Image
බස් එකේ එකම කාලගෝට්ටියකි. 
“ ඔය මැද ඉන්න මහත්තයා ටිකක් ඉස්සරහට යන්නකෝ; තව ඕනි තරම් ඉඩ තියෙනවානේ”
“ බහින තැන පිරෙන්න එපා “ 
“ මහත්තයෝ ඔයත් පොඩ්ඩක් එහාට යන්නකෝ “ 
රියදුරු කෑ ගැසීය. 
රියදුරු අසුන අසලින් බසයට ඇතුලු වන තැන - 
“ හිරවෙමින් - තදවෙමින් 
  පොඩිවෙමින් - පැද්දෙමින් “ 
සිටි “ජහ - මනතාව “ මැද්දෙන් මම ද ඉමහත් සතුටින් ඉදිරියට තල්ලු වීමි. ෂා !!!  .... තල්ලුවීමේ අවසානයේ නැවතුනේ සංගීත සංදර්ශනයක් හිස පිටුපසින් රාව - ප්‍රතිරාව වන තැනකය. කන් අඩි පුපුරණ තරමේ “ කර්ණ රසායන සංගීතය” - ගම් හතකට ඇසෙන ගාණය. පෙරදී සිරවී තල්ලුවීම කරණකොටගෙන මා සිතෙහි හටගත් ආස්වාදය තවත් අධික වී මෙවේලේ, “ ශුද්ධ වචන “ වේශයෙන් මගේ මුඛයෙන් පහ වීමට උත්සහ කල නමුදු, එය අසාර්ථක උත්සාහයක් ම වූයේ, එක්තරා ඓතිහාසික වසංගතයක වත්මන් ජීවමාන නෂ්ටාවශේෂයක් බදු, මුව ආවරණයක්, මා මුවින් භාගයක්ම වසා තිබීම නිසාවෙනි. මට යම් යම් දේ පෙනිණි. මම යම් යම් දේ බැලීමි. බසයේ බහුතරයකගේ ඇස්, දුරකථන තිරවලට ඇලී තිබිණි. යාන්ත්‍රික අතැගිලි දුරකතන තිර මත මැරතන් දිවීය. ඉතිරිය, නිහඩ මුවින් විසීය. මට ග්‍රැහැම්බෙල්ගේ මෑණියන් සිහිවිය. .... “ යකෝ  .... මුන්ට කන් නැද්ද ? “  .... 
Image

මෙවන් සහසකුත් එකක් සිතිවිල්ලෙහි නිමග්න වෙමින් එසේ මා ගමන් කලේ, “ ලෝකෙන් උතුම් රට වූත්, ලොව අන් සියල් දේශයන් පරදමින්, නෙලුම් කුලුණක් සේ නැගී සිටියා වූත්, ආශ්චර්යමත් දේශයක පොදු ප්‍රවාහන බස් රථයකය. ඒ වනාහී ඉතා අපූර්ව වූවකි. එතරම් දුර ගමන් නොකරන සාමන්‍ය ගාස්තු අයකරගන්නා බස් රථයකින් ගමන් කරන දුර ප්‍රමාණයම, සාමන්‍ය ගාස්තු අයකරගන්නා, නමුත් දුර ගමන් කරනා බස් රථවල රාත්‍රී කාලයේ ගමන් කරන විට, දහවලකදී අය කරන මුදල මෙන් හරි අඩක් වැඩිවෙයි. මෙරට බහුතරයක් වූ බස් මගීන් අතරෙහි, “ යකාගේ ගසා කෑමක් “ ලෙසින් හැදින්වෙන මෙම විශේෂිත ක්‍රමවේදය, අල්ලස්, දූෂණ හා මූල්‍ය වංචාව පිලිබද පශ්චාත් උපාධිය දරන, වන්දනීය වූත්, නිර්මල වූත්, ප්‍රාදේශීය සහා, මහනගර සභා, පලාත් සභා, පාර්ලිමේන්තු  ...... ආදී විවිධ ප්‍රවර්ගයේ දේශපාලන භවතුන්ගෙන් රට පුරා පෙර කී එවන් විශේෂිත ක්‍රමවලින් බස් මගීන්ගෙන් මුදල් අය කරගන්නා කොන්දොස්තරවරුන් වෙතට, “ සුලගින්, ‘ ඒඩ්ස් ‘ බෝවන්නා “ සේ බෝවූවක්දැයි මට කල්පනා වී ඇති වාර ගනණ මෙතෙකැයි කිව නොහැකිය. 

Image
මට විටෙක මහත් සහනයක් දැනේ. “ කන්න නැතත් - ඉන්න රටක් අපට ලැබී තිබේ. “ ඉන්න රටක් නම් අපට කවදාකවත් නැතිවන්නේ නැත. “ කවදාකවත්, කෙසේ වතුදු, තව අවුරුදු දෙදාස්පන්සීයයකටවත් එසේ වන්නේ නැත. මන්ද, මේ වන කලී, “ රජරටින් - ආසනික් “ ද, කොලඹ රටින් - පොලිතීන්, ප්ලාස්ටික්, ලිතියම්, කැඩ්මියම් ආදී නොදිරන අපද්‍රව්‍ය හා බැර ලෝහ ද, පසට එක් වීම මතු නොව, අපගේ අසල්වැසි රාජ්‍යන් විසින්, “ සුලගේ අමුණා “ අපේ රට මැදටම එවුවා වූ දූෂිත වායූන්ගෙන් වායුගෝලය සමන්විත වූත්, වරින් වර ලෝකයේ නන්දෙස නන්විධ රටවලින් පැමිණෙන “ රෝහල් අපද්‍රව්‍යාදිය “, පෙර කී අප රට “ සොදුරු මැති, ඇමැති තුමන්ලාගේ පෞද්ගලික බැංකු ගිණුම් “ නැමැති බක්කිවලට මුදල් පුරවා, අප “ හෙළදිව “ නැමැති “ කුණු බක්කියට “ ( ඔවුන් සිතනා අයුරින් ), ජීරණය පිණිස බැර කිරීම  ........ ආදී ආශ්චය–මත් හේතු සාධක කරණකොටගෙන, “ වියළි දණ්ඩක් වුවද - දළු ලා යලි පැළවෙන “ වාසනාවන්ත භූමිභාගයකි. ගිනිගත් රසායන ද්‍රව්‍ය බහාලුම් නැවකින් නිකුත් වූ, අසිරිමත් දෑ වල බලයෙන්, ස්වාභාවික අභ්‍යන්තර ජෛව සමතුලිතතා සැකැස්මට දිනෙන් දින සමුදෙන, සමුද්‍රාසන්න තරු පහේ හෝටල් රැසක “ කසල බදුන “ වූ මුහුදකින් වටවූ “ මුතු ඇටයකි “ !!! .
“ දියසෙන් කුමරුනි ! ඔබට මේ රට භාර ය. “ 
නැවතත් අතීතාවර්ජනයටය. වසංගතවලින් ආරක්ෂා වීම සදහා, “ ගංගාවලට මුට්ටි අතහරින විට “, මුට්ටිය, ගග දිය සිපගැනීම හේතුවෙන් නැගෙන ශබ්දයට මදක් වැඩි වූ “ විශාල ශබ්දයක් “, බසයේ එවේලේ සිටි අපට ඇසෙන්නට සලස්වමින්, රෝද හතරක් සහිත “ මගමරුවා නයිට් ට්‍රැවල්ස් “ ජෙට් බස් රථය මගේ ගමනාන්තයට සේන්දු විය. ජෙට් බස් රථයේ ලවුඩ්ස්පීකර් තුන හතරින්ම, පෙරදා එක් “ හෙළ ජනාධිපතිවරයෙකු “ විසින් ගායනා කරන ලද “ කුරක්කන් ගලක් පිළිබඳ “ කවියකින් අනතුරුව අපි තමයි හොදටම කලේ “ යන වීර වාක්‍යය ප්‍රචාරය විණි. මුලු ලොවක් ඉදිරියේ, දැනටමත් බොහෝ දෑ “ හොදටම කර පෙන්වූ රටක , තවත් “ හොදටම කර “ පෙන්වන්නට ඉතිරිව ඇත්තේ මොනවාදැයි කල්පනා කරමින්, මම එයින් බැස, නිවස බලා ආවෙමි. 
-  ඉවරයි කිවුවට  .... ඉවරම නෑ  ....  
එම්. අකිල මල්ලිකාරච්චි
ප්‍රථම වසර 
නාට්‍ය හා රංගකලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය
ලලිත කලා අධ්‍යනාංශය
මානව ශාස්ත්‍ර පීඨය