967 දී ජෝෂුවා ෆිෂ්මන්ද භාෂා ද්විරූපතාව පිළිබඳව අර්ථකථනය කළ පුද්ගලයන් අතර ඉතා වැදගත් වෙයි.

            මොවුන්ගේ අදහස් අනුව යම් භාෂක සමාජයක පවතින භාෂාවේ, භාෂණය ප්‍රාථමික ලෙසත් ලේඛනය ද්විතීයක ලෙසත් සැලකීම නිසා බොහෝවිට ලේඛනය ඉතා උසස් ගණයෙහි ලා සැලකේ. එම ලක්ෂණය ඔවුන් H වර්ගය (High Variety )  හා L වර්ගය(Low Variety) ලෙස බෙදා දක්වයි. එනම් ලේඛනය H වර්ගය ලෙසත් භාෂණය L වර්ගය ලෙසත්ය. භාෂාව විවිධ සමාජමය කාර්යයන්හි භාවිත කිරීමේදී මෙම H හා L වර්ගීකරණය වැදගත් වේ. විධිමත් අවස්ථාවන්හි දී මිනිසා විධිමත් භාෂාවක් භාවිතයට දක්වන රුචිකත්වය නිසා බොහෝ විට රාජකාරි ලිපි ලේඛන, වාර්තා, වැඩසටහන් මෙන්ම ඇතැම් සමාජමය අවස්ථාවන්ට H වර්ගය නොහොත් ලේඛන ව්‍යවහාරය භාවිත කරනු ලබයි. සාමාන්‍යයෙන් පවුලේ අය, යහළු යෙහෙළියන් සමඟ කටයුතු කරන විට, දේශන පවත්වන විට,වැනි  විධිමත් නොවූ අවස්ථා සඳහා L වර්ගය නොහොත් භාෂණ ව්‍යවහාරය භාවිත කරනු දැකිය හැකිය. යම් භාෂක සමාජයක පවතින භාෂා  ද්විරූපතාවෙහි ස්වභාවය අනුව එය විවිධ ප්‍රභේදයන් යටතේ ඉදිරිපත් කළ හැකිය. එකම භාෂාවක ලේඛනය හා භාෂණය අතර පවතින ද්විරූපතාව මෙන්ම බහු භාෂක රටක එක් භාෂාවක් හෝ භාෂා කිහිපයක් රාජ්‍ය භාෂාව ලෙස තෝරා ගැනීම හේතුවෙන් ද අනෙක් භාෂාවන් භාවිතා කරන පිරිසට භාෂා ද්විරූපතාව ඇතිවේ. එසේම ප්‍රාදේශීය උප භාෂාවන් අතරින් එක් උප භාෂාවක් සම්මත භාෂාව ලෙස තෝරා ගැනීමෙන්ද  අනෙක් උප භාෂක සමාජයන්ට භාෂා ද්විරූපතාව ඇතිවේ.මීට අමතරව කිසියම් රටක දේශීය භාෂා රාජ්‍ය භාෂා ලෙස තෝරා නොගෙන විදේශීය භාෂාවක් රාජ්‍ය භාෂාව කිරීම නිසාද භාෂා ද්විරූපතාව ඇතිවේ.

            ප්‍රෞඩ ලේඛන ඉතිහාසයකට හිමිකම් කියන රටක් වශයෙන් සිංහල අපට ද පවතිනුයේ ද්විරූපතාවයෙන් යුතු භාෂාවකි. ක්‍රි.පූ තුන්වන සියවසේ බ්‍රාහ්මීය හෝඩිය භාවිතයට පැමිණීමත් සමඟ  සිංහල භාෂාව ස්වරූප දෙකකින් පැවතීම ආරම්භ විය. එහිදී ක්‍රමිකව භාෂණය පහළ ස්වරූපය ලෙස ද ලේඛනය ඉහළ ස්වරූපය ලෙසද භාවිතයට පැමිණියේය. එසේම ඓතිහාසික වශයෙන් විවිධ අවස්ථාවලදී මෙම ලේඛන භාෂණ වෙනස සිංහල භාෂා ව්‍යවහාරය  කෙරෙහි  විවිධ බලපෑම් එල්ල කරන ලදී. පොළොන්නරු යුගයේ ගද්‍ය, පද්‍ය, හා කථා වශයෙන් ව්‍යවහාර ත්‍රිත්වයක් දක්නට ලැබේ. නමුත් කථන ව්‍යවහාරය  ලේඛනය උදෙසා බලපෑම් එල්ල කරනු ලබන්නේ දඹදෙණි යුගයේ පටන් ය. පෘතුග්‍රීසීන්ගේ පැමිණීම, සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය බිඳ වැටීම වැනි කරුණු නිසා ‘මහනුවර යුගයේ දී සිංහල’ නමින් භාෂණ ව්‍යවහාරයට ඉතා සමීප වූ ලේඛන ක්‍රමයක් පැවතීම ද සුවිශේෂී ය. 19 හා 20 සියවස්වල වැලිවිට ශ්‍රී සරණංකර හිමියන් ‘භාෂා  පුනරුදය’ ඇති කිරීමත්, කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ භාෂා පරිශුද්ධවාදයත් වැනි අවස්ථා නිසා ලේඛන ව්‍යවහාරයට පෙර තිබූ සම්භාව්‍ය සිංහල උපයුක්ත කර ගැනීමට  අවධානය යොමු විය. නමුත් 1960 ගණන්වලදී යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමියන්, ආචාර්ය චාල්ස් ගොඩකුඹුර, සෙනරත් පරණවිතාන ශූරින් වැනි අය භාෂාවට ස්වරූප දෙකක් අවශ්‍ය නොවන බව පැහැදිලි කරන්නට විය. කෙසේ වෙතත් එක්දහස් නවසිය අනූගණන්වල ඇති වූ විද්‍යුත් මාධ්‍ය සංකලනය සමග එම විරෝධය පහව ගියේය. අදවන විට  සමාජය විසින් භාෂාව උපයුක්ත කර ගනිමින් සිදු කරනු ලබන කාර්යමය විස්තෘතිය මත එය විවිධ ආකාරයෙන් වෙනස් වේ.

            කෙසේවුවත් සිංහල භාෂාව තුළ තවමත් පැහැදිලි ද්විරූපතා ලක්ෂණ දැකිය හැකිය.මේ නිසා ඇතැම් විට අද පවා සිංහල භාෂාවට ලේඛන භාෂාවක් අවශ්‍යවේ ද යන්නට විවිධ මතභේදාත්මක අදහස් නන්දෙසින් ඉදිරිපත්වනු පෙනේ. සිංහල භාෂාවේ ශබ්ද, අක්ෂර, වාක්කෝෂය හෝ වේවා ව්‍යාකරණය යන ඕනෑම අංශයකින් මෙම ද්විරූපතා ලක්ෂණ පැහැදිලිව හඳුනාගත හැකිය. නිදසුනක් ලෙස සිංහල වර්ණ මාලාව ගතහොත් භාෂණ හෝඩිය හා ලේඛන හෝඩිය ආශ්‍රිතව භාෂා ද්විරූපතාව උදෙසා බොහෝ සාක්ෂි සපයා ගැනීමේ හැකියාව පවතී. ඉතා විධිමත් ලෙස නිර්මාණය වී ඇති ලේඛන වර්ණමාලාවේ මහප්‍රාණ, දන්තජ, තාලුජ, නාසික්‍ය ආදී වශයෙන් ක්‍රමවත්ව වර්ගීකරණය කළ හැකි විවිධ ශබ්ද දැකිය හැකිය. නමුත් මේවා භාෂණයට පැමිණීමේ දී විශාල වෙනසකට භාජනය වීමක් දැකිය නොහැක. නිදසුනක් ලෙස ‘ෂ’, ‘ශ’, ‘ළ’, ‘ල’, ‘න’, ‘ණ’ භේදය ගතහොත් ලේඛනයේදී මෙහි විශේෂත්වයක් පැවතියත් භාෂණයෙදී විශේෂ කොට භාවිතයක් දැකිය නොහැක. ගිනි-ගිණි, කන්නාඩිය-කණ්ණාඩිය, මහලු-මහළු, දෘෂ්ටි-දෘශ්ටි මේ සඳහා නිදසුන්ය.

            සිංහල භාෂාවේ ලේඛනයේදී මහප්‍රාණ, අල්පප්‍රාණ වශයෙන් අක්ෂර වින්‍යාසය නිවැරැදිව සඳහන් කළ යුතු නමුත් භාෂණයේ දී එලෙස උච්චාරණ විෂයක වෙනසක් දැකිය නොහැක. දර්ම-ධර්ම, පලය-ඵලය, පතය-පථය, නිදාන-නිධාන යන වචන උච්චාරණයෙහිලා එලෙස පැහැදිලි වෙනසක් වර්තමානයේ නොපවතී. එසේම ලේඛන ව්‍යවහාරයේදී මෙන් ඓ, ඖ, ඍ වැනි ශබ්ද භාෂණයේදී එතරම් විධිමත් භාවිතයක් දැකිය හැකි නොවේ. ඍජුකෝණාස්‍රය- රිජුකෝණාස්‍රය, ඓතිහාසික-අයිතිහාසික, ඖෂධ-අවුෂද ලෙස භාවිතයේ පහසුව මත පදනම්ව වෙනත් ස්වරයක් හෝ ව්‍යංජනයක් යොදා ගනු පෙනේ. එසේම සිංහල ලේඛන වර්ණමලාවේ එන ‘ඞ’ අක්ෂරය වර්තමානය වන විට භාවිතයෙන් වියැකීගොස් තිබේ. ඒ සඳහා ‘o’ අක්ෂරය භාවිතා කරන අතර භාෂණයේදී  o’ශබ්දය ද සාමාන්‍ය දන්තජ ‘න’ ලෙසින්ම උච්චාරණය වීමක් දැකිය හැකිය. කංකුන්-කන්කුන්, අංශු-අන්ශු, බිංදුව-බින්දුව ඒ සඳහා නිදසුන්ය. එසේම භාෂණ සිංහලයේදී ඇතැම්විට සිදුවන ශබ්දීම විකල්පන අවස්ථාද මෙහිලා සලකා බැලීම වටී. ‘o~ම්’ හා  ‘ස~හ’ විකල්පන තත්ත්ව මෙහිලා සුවිශේෂ වේ. ඇස~ඇහැ ලෙසත්, ගස~ගහ ලෙසත්, කසනවා~කහනවා, සඳ~හඳ, සතුරු~හතුරු, සිහින~හීන ලෙසත් වෙනස් වන්නේ එම ශබ්දීම විකල්පන අවස්ථා නිසාවෙනි. මේ නිසා ලේඛනයට සාපේක්ෂව භාෂණය තුළ හාත්පසින්ම වෙනස් වූ විකල්පන තත්ත්ව ඇති වී තිබේ. පද වශයෙන්ද සිංහල භාෂාවේ ද්විරූපතා ලක්ෂණ බොහොමයකි. ලේඛනයේදී යෙදෙන ඇය, ඔහු, නුඹ, නුඹලා  වැනි සර්වනාම භාෂණයෙදී නොදෙන තරම්ය. විශේෂයෙන්ම ලේඛන ව්‍යවහාරයේ භාවිත වන නිපාත පදයන්ගේ භාෂණ ව්‍යවහාරමය වශයෙන් පවතින ද්විරූපතා ලක්ෂණද මෙහිලා සලකා බැලිය හැකිය. ඔහුද මමද-ඔහුයි මමයි, මලක් වැනි-මලක් වගේ, යන අතර-යන ගමන්, ගිය පසු-ගියාට පස්සේ, දවස් පතා-දවස ගානේ, ඒ අයුරින්-ඒ විදියට, ඉන් පසුව-ඊට පස්සේ වැනි වශයෙන් භාෂණ ව්‍යවහාරයට සීමාවූ වෙනස් නිපාත පද නිර්මාණය කරගෙන ඇත. එසේම ලේඛනයේදී සංස්කෘත භාෂාවෙන් ඍනීකරණය කරගත් වචන භාවිත කරන අතර භාෂණයේදී ඉංග්‍රීසි භාෂාවෙන් ඍනීකරණය කරගත් වචන බොහෝවිට භාවිත කෙරේ. පාඨශාලාව- ඉස්කෝලේ, ව්‍යාපෘතිය-ප්‍රොජෙට්ටෙක, පරිගණකය-කම්පියුටරේ, ඡායා පිටපත-පොටෝ කොපිය ඒ සඳහා නිදසුන්ය. ලේඛනයේ දී සමාන පද භාවිතය බහුල වුවත් භාෂණයෙදී බොහෝවිට භාවිත වන්නේ ඒ අතුරින් එක් පදයකි. වාග්කෝෂීය වශයෙන්ද ලේඛන,භාෂණ පැහැදිලි වෙනස්කම් පවතී. දුටුවා-දැක්කා, කෝපය-තරහව, හමුවෙනවා-හම්බෙනවා, පිසිනවා-උයනවා, කොපමණ-කොච්චර, කෙසේ-කොහොම, කාලය-කාලේ, සරදම-ඔච්චම, වර්ෂාව-වැස්ස, ස්ත්‍රිය-ගෑණි, පුරුෂයා-මිනිහා, පාදය-කකුල, හිස-ඔළුව වැනි බොහෝ වචන සංඛ්‍යාවක් මෙහිලා නිදසුන් කොට ගත හැකිය.

            වාක්‍ය සංස්ථිතියේද ලේඛනයේ හා භාෂණයේ පැහැදිලි වෙනස්කම් දැකගත හැකිය. ලේඛන ව්‍යවහාරයේ වාක්‍යවල උක්ත පද සහ ආඛ්‍යාත පද අතර සංකීර්ණ අධිකරණයක් පවතී. එනම් වාක්‍යක උක්ත පදයේ පුරුෂ භේදය, ලිංග භේදය, සහ සංඛ්‍යා භේදය යන ව්‍යාකරණ ලක්ෂණවලට අනුරූප වන පරිදි එහි ආඛ්‍යාත පදය ගැළපිය යුතුය. මම යන්නෙමි,අපි යන්නෙමු,තෝ යන්නෙහි, තොපි යන්නෙහු, හේ යන්නේය, ඕ යන්නීය යනු එලෙස යෙදෙන ලේඛන සම්ප්‍රදායයි. එහෙත් භාෂණ ව්‍යවහාරයේදී එබඳු සංකීර්ණ අධිකරණ ලක්ෂණ දැකිය නොහැකිය. එනම් භාෂණයේදී යෙදෙන වාක්‍යක උක්ත පදය කවර පුරුෂයක්, ලිංගයක්, සංඛ්‍යාවක් භජනය කළද අඛ්‍යාත පදය ඒ අනුව වෙනස් නොවේ. මම වුවද, අපි වුවද, ඔයා, ඔයාලා, එයා, එයාලා යන කවර උක්ත පදයක් සමඟ වුවත් භාෂණයේදී යනවා යන අඛ්‍යාතය යෙදීම ගැටලුවක් නොවේ. එලෙස කාල, ලිංග, පුරුෂ භේදයෙදී මෙන්ම නිෂේදාර්ථය, නිරුත්සාහක ක්‍රියා ආදී මේ කවර ව්‍යාකරණ ලක්ෂණයකදී වුවද ලේඛනයට සම්පුර්ණයෙන් වෙනස් වූ ව්‍යවහාරයක් භාෂණයෙදී  යෙදේ.

            මේ සියලු ද්විරූපතා ලක්ෂණ භාෂා පරිණාමයේ ප්‍රතිඵලයන්ය. භාෂාවක් සෑම විටම පවතිනුයේ සමාජයේ අවශ්‍යතාවන් මතය. මේ නිසා යම් යම් කටයුතු අනුව භාෂා ස්වරූප දෙකක් අවශ්‍ය වෙයි. නමුත් එය සදාකාලික නොවිය හැකිය. ඇතැම් විට යම් යම් භාෂා ව්‍යවහාරයන් භාවිතයට නො ගැනීමෙන් ඒවා වියැකී යාමට හැකි සේම විටෙක ව්‍යවහාර දෙකම මිශ්‍ර කොට භාවිතා කළ හැකිය. සිංහල භාෂාවේ භාෂණයට සාපේක්ෂව ලේඛනය සම්බන්ධව  දැඩි අවදානම් තත්වයක් වර්තමානයේ දී උද්ගත වී ඇත. සාහිත්‍ය නිර්මාණ, රූපවාහිනී වැඩසටහන්, නවකතා, කෙටිකතා වැනි අංග සඳහාද භාෂණ ව්‍යවහාරය යොදා ගැනීමේ වැඩි ප්‍රවණතාවක් පවතී. විසිවන සියවසෙහි අග භාගය පමණ වන විට බොහෝ ප්‍රබන්ධ කථා රචකයන්ද භාෂණ ව්‍යවහාරයට මුල් තැන දෙනු පෙනේ. දඹදෙණි,කුරුණෑගල, ගම්පොළ සහ කෝට්ටේ ආදී යුගයන්ගේ පටන් බොහෝ සාහිත්‍ය කෘතිවල භාෂණ ව්‍යවහාරයේ බලපෑම පැහැදිලිව දක්නට ලැබේ. නමුත් අග්‍රගන්‍ය නිර්මාණයක් වන ගුරුළුගෝමීන්ගේ   අමාවතුර ලේඛන ව්‍යවහාරයෙන් රචනා වී තිබුණ ද අදටත් එය කියවා රසවිඳීමට හැකි නිර්මාණාත්මක බවින් අනූන කෘතියකි. ලේඛනය සහ භාෂණය යන ව්‍යවහාර දෙක අතරින් තමන් රිසි ව්‍යවහාරයක් යොදා ගනිමින් ලේඛන කාර්යයෙහි නියුක්ත වීමට ඕනෑම ලේඛකයකුට අයිතියක් ඇත. නමුත් ඒ සඳහා උපයෝගී කොටගන්නා ව්‍යවහාරය හොඳ ද නරක ද යන්න සොයා බැලීම වටී. වැඩි වශයෙන් කාර්යමය විස්තෘතියෙහිලා මෙලෙස භාෂණ ව්‍යවහාරය උපයුක්ත කොට ගැනීමෙන් භාෂණය හා ලේඛනය අතර නිර්මාණය වන පරතරය අපට සුළුකොට සැලකිය නොහැක. වක්‍රව එය ලේඛන සිංහලය වියැකී යාමට ද හේතු විය හැකිය. එබැවින් පාසල් අධ්‍යාපනයේ දී සම්මත වියරණ නීතිරීති ඉතා ලිහිල්ව ඉගැන්වීමටත්, පාසල් හා විශ්වවිද්‍යාලවල අපගේ පැරණි පොත්පත් පරිශීලනයට වැඩි අවධානයක් යොමු කිරීමත්  යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.

            ලේඛනයට සාපේක්ෂව භාෂණය ඉතා ශීඝ්‍රයෙන් වෙනස්වීම්වලට භාජනය වේ. එය කිසිඳු පුද්ගලයකුට නවතා දැමිය හැක්කක් නොවේ. පරම්පරාවෙන් පරම්පරාවට, යුගයෙන් යුගයට වෙනස් වෙමින් ආ මෙම ක්‍රමවේදය ඉදිරියටත් එලෙසින්ම ක්‍රියාත්මක වනු නො අනුමාන ය. නූතන යුගයේ අවශ්‍යතා සංකීර්ණ නිසා ඇතැම් විට එම ක්‍රියාවලිය වඩා වේගවත් විය හැකිය. මේ නිසා භාෂණයේ ආත්මය දැනගෙන එහි රටාව හා ව්‍යාකරණයට සමීප ලෙස ලේඛනයද හැඩගැස්වීම නො කළහොත් අනාගතයේ මෙම ද්විරූපතාවයන්ගේ අනිසි ප්‍රතිඵල භුක්ති විදීමට සිදුවන බව නොඅනුමාන ය.