( සොෆීගේ ලෝකය - කර්තෘ - යුස්ටයින් ගෝඩර් )

( පරිවර්තනය - රාණී සේනාරත්න රාජපක්ෂ )

 “ ඔබ කවුද “  ?

“ ලෝකය ආවේ කොහෙන්ද “ ?

අකුරු සමූහයක් එක්කර  වචනයක් ගැට ගසාගෙන සිත තුළ ලැගුම්ගත් අදහසක් ලෝකයට මුදාහරින්නට හැකිවූ වයසේ සිට  මෙතෙක් ඔබ ගෙවූ ජීවිතයේ ඔබ බොහෝ පොත්පත් කියවා ඇති බවට කිසිඳු සැකයක් නැත. බහුතරයක් වූ එවන් පොත්පත් අතරින්, අතලොස්සක ප්‍රමාණයක්, ඒවා කෙරෙහි එක් සාමාන්‍ය කියවීමක සිට පරිශීලනය කිරීමක් දක්වා ඔබේ අවශ්‍යතාවය විතැන් කිරීමට සමත් වූවා ද විය හැක.

එහෙත්, එවන් කිසිදිනක  ඔබට සාමාන්‍ය  ජීවිතයේ පොදු මිනිස් ඉන්ද්‍රිය සංවේදනයට ප්‍රත්‍යක්ෂ වන මාතෘකාවන් ගෙන් ඔබ්බට ලෝකය පිළිබඳව එහි ආරම්භය පිළිබඳව නො එසේ නම් අවම වශයෙන් තම ඇතුළාන්තය පිළිබඳව හෝ සිතන්නට, විමසන්නට බලකරන අවස්ථාවක් හමු නොවුණා වන්නට පිළිවන.

" සොෆීගේ ලෝකය "  සාහිත්‍යලෝලී ඔබ වෙතට ඒ නව්‍ය අත්දැකීම සමීප කරනු නිරනුමානය.

මෙය තවත් එක් ආකෘතික නවකතාවක් නො වන “කෙටිකතාමය නවකතාවකි”. තවත් ලෙසකින් කියතොත් ආයාසයකින් තොරව  කෘතිය පරිශීලනයෙන් ම පමණක් සම්පූර්ණ කළ හැකි, “දර්ශනවාදයේ ඉතිහාසය පිළිබද අපූරු පාඨමාලාවකි”  .

වරෙක, ගුවන් බලපත්‍ර රහිතව ම ග්‍රීසියේ අගනුවර වෙත රැගෙන ගොස්  සොක්‍රටීස් ගෙත් ශිෂ්‍ය ප්ලේටෝ ගෙත් සාරගර්භ සාකච්ඡාවක අදිසි අසන්නෙක් බවට ඔබව පත්කරන තවත් වරෙක මධ්‍යතන යුගයේ අහස උසට විහිදුණු මහා මන්දිර අතරින් යොමුවූ පටු මාවතක් අතරින් ගැලීලියෝ ගේ තාරකා ගවේෂණාගාරය වෙත ඔබව රැගෙන යන 14 හැවිරිදි සොෆී ආමන්ඩ්සන්, ඇල්බර්ටෝ නෝක්ස්, හර්මීස් ඇතුළු තවත් චරිත රැසක් ඔබට මෙහි දී මුණ ගැසෙන අතර, පූර්ව සොක්‍රටික යුගයේ ස්වාභාවික දාර්ශනිකයන්ගේ සිට රෙනේ දේකාත්, කාන්ටි, අර්නස්ට් හේගල් වැනි නූතන දාර්ශනිකයන් දක්වා ඔවුන්ගේ චින්තන සම්ප්‍රදායයන් හා මතවාද පිලිබඳව පරිච්ඡේද වශයෙන් විවරණයන් රැසක් ද ප්‍රස්තුත කෘතියෙහි අන්තර්ගත වේ.

"ළමයින්ට, ලෝකයයි ඒකේ තියෙන හැම දෙයක්මයි අලුත්. හැමදේම විශ්මය උපදවනවා. වැඩිහිටියන්ට එහෙම නෑ. වැඩිහිටියන්ගෙන් වැඩි දෙනා ලෝකය පුරුද්දක් හැටියටයි බාරගන්නේ " 

කථාවේ ප්‍රධාන චරිතය වන සොෆී ආමන්ඩ්සන් හා ඇල්බර්ටෝ නොක්ස් නැමැති පසුකාලීනව ඇගේ දර්ශනවාදය විෂයය පිළිබඳව ගුරුවරයා බවට පත්වන්නා අතර සිදුවන තැපැල්පත් හුවමාරුවක් ලෙස කෘතියේ ආරම්භයේ සිට ගලා විත් එක්තරා අවස්ථාවකදී සිදුවන දෙදෙනාගේ භෞතික හමුවීම ඇසුරු කොටගෙන එතැන් සිට කෘතියේ ආශ්චරියයමත් අවසානය දක්වා දෙදෙනා අතර ඇතිවන සංවාදයක ආකෘතියෙන් සකස් වන ප්‍රස්තුත කෘතිය පාඨකයා කිසිසේත්ම අපේක්ෂා නො කරන  එහි පසුපෙළින් දිවයන නිශ්චිත සිදුවීම් දාමයකට සම්බන්ධ චරිත කිහිපයක බලපෑමින් ඇති වන ගුප්ත රසය කැටි කොට ගත් අවස්ථා රැසකින් ද සමන්විත මායාවී ආඛ්‍යානයක් වන බව ද කිව යුතු ම ය.

" සොෆී ඇඳෙන් බැහැලා ඇඳ රෙදි හරිගස්සන්න පටන්ගත්තා.  එතකොට කොට්ටේ යට තිබිලා හම්බවුණා දම්වැලක එල්ලපු රත්තරං කුරුසියක්. කුරුසියේ අනිත් පැත්තේ කොටලා තිබුණා : HMK "

" සොෆීට වස්තුවක් හම්බවෙනවා හිනෙන් දැක්ක මුල් දවස හෙම නෙමෙයි මේක. ඒත් ඒ වස්තුව, හීනයේ ඉඳලා සැබෑ ලොවට ගෙනාව මුල් ම දවස තමයි මේක. "

කවර හෝ ප්‍රවර්ගයක ටෙලි නාට්‍යයක එක් කොටසක් නැරඹීමෙන් අනතුරුව මීළඟ කොටස පිළිබඳව ප්‍රේක්ෂකයෙකු අත්විඳින කුතුහලයට සමාන අත්දැකීමක් සොෆීගේ ලෝකය කෘතිය පරිශීලනය කරන පාඨකයෙකුට එහි සෑම පරිච්ඡේදයක් අවසානයේදීම, ඊළඟ පරිච්ඡේදය පිළිබඳව ඇතිකරන බව කිව හැකිය.

 සෑම පරිච්ඡේදයක් අවසානයේදී ම දර්ශනවාදයේ ඓතිහාසික ගමන් මග පිළිබඳ එකිනෙකට වෙනස් නවමු මානයන් රැසකට පාඨක මනස යොමු කරවන රචකයා අදාළ පරිච්ඡේදයෙහි විස්තර කරන සංකල්පයන් මත නිර්මාණශීලීව ස්වකීය චින්තනය මෙහෙයවීමට අවශ්‍ය අනුබලයන් ද විටින් විට ඉස්මතු වන සොෆීගේ ප්‍රකාශනයන් තුළට ඇතුළත් කර ඇති බව කිව හැකි ය.

" ඒ වුණාට දර්ශනය කියන්නේ , අහිංසක පාටි සෙල්ලමක් නෙවෙයි නේ. දර්ශනය, අපි කවුද ? ; අපි ආවේ කොහෙ ඉඳල ද? කියලා කියාදෙන එකක්. ඔයා හිතනවද, අපි ඉස්කෝලෙදි ඒ ගැන ඇතිතරම් ඉගෙනගන්නවා කියලා ? "  ....

" කාටවත් ඒ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් යැ ?  "  ....

"  ඔව්. ඒ වුණාට ඒ ප්‍රශ්න අහන්නවත් අපි ඉගෙනගන්නේ නෑ  "  .... 

එසේ හෙයින් ම, නිර්මාණශීලි ලේඛකයෙකු සතු විය යුතු නිසර්ග ප්‍රතිභා ශක්තියත්ලොව අඛණ්ඩ පැවැත්ම තහවුරු කරන ජීවී අජීවි ප්‍රපංව හා එහි ක්‍රියාකාරීත්වයන් පිළිබඳව අපූර්ව අර්ථකථනයන්ට මග සලසන දාර්ශනිකත්වයත් ගෝඩර් ආකෘතිය තුළ සංකලනය වී සැකසුණු  මෙම සොෆී ගේ ලෝකය නම් ආඛ්‍යායිකාව සැබැවින් ම විශ්මයසහගත නිර්මාණයක් ම වන්නේ ය.

 

M. අකිල මල්ලිකාරච්චි

ප්‍රථම වසර

ලලිත කලා අධ්‍යනාංශය

 

මානව ශාස්ත්‍ර පීඨය