ලෝකයේ අලංකාර ආරක්ෂකයා සුරකින්න ලියෝ සමාජය ක්‍රියාත්මක කළ Nacl + H2O
- ගවේෂණ
- Hits: 768
පරිසර විද්‍යාත්මක ව සහ ජෛව විද්‍යාත්මක ව ලෝකයට ඉතා වැදගත් ජීවියෙක් ලෙස කොරල් පර වැදගත් වේ. නමුත් කොරල් පර වල වටිනාකම ලෝකය තවමත් නිවැරදිව හඳුනාගෙන නැත. කොරල්පරයක් යනු බුහුබාවන් විශාල ප්‍රමාණයකින් නිර්මාණය වූ කැල්සියම් කාබනේට් කවචයකින් සමන්විත සත්ත්වයෙකි. තනි ඒකක වශයෙන් නිර්මාණය වූ විශාල පර, කොරල් පරයක් ලෙස හැඳින්වේ. මහද්වීපික තටකයේ නිර්මාණය වන මෙම කොරල් පර සාගරයට විශාල අලංකාරයක් මෙන්ම ආරක්ෂාවක් ලබා දේ. කොරල් බුහුබාවන් ප්‍රශස්ත ව නිර්මාණය වීමට සෙන්ටිග්‍රේඩ් අංශක 28 - 35 ත් අතර උෂ්ණත්වයක් පැවතිය යුතු අතර සාගරයේ ලවණතාවය ද ලවණ කොටස් 35 ක් පමණ පැවතිය යුතුය. ලෝකයේ බහුල වශයෙන් සමකයේ සිට අංශක 30 උතුරටත්, අංශක 30 දකුණටත් යන මුහුදු කලාපයේ වැඩි වශයෙන් දක්නට අවස්ථාව උදා වේ.
කොරල් පර මුළුමහත් ලෝකයටම ඉතාමත් වටිනා ජෛව පරිසර පද්ධතියක්. ශාක ප්ලවාංග හා සත්ත්ව ප්ලවාංග වර්ධනය වීමට, පරිසර පද්ධති වර්ධනය වීමට, මුහුදු ඛාදනය අවම කිරීමට, පාරිසරික උෂ්ණත්වය පාලනය කිරීමට, ඔක්සිජන් ජනනය කිරීමට දායක වීම, වර්ෂණ ක්‍රියාවලිය හා දියවැල් වල ක්‍රියාකාරිත්වය වැනි විශාල වැදගත්කම් රාශියක් කොරල් පර සතුව පවතිනවා. එමෙන්ම කොරල් පර ආර්ථික වටිනාකමකින් යුක්ත ව වර්ධනය කල හැකි ක්ෂේත්‍රයක්. කොරල් පර නිසා සංචාරක කර්මාන්තය ඉතා විශාල ලෙස දියුණු කළ හැකියි.
වර්තමානයේ සිදුවන ඇතැම් භෞතික සාධක නිසා මෙන්ම වැඩිවශයෙන් සිදුවන මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙම කොරල් පර විශාල වශයෙන් විනාශයට ලක් වේ. .
ලෝකයට මෙන් ම මුළු මහත් සත්ත්ව පරිසරයට ම අහිතකර ලෙස වර්ධනය වන මෙම කොරල් පර විනාශ වීමේ ගැටළුව කෙරෙහි සංවේදී වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයේ වනජීවි හා සත්ත්ව සංරක්ෂණ ඒකකය විසින් ඒ සඳහා අග්‍රගණ්‍ය ක්‍රියාදාමයක් පසුගිය දා සිදු කරනු ලැබුවා. ඒ කොරල්පර වගා කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය වූ Nacl + H2O ව්‍යාපෘතිය යි. පසුගිය අප්‍රේල් 22 දා මාතර මිරිස්ස කොකනට් හිල් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ වනජීවි හා සත්ත්ව සංරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂවරුන්, සංවිධායක මණ්ඩලය සහ ඒකකයේ සාමාජිකයන් එක්ව මෙම ක්‍රියාවලිය සිදු කරන ලදී.
මේ සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා සහ සමුද්‍ර භූ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සහ එම අධ්‍යයනාංශයේ විද්‍යාර්ථින් පිරිසක් ද අධ්‍යාපනික සහ තාක්ෂණික සහය ලබා දෙන ලදී. එමෙන්ම නාරා ආයතනයේ සාගර විද්‍යාඥ මනුජ හෙන්දාවිතාරණ මහතා ද අධ්‍යාපනික වශයෙන් ව්‍යාපෘතිය සඳහා සහයෝගය ලබා දුන්නේය.
එහිදී මහාචාර්‍ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සහ එම පිරිස සමඟ ලියෝ සමාජය එක්ව සාගරය තුළ කොරල් පර සිටුවා සියළු දෙනා කොරල් පර නැරඹීමේ සැසියක් ද පවත්වන ලදී. අනතුරුව අභ්‍යන්තර මුහුදු කලාපය පිරිසිඳු කිරීම සහ වෙරළ කලාප පිරිසිඳු කිරීමේ වැඩසටහනක් ද පවත්වන ලදී. අවසානයේ කොරල්පර සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳ සමාජ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද සිදු කරන ලදී.
කැලණිය විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ වනජීවී හා සත්ත්ව සංරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂවරුන් වන සංවර්ධන අධ්‍යයන උපාධි අපේක්ෂක ලියෝ යළිඳු ජයවීර සහ පරිසර සංරක්ෂණය හා කළමණාකරණ උපාධි අපේක්ෂිකා ලියෝ නුවන්දරා මුදලිගේ ප්‍රකාශ කරන්නේ " පරිසරය සහ වනජීවින් ආරක්ෂා කිරීම සිදු කල යුතු වන්නේ මානුෂීයත්වය උදෙසා පමණක් නොවේ. මිනිසා ඇතුළු මුළු මහත් සත්ත්ව සංතතියම එකම දම්වැලකි. බුද්ධිමත් මිනිසා විසින් සිදුකරන නොමනා ක්‍රියාකාරකම් නිසා මුළු මහත් ජීව ලෝකයම වර්තමානය වන විට අන්තරාදායක අඩියක පසු වේ. වනජීවින් හා පරිසරය මේ නිසා වඳවී යෑමේ තර්ජනයක මුහුණ පා සිටී. මේ වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළින් ම සිටින විශ්වවිද්‍යාල ප්‍රජාව මේ වෙනුවෙන් ක්‍රියාකිරීම ඉතා වැදගත් වේ" ලෙසයි.
ඉතා කාලෝචිත සහ වැදගත් අංගයක් බවට පත්වෙමින් මෙම ව්‍යාපෘතිය ඉතා සාර්ථක ලෙස නිමාවන ලදී. Nacl + H2O ව්‍යාපෘතියේ ව්‍යාපෘති සම්බන්ධීකාරක තිදෙනා ඇතුළු සංවිධායක මණ්ඩලයේ සියළුගේ පූර්ණ කැපවීම මත මෙය සාර්ථක කරගැනීමට හැකියාව ලැබිණි.
කැලණිය විශ්වවිද්‍යාලීය ලියෝ සමාජයේ වත්මන් සභාපති ලියෝ සචිත් ලක්ෂාන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් ලබා දුන්නේය. " NacL + H20 ව්‍යාපෘතිය කියන්නේ, කැලණිය විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය ව්සින් මෙම වසරේදී දියත් කල අති දැවැන්ත ව්‍යාපෘතියක්. එහි පලමු අදියර විදිහට මිරිස්ස ප්‍රදේශයේ ජලය යට ජීවය විදිහට හඳුන්වන්න පුලුවන් කොරල් පර සංරක්ෂණය කිරීම ක්‍රියාත්මක කරන්න පුලුවන් උනා. ඉතින් අපිට ගොඩබිම පෙනෙන ජීවීන් මෙන්ම, මෙවැනි විශාල වටිනාකමක් සහිත ජලය යට ඇති ජීවීන් සම්බන්ධයෙන් මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිලිබඳව සංවිධායක මණ්ඩලයට ස්තුතිවන්ත වෙන්න ඕන"
එමෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයේ විධායක මණ්ඩලය, අනෙක් ඒකක අධ්‍යක්ෂ මණ්ඩලය සහ ලියෝ සමාජයේ සාමාජිකයන්ට මෙන්ම රුහුණ විශ්වවිද්‍යාලයටත් කෘතඥතාවය පළ කිරීම වැදගත් ය.
යළිඳු ජයවීර
සංවර්ධන අධ්‍යයන ශාස්ත්‍රවේදී ගෞරව
භූගෝල විද්‍යා අධ්‍යයනාංශය
සමාජීය විද්‍යා පීඨය