සිංහල හෝඩියේ උත්පත්තිය
- ගවේෂණ
- Hits: 6319
සන්නිවේදන කාර්යයෙහිලා භාෂාවක ඇති වැදගත්කම වචනයෙන් කියා විස්තර කළ නොහැකි තරම්ය. භාෂාවකින් තොරව අපට එකිනෙකා සමඟ අදහස් හුවමාරු කර ගැනීමට හැකියාවක් නොමැත. සාමාන්‍යයෙන් ලොව ඕනෑම භාෂාවක් ලේඛනයෙන් හෝ භාෂණයෙන් ව්‍යුක්ත විය හැකිය. අප එදිනෙදා භාෂණයේදී භාවිත කරනු ලබන විවිධ භාෂා ශබ්ද ලියා දැක්වීමට විවිධ සංකේත භාවිතා කරනු ලබයි. ඒවා අක්ෂර නොහොත් අකුරු ලෙස හැඳින්වේ. ඒවා විටෙක වටකුරු, කලාත්මක ස්වරූපයක් ගන්නා සිංහල අක්ෂරයන් සේම චීන, ජපන් වැනි භාෂාවල භාවිතා කෙරෙන චිත්‍රාක්ෂර වැනි ලොව ඒ ඒ භාෂාවන්ට අනන්‍ය වූ ලක්ෂණයන්ගෙන් යුක්ත විය හැකිය. එලෙස යම් භාෂාවකට අත්‍යවශ්‍යයම භාෂා ශබ්දයන් උදෙසා නිර්මාණය කරගන්නා අක්ෂර ඇසුරින් ඒ ඒ භාෂාවන්ට සම්මත වූ අක්ෂර මාලාවක් නිර්මාණය කර ගනී. ‘අක්ෂර මාලාව’ යන්න පොදු ජන වහරේදී ‘හෝඩිය’ ලෙස හැඳින්වේ. ප්‍රෞඪ ලේඛන ඉතිහාසයකට උරුමකම් කියන සිංහල භාෂාවේත් වර්තමානය වන විට කාලයත් සමඟ විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් ක්‍රමිකව පරිණාමයට පත් වූ අක්ෂර මාලාවක් ශේෂව පවතී.
ඉන්දු ආර්ය භාෂා පවුලට අයත් සිංහල භාෂාවේ සම්භවය පිළිබඳව අද වන විටත් විවිධ මතභේද පවතී. උතුරු ඉන්දියාවේ භාවිත කෙරෙන භාෂා කිහිපයකටම දැඩි සාම්‍ය ලක්ෂණ පෙන්වන හෙයින් අතීතයේ උතුරු ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් මෙරටට සංක්‍රමණය වූ පිරිස් භාවිත කරන ලද භාෂාවන්ගේ ආභාසය මත එහි මිශ්‍රණයක් ලෙස කාලයත් සමඟ සිංහල බිහි වූ බව පිළිගැනේ. භාෂාවේ ව්‍යාකරණමය හෝ වාග්කොෂීය ලක්ෂණ මත පදනම්ව තනි මූල භාෂාවකට සම්බන්ධ කිරීමට ඇති නොහැකියාව නිසාම සිංහල භාෂාව භාෂා කිහිපයක මිශ්‍ර භාෂාවක් ලෙස හැඳින්විය හැකි බව පෙනේ. මේ නිසාම කාලයත් සමඟ සිංහල භාෂාවටම අනන්‍ය වූ පෞරුෂයකින් යුක්තව භාෂාවක් ලෙස සිංහල භාෂාව විකාසනය වී තිබේ.
භාෂාව කාලයත් සමඟ විවිධ වෙනස්කම්වලට භාජනය වෙයි. වෙනත් භාෂාවන්ගේ බලපෑම නිසා පවතින භාෂාවට නව ශබ්ද එක් වෙයි. ඒවා ලියා දැක්වීමට නව අක්ෂර අවශ්‍ය වෙයි. මේ නිසාම කාලයත් සමඟ ඕනෑම භාෂාවක හෝඩිය නොහොත් අක්ෂර මාලාවන්ගේ අක්ෂර සංඛ්‍යාව මෙන්ම ඒවායේ හැඩරුවද කලින් කලට වෙනස් වෙයි. සිංහල ලේඛන සම්ප්‍රදායේ සාධනීය කරුණු පසක් වනුයේ ක්‍රි.පූ. 3 වන සියවසේදී දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ වූ මහින්දාගමනයත් සමඟ ය. මිහිඳු මහරහතුන් වහන්සේ ඇතුළු මහාසංඝරත්නයට පූජා කරන ලද ලෙන් වටා සකසන ලද කටාරම් මත දැකගත හැකි බ්‍රාහ්මීය අක්ෂර සිංහල ලිවීම උදෙසා භාවිත කරන ලද පැරණිතම අක්ෂර ලෙස සැලකේ. කෙසේ වෙතත් සිංහල භාෂාවේ භාවිත වූ අකුරු, හෝඩියක් ලෙස පළමු වරට සකස් කොට පෙළගස්වා ඇත්තේ දහතුන්වන සියවසේ දී නොහොත් දඹදෙණි යුගයේදී ය. පද්‍ය නිර්මාණයේ දී ‘කව් ලැකිය’ නොහොත් නිර්මාණකරණය උදෙසා භාෂාව භාවිත කරන ආකාරය පිළිබඳ නවක නිර්මාණකරුවන්ට අවශ්‍ය භාෂා දැනුම ලබා දීමේ අරමුණින් රචනා කරන ලද ‘සිදත් සඟරාව’ නම් කෘතියෙහි මෙම හෝඩිය ඇතුළත් කොට තිබේ. එහි මුළු අක්ෂර 30 කින් ප්‍රාණක්ෂර 10ක් ද, ගාත්‍රාක්ෂර 20ක් ද, දක්වා තිබේ. එම සිදත් සඟරා හෝඩියම මඳ වෙනසකට ලක් කරමින් ‘අමිශ්‍ර සිංහල හෝඩිය’ නොහොත් ‘නුමුසු හෝඩිය’ බිහිව තිබේ. සිංහල භාෂාවේ මුල් අවධියේ පටන්ම සංස්කෘත හා පාලි භාෂා අභාසය නොඅඩුව දක්නට ලැබේ. නමුත් මෙම හෝඩිය උදෙසා ‘අමිශ්‍ර’ යන නාමය යොදා ගෙන ඇත්තේ පාලි හා සංස්කෘත හෝඩීන් සමඟ මිශ්‍ර නොවූ යන අරුතිනි. මෙහි මුළු අක්ෂර ගණන 30 කි. සිදත් සඟරා හෝඩියේ නොවූ ‘ඇ’ සහ ‘ඈ’යන ප්‍රාණක්ෂර ද්විත්වය එයට ඇතුළත් කොට තිබේ. ‘ශුද්ධ සිංහල හෝඩිය’ ලෙසින්ද හඳුන්වන්නේ මෙම හෝඩියම වේ.සමකාලීන ගද්‍ය රචනයේදී වූ පාලි, සංස්කෘත භාෂා බලපෑම නිසා එකී භාෂාවන්ගෙන් ණයට ගත් පද ලියා දැක්වීමේදී උක්ත අක්ෂර මාලාවන්ගේ ශබ්ද පමණක් ප්‍රමාණවත් නොවීය. මේ හේතුවෙන් මහනුවර යුගයේදී රචනා වූ වදන් කවි පොතෙහි නව අක්ෂර මාලාවක් දක්වා තිබේ. මුළු අක්ෂර 50කින් යුක්ත එහි ප්‍රාණාක්ෂර 16ක් හා ගාත්‍රාක්ෂර 34ක් වෙයි. එම වදන් කවි හෝඩියටම තවත් අක්ෂර 4ක් එක් කොට 19 වන සියවසේදී ‘මිශ්‍ර සිංහල හෝඩිය’ නමින් අක්ෂර මාලාවක් භාවිතයේ පැවත තිබේ. පාලි හා සංස්කෘත භාෂාවලින් ගත් පද ලිවීමට අවශ්‍යය අක්ෂර එම හෝඩිය තුළ ගැබ්ව තිබූ නිසා එය මිශ්‍ර සිංහල හෝඩිය ලෙස හඳුන්වා තිබේ. 1989 දී මහරගම ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්මත කරන ලද සිංහල වර්ණ මාලාවක් භාවිතයට එක් විණි. එහි ප්‍රාණාක්ෂර 18ක් ද, ගාත්‍රාක්ෂර 42ක් ද වූ මුළු අක්ෂර 60 කින් යුක්ත විය. සඤ්ඤක අක්ෂර පහ හා ‘ෆ’ අක්ෂරය එක් කොට තිබීම එම වර්ණ මාලාවේ විශේෂත්වය විය. 1990 දී ‘නූතන සිංහල ලේඛන ව්‍යාකරණය’ නමැති ග්‍රන්ථය තුළින් මහාචාර්ය ජේ.බී දිසානායකයන් ‘සමකාලීන සිංහල හෝඩිය’ සමාජ ගත කරන ලදී. එහි විශේෂත්වය වූයේ අවම භාවිතයේ පැවති ‘ඏ’ හා ‘ඐ’ ස්වර ද්විත්වය හා ‘ඦ’ අක්ෂරය ඉවත් කිරීමත්, ‘ඥ’ අක්ෂරය එක් කිරීමත්, අ හා ඇ යන ස්වර අක්ෂරයන්හි සංවෘත අක්ෂරය ලෙස ‘අකි’, ‘ආයී ’ යන නව අක්ෂර ද්විත්වය හඳුන්වා දීමත්ය.
සැබවින්ම මහාචාර්ය ජේ.බී දිසානායක සූරීන් සිය අක්ෂර මාලාව තුළින් ඉදිරිපත් කරන ලද නව්‍යතා කාලෝචිත බව සත්‍යයකි. සංස්කෘත අභාසය මත සිංහලයට එක් වූ ඏ, ඐ අක්ෂර යෙදෙන පද නූතන ව්‍යවහාරයේ නොමැති තරම්ය. එබැවින් එම අක්ෂර ඉවත් කිරීම වරදක් නොවේ. ලේඛන සිංහලයේ හමු නොවන භාෂණ ව්‍යවහාරය තුළ පමණක් හමුවන ‘ඦ’ (ඉඦු ) අක්ෂරය වෙනුවට අක්ෂර මාලාවේ නොතිබූ, නමුදු නූතන ව්‍යවහාරයේ සුලබව හමුවන ‘ඥ’ යෙදීමද කාලෝචිතය. නමුත් දිසානායක සූරීන් පෙන්වා දුන් සංවෘත ශබ්ද ද්විත්වය උදෙසා සම්මත කොට පිළිගත් සංකේත යෙදවීමක් අදටත් දැකගත නොහැක. සිංහල භාෂාවේ යෙදෙන ‘අ’ සහ ‘ආ’ ශබ්ද විවෘත ශබ්ද ලෙස සැලකේ. නමුත් කථන ව්‍යවහාරය තුළ මේ ශබ්ද ද්විත්වයට අනුරූප සංවෘත ශබ්ද ද්විත්වයක යෙදීමක් පවතී. නිදසුනක් ලෙස ‘මම’ යන වචනය ගෙන බැලුවහොත් මෙහි යෙදෙන මයනු ද්විත්වය එකිනෙකට වෙනස් ආකාරයට ශබ්ද වන බව පෙනේ. එහි පළමු මයන්න විවෘත ‘අ’ ලෙසත්, දෙවන මයන්න සංවෘත ‘අ’ ලෙසත් උච්චාරණය වේ.
එයම ‘අල’ යන සිංහල වචනය හා ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන අබවුට් ( about ) යන වචන ද්විත්වයෙන්ද පැහැදිලිව හඳුනා ගත හැකිය. උක්ත පද දෙකෙහිම ‘අ’ ලෙස සංකේතාත්මකව දැක්වුවත් උච්චාරණ විෂයක යම් වෙනසක් අපට අත්විඳිය හැකිය. මේ නිසාම සංවෘත ‘අ’ සහ සංවෘත ‘ආ’ සඳහා නව සංකේත නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඉංග්‍රීසි හා වෙනත් යුරෝපානු භාෂාවන්ගේ බලපෑම නූතන සිංහල ව්‍යවහාරයට වඩාත් බලපෑම් සිදු කරන නිසාය. එම භාෂාවලින් අප ණයට ගන්නා වචන ලේඛන කාර්යයන්හි යෙදවීමේදී වඩාත් නිවැරදිව ශබ්ද ලක්ෂණ දැක්වීමට නම් ඒ සඳහා නිශ්චිත සංකේතයක් නිර්ණය කිරීම වටී. මහාචාර්ය දිසානායකයන් ඒ සඳහා ‘අකි’, ‘ආයී ’ ලෙස සංකේත ද්විත්වයක්ද, ඇතැම් විද්වතුන් ලෙස අක්ෂරයක්ද යෝජනා කර තිබුණත් ඒ කිසිවක් තවමත් සම්මත භාවිතයට එක් කොට ගෙන නොමැත.
මීට අමතරව ඉංග්‍රීසි භාෂා බලපෑම හේතුවෙන් සිංහලයට ගත් ඇතැම් ඍණීකෘත වචන නිසා භාවිතයට එක් වූ ‘ෆ’ අක්ෂරයද මුල් කාලීනව අක්ෂර මාලාවන්ගේ නොතිබිණි. ‘ප’ අක්ෂරය තුළට ඉංග්‍රීසි ‘ f ’ අක්ෂරය ඇතුළත් කොට භාවිතයක් පැවතියත් පසුව ‘ෆ’ ලෙස ස්වාධීන අක්ෂරයක් ලෙස එය වර්ණ මාලාවට ඇතුළත් කෙරිණි. මේ ආකාරයටම ඉංග්‍රීසි ‘z’ ශබ්දය සඳහාද සිංහලයේ අක්ෂරයක් නොපවතී. බොහෝවිට එම ශබ්දයද ‘ස’ අක්ෂරයෙන්ම දක්වනු දැකිය හැකිය. නමුත් එමඟින් නිසි උච්චාරණ වටිනාකම ගම්‍ය කිරීමට අප භාෂාවක් ලෙස අපොහොසත් වී තිබේ. ප්‍රවීණ ෆොන්ට් නිර්මාණකරුවෙකු වන දමිත් වැලිකල මහතා විසින් මේ සඳහාද විකල්පයක් ලෙස සංකේතයක් අක්ෂරයක් ලෙස හඳුන්වා දී තිබුණත් ඒ පිළිබඳව තවමත් නිශ්චිත පිළිගැනීමක් ලැබී නොමැත.
මෙලෙස බ්‍රාහ්මීය අක්ෂරවලින් ඇරඹි සිංහල භාෂාව අද වන විට විවිධ තත්වයන් ඔස්සේ ගමන් කරමින් වෙනත් භාෂා සංස්පර්ශයෙන් හමුවේ අනුවර්තනය වෙමින් අතිශය පිරිපුන් භාෂාවක් බවට පත්ව තිබේ. විටෙක ලොව භාෂා අතර අලංකාරතම භාෂා අතරට මෙන්ම ලොව නිර්මාණාත්මකම භාෂා අතරටත් සිංහල අක්ෂර මාලාව ඇතුළත් වූයේ සිංහල අක්ෂර මාලාවටම අනන්‍ය වූත්, සුවිශේෂ වූත්, පෞරුෂයකින් හෙබි අක්ෂර සංකේත සමුදායකින් යුක්ත වූ නිසාවෙනි.
බී.ලක්ෂිකා මදුශානි
විශේෂවේදී දෙවන වසර
වාග්විද්‍යා අධ්‍යයනාංශය
මානවශාස්ත්‍ර පීඨය