මාධ්‍ය නීති සංසදයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ ජගත් ලියන ආරච්චි

සමාජ මාධ්‍ය භාවිතය හේතුකොටගෙන වර්තමානය වන විට විවිධ  අහිතකර, ගැටලුකාරී තත්ත්ව රැසක් නිර්මාණය වී ඇත.මෙහිදී විශේෂයෙන්ම ජනතාව සමාජ මාධ්‍ය භාවිතයට වැඩි වශයෙන් ම නැඹුරු වීම මෙන්ම එය අනිසි ලෙස භාවිතය හේතු කොටගෙන ඇතිවන අයහපත්  තත්ත්ව‍යන් දිනෙන් දිනම ඉහළ යාමේ ප්‍රවණතාවයක් ද ඇත. වර්තමානයේ සමාජ මාධ්‍ය අවභාවිත කෙරෙන ආකාරය , ඒවැනි තත්ත්වයන්හි දි ක්‍රියාත්මක වන නීති  පිළිබඳ මාධ්‍ය නීති සංසදයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා  සමඟ කරන ලද සාකච්ඡාවකි

 

. වර්තමානයේ සමාජ මාධ්‍ය භාවිතය තුළ ඇති වී ඇති අහිතකර පැතිකඩ කුමක්ද ?

සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිතය හේතුකොටගෙන භාවිත කරන්නන් මත සමාජ මාධ්‍ය තුළ අහිතකර තත්ත්ව රැසක් නිර්මාණය වී තිබෙනවා. ඒ සඳහා ප්‍රධානම හේතුව වී ඇත්තේ සමාජ මාධ්‍ය තුළ දොරටුපාලක සංකල්පය ක්‍රියාත්මක නො වීමයි .එනම් සමාජ මාධ්‍ය භාවිත කරන්නා ම දොරටු පාලකයා වී කටයුතු කිරීමයි.නමුත් සාම්ප්‍රදායික  ජන මාධ්‍ය   තුළ, ඒ සඳහා  විශේෂ කාර්ය රැසක් ක්‍රියාත්මක වන අතර දොරටු පාලක සංකල්පයට ප්‍රධාන තැනක් දී කටයුතු කිරීම  කරනවා. ඒ් අනුව  සම්ප්‍රදායික මාධ්‍යවල  යම් කිසි පණිවුඩයක් සමාජගත කිරීමේ දී ඒ පිළිබඳව,එම ක්ෂේත්‍රය පිළිබඳ දැනුමැති,පරිණත  පුද්ගලයකු විසින් තමයි  යම් පණිවිඩයක් සමාජයට ලබාදීම කරන්නේ. නමුත් සමාජ මාධ්‍ය තුළ දී තොරතුරු මුදා හැරීම කරන්නේ ඇතැම්විට එය හිතකර ද අහිතකර ද, සභ්‍ය අසභ්‍ය  ද ,සත්‍ය ද අසත්‍ය යන්න පිළිබඳව සැලකිලිමත්භාවයකින් තොරවයි.සමාජ මාධ්‍ය අවභාවිතයේ බොහෝ ගැටලුකාරී අවස්ථා නිරන්තරයෙන්ම  මතුවන අතර ප්‍රධාන වශයෙන්ම සමාජ මාධ්‍ය තුළ ඇතැම්  අවස්ථාවල සිදු කරනු  ලබන මෙවැනි අහිතකර තත්ත්වයන් තුළ නීතිමය පියවර ගන්නා අවස්ථාවන් ද පවතිනව. නමුත් ඒ හා සම්බන්ධ  හැම අහිතකර ක්‍රියාවක්ම අපරාධ නීති වැරැදි ගණය තුළ හඳුනාගෙන නැහැ.  .එනම් යම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් අපහාසාත්මක  අසත්‍ය ප්‍රකාශයක් සමාජ  මාධ්‍යයක පළ කළහොත්  එම සිද්ධිය අපරාධ නීති ගණයට  ගන්න බැහැ..එය සිවිල් නීතිය යටතේ ගැනෙන වරදක්. එහිදී කළ හැක්කේ අපහාසයක් හෝ අපකීර්තියක් හේතුවෙන් නඩු පවරා වන්දියක් ලබා ගත ගැනීමයි.

නමුත් එම ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ  වියදම් අධිකවීම, කාලය ගත වීම හේතුකොටගෙන  මේ පිළිබඳ කටයුතු කරන පිරිස දිගින් දිගටම  මේ වරද සිදු කිරීමට පෙළඹෙනවා .එමෙන්ම අපරාධ වරදක් වන අවස්ථාවන්වලදී  පොලිසිය හෝ ළඟම ඇති සයිබර් අපරාධ ඒකකය මගින්  අපරාධ වරදට අදාළ ව කටයුතු කරන ලද පුද්ගලයන් සොයා දඬුවම් ලබා දීම  කරන්න පුළුවන්.

 

.සමාජ මාධ්‍ය අහිතකර ලෙස භාවිතය හේතු කොට ගෙන ක්‍රියාත්මක වන  නෛතික තත්වයන් මොනවාද?

සමාජ මාධ්‍ය භාවිතයහි නෛතික තත්වයන් පිළිබඳ ක්ෂේත්‍ර ගණනාවක් තුළ හඳුනා ගැනීමට හැකියි. එනම් මුලින්ම අපිට අපරාධ  නීති ක්ෂේත්‍රය හඳුන ගන්න පුළුවන් .

මෙහිදී අසත්‍ය ප්‍රකාශන,වෛරීය ප්‍රකාශන ,ආගම්වලට එරෙහිව  කරන ලද ප්‍රකාශන නිසා සිදුවන හානි ආදිය දණ්ඩ නීති සංග්‍රහයෙන් ආවරණය වෙනවා  .එමෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත යටතේ වූ වෛරීය ප්‍රකාශනයන් ආවරණය වෙනවා.

අසභ්‍ය ප්‍රකාශන පනත  හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළින්  ඇතැම් කාරණා ආවරණය වන  අතර ඒ ආකාරයට අපරාධ නීති ක්ෂේත්‍රයේ පනත් හා වගන්ති ගණනාවකින් සමාජ මාධ්‍ය තුළ කෙරෙන ඇතැම් පළ කිරීම ආවරණය වෙනවා.  එවැනි අවස්ථාවන්වල දී ඒ හා සම්බන්ධ අහිතකර තත්ත්වයන්ට නඩු පැවරීමට පොලිසියට  හැකියාව තිබනෙවා.

මීට අමතරව තවත් වැදගත් නීති ක්ෂේත්‍රයක් ලෙස අපහාස නීති ක්ෂේත්‍රය හඳුනා ගන්න පුළුවන් .මෙය ප්‍රධාන කොටස් තුනකින් සමන්විතයි. එනම්,සිවිල් අපහාසය අධිකරණයට අපාහාස කිරීම සහ පාර්ලිමේන්තුවට අපහාස කිරීම යනුවෙන්.

පුද්ගලයකුට අපහාසයක් වන ප්‍රකාශයක් යම් සමාජ මාධ්‍යයක පළ කළ අවස්ථාවක එහි  පරිශීලකයා නිවැරදිව හඳුනාගත හැකි නම්,එවැනි අවස්ථාවකදී ඒ සම්බන්ධව ඔහුට හෝ ඇයට විරුද්ධව සිවිල් නඩුවක් පවරා වන්දි අයකර ගැනීමට  සිවිල් අපහාස නීතිය  යටතේ පුළුවන්.

. නමුත් මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් නිසා  මේ සඳහා ඉදිරිපත් වන ප්‍රමාණය අඩුයි. .

පාර්ලිමේන්තුවට අපහාස කිරීම. මෙන්ම අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශන පළකිරීම ද අපරාධ වැරැදිවධියට හඳුන්වන්න පුළුවන් .

මැතිවරණ නීති ක්ෂේත්‍රය යටතේ  නීතිය සෘජුව හෝ වක්‍රව ක්‍රියාත්මක වෙනවා.මැතිවරණ පනත්වල ඇති අයුතු බලපෑම් යන කාරණය මත මෙය ක්‍රියාත්මක වෙනවා. .එහිදී සමාජ මාධ්‍ය තුළින් යම්කිසි පුද්ගලයකුට අයුතු බලපෑමක් සිදු වුවහොත්,  මැතිවරණ නීති යටතේ වරදක්  ලෙස සලකා කටයුතු කිරීමට මැතිවරණ කොමිෂන්  සභාවට බලය තිබෙනවා.. නමුත් එසේ සිදුකරන ලද අවස්ථාවන්ට අනුව දඬුවම් දීම් පිළිබඳව අත්දැකිම් නැහැ..නමුත් අයුතු බලපෑම් යන කාරණය අඩංගු වන පළකිරීම්, පසුගිය මැතිවරණයේදී මැතිවරණ කොමිසන් සභාව  මැදිහත් වී එවැනි අහිතකර තොරතුරු රැසක් ඉවත් කිරීමට  බලපෑම් කරා.

බුද්ධිමය දේපළ  නීති ක්ෂේත්‍රය යටතේ  අනුන්ගේ දේවල්, කතෘත්වය සමාජ මාධ්‍ය හරහා තමන්ගේ දෙයක් ලෙස ප්‍රචාරය කිරීමට නොහැකියි . මෙවැනි කාරණා නීති ක්ෂේත්‍ර කිහිපයකින්ම සමාජ මාධ්‍ය ට අදාළ ව ක්‍රියාත්මක වෙනවා.පළකරන්නන්  ,එය බෙදාහරින්නන්,ප්‍රතිචාර දක්වන්නන්  අපරාධ වරදකට ආධාර හෝ අනුබල දීම ද මෙයට අදාළ වෙනවා.

සමාජ මාධ්‍ය අවභාවිතය තුළ නීති කඩ කරන අයට  දඬුවම් ක්‍රියාත්මක වනවාද ?

අපරාධ නඩුවකදී අපරාධ වරදක් සම්බන්ධයෙන් පොලිසිය විසින් අධිකරණ නඩු පැවරීම මෙහිදී සිදු කරනවා.. එමෙන්ම දඩ සහ සිර දඬුවම් පැනවීම ද මෙහිදී කරන්න පුළුවන්

.සමාජ මාධ්‍ය අහිතකර භාවිතය  සම්බන්ධව ක්‍රියාත්මක වන නෛතික  පැතිකඩ කෙරෙහි ජනතාව තුළ පවතින දැනුවත්භාවය කෙබඳුද ?

මෙහිදී නීතිය පිළිබඳ සහ සමාජ මාධ්‍ය හැසිරවීම පිළිබඳව පවතින මිනිස්සුන්ගෙන් දැනුවත් භාවය  ඉතාමත් අඩුයි.ලංකාවේ බොහෝ දෙනෙක් බහුලව භාවිතා කරන මාධ්‍යයක් ලෙස මුහුණු පොත( Facebook  ) හඳුනාගත හැකි අතර ඇතැම් පිරිසක් එය තමන්ගේ පෞද්ගලික දෑ සටහන් කරනු ලබන පොතක් (Notebook ) ලෙසද භාවිතා කරනවා .ඕනෑම කෙනෙක් යම් පණිවිඩයක් මුහුණු පොතේ පළකිරීමෙන් ඇනතුරුව එය මකා දැමුවද එම කර්තව්‍යය එතනින් ඉවර යැයි සිතිය නොහැකියි .එහිදී ඒ තුළින්  නැවත සිදුවන කටයුතු පිළිබඳව යම්කිසි අවබෝධයක්, දැනුමක්, දැනුවත් භාවයක්  නොමැති වීම හේතු කොටගෙන විවිධ අහිතකර තත්ත්ව රැසක් වර්තමානය වන විට පැන නැගීමට හේතු  වෙලා තිබෙනවා.  .මේ  සම්බන්ධව පවතින නීති  සහ එම නීති ක්‍රියාත්මක වීම පිළිබඳව ද මිනිසුන් තුළ පවතින දැනුවත් භාවය ඉතාමත් අල්පයි.එය ඉතා බරපතළ තත්ත්වයක්. මෙවැනි වාතාවරණයක් තුළ ජනතාව සමාජ මාධ්‍ය  භාවිතය සහ එම නීති කඩ කිරීමෙන් ක්‍රියාත්මක කරනු ලබන නෛතික පැතිකඩ පිළිබඳ ජනතාව තුළ නිසි දැනුවත්භාවයක් පැවතිය යුතුමයි..

සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව ක්‍රියාත්මක වන නීති හා සම්බන්ධව ඔබ දරන අදහස කුමක්ද ?

සමාජ මාධ්‍ය සම්බන්ධව නීතිරීති වෙනම  පැනවීමේ   උත්සාහයන් සමහරක් වෙලාවට රජය විසින් දරනවා. එහිදී ලෝකයේ සමාජ මාධ්‍යවල පළ කිරීම සම්බන්ධයෙන් ඒ ඒ රටවල් තුළ ක්‍රියාත්මක වන නීති හා එම නීති ක්‍රියාත්ම වන ආකාරය   පිළිබඳ  අවධානය යොමු කිරීමේදී ලංකාව වැනි රටවල් ප්‍රධාන වශයෙන්, සෘජුවම පරිශීලකයන් අරමුණු කරගෙන නීති සැකසීම  සිදුකර තිබෙනවා. .ඇතැම් රටවල් තුළ  මෙයට අදාළව සමාජ මාධ්‍ය වේදිකාවන්ට(social media platforms ) වගකීම් පැවරෙන ආකාරයේ නීති සැකසූ තත්වයන් හඳුනාගත හැකි අතර  නමුත් එසේ වන විට එම වගකීම් පැවරීම භාර ගැනීම සඳහා එම සමාජ මාධ්‍ය වේදිකා අකමැති විය හැකියයි.  . එවැනි අවස්ථාවක ඔවුන්ට ගත හැකි විකල්පය ලෙස එම රටේ පවතින සමාජ මාධ්‍ය ආවරණය  ඉවත් කිරීමට කටයුතු කළ හැකියි.. ලංකාව වැනි රටක පරිශීලකයන්ගේ ප්‍රමාණය පිළිබඳ  සැලකිලිමත් වීමේදී ලෝකයේ සෙසු රටවල් සමග පුළුල් නොවන අතර එහිදී වගකීමේ ප්‍රමාණය , මූල්‍ය වශයෙන් අවාසි වුවහොත්, පමණක් අවස්ථාවල පරිශීලකයන්ගේ සමාජ මාධ්‍ය වේදීකාවන්  අපේ රට අතහැර යාමට ඉඩකඩ වැඩියි.එවැනි තර්ජනයක් පාකිස්තානය සම්බන්ධයෙන් ඔවුන් සිදු කරතිබෙනවා..එනම් පාකිස්තානය මඟින් වරක් නීතියක් ක්‍රියාත්මක කරනු ලැබුවා.නමුත් දැනට එය ක්‍රියාත්මක වීම අත්හිටුවා තිබෙනවා.ආසියානු අන්තර්ජාල ඒකමුතුව ( Asia Internet Collation)  විසින් එහි අගමැතිවරයාට ලියන ලද ලිපියක ප්‍රතිඵලයක් ලෙස ඔවුන් එම නීතිය සංශෝධනය නොකරත් නීතිය ක්‍රියාත්මක වීම මේ වන විටත් අත්හිටුවලා .එම නිසා වේදිකා අරමුණු කොටගෙන නීති පැනවීම කාරණය කොතරම් දුරට  ලංකාව වැනි රටක් විසින් කිරීමට හැකිද යන්න  කාරණාව පිළිබඳ තවදුරටත් සිතිය යුතුයි .

මම දකින විදියට මෙවැනි වාතාවරණයක් තුළ ස්වයං නියාමනය (self regulation  )සෑම පුද්ගලයකු තුළම ඇති කර ගත යුතුයි. විශේෂයෙන් සමාජ මාධ්‍ය වේදිකාවන් තුළ  ක්ෂණිකව ප්‍රතිචාර  දැක්වීමේදී,එම ප්‍රතිචාර සම්බන්ධව පටහැනිව පළ කරන දෑ සම්බන්ධව හා ඒවාට සම්බන්ධයෙන් සිදු කරන report  කිරීම් පිළිබඳ මීට වඩා වේගයෙන් ප්‍රතිචාර දැක්වීමට කටයුතු කිරීමට පියවර ගන්නවා නම් බොහෝ අවස්ථාවල  මෙම හානිකර තත්වයන් අවම කර ගැනීමට හැකියි..රජයට මැදිහත් වීමට  සිදුවන්නේ ජනතාවගෙන්  එල්ල වෙන පීඩනය සමගින්. එහිදී එම පීඩනය  අඩු කිරීම සඳහා සමාජ  මාධ්‍ය වේදිකාවන් කටයුතු කරනවානම් බොහෝදුරට රජයට මේ සම්බන්ධව මැදිහත්වීමක අවශ්‍යතාවක් පැන නගින්නේ නෑ.එහිදී එලෙස රජය මැදිහත් වීමකින් තොරව මෙම තත්ත්වය පිළිබඳ මිනිසුන් සැලකිලිමත් වනවා නම් ඉතා වටිනවා  .මොකද අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ද එමඟින්  සුරක්ෂිත වන නිසා .අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට තව කෙනෙකුට හානී කිරීම දක්වා දිගු වන්නේ නැහැ.එනම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය න්‍යායාත්මකව ගත් කල එම අයිතිය සීමාව හා එක මූලධර්මයන්  හානිකර මූලධර්මය (harmful principal ) ලෙස  හඳුනාගත හැකියි.  .නමුත් රජය මේ කටයුතු සඳහා  නීති  පනවන්නට කටයුතු කරන අවස්ථාවන්හි නීති පැනවීම  හා නීති ක්‍රියාත්මක වීම දේශපාලන ස්වරූපයක් විය හැකියි.  එවැනි අවස්ථාවක  අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා විය හැකියි. ඇතැම් විට රජයට  තෝරාගත් පුද්ගලයන් සහ තෝරාගත් සමාජ ජලා විෂයෙහි පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමට රජයට හැකියි.  එවැනි තත්ත්වයන් ලෝකයේ  බොහෝ අවස්ථාවල වාර්තා වෙනවා.

ICCPR  පනතේ 3(1) වගන්තිය  යටතේ අත්අඩංගුවට ගැනීමේ දී පොලිසිය  ක්‍රියාකරන ආකාරය විනිවිද නොවන බවට චෝදනා ඒල්ල වෙනවා.  මේ නිසා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් එම අත් අඩංගුවට ගැනීම් පිළිබඳ ව 2019 දෙසැම්බර් මාසයේදී පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට ඒ් පිළිබදව නිර්දේශ පවා නිකුත් කළා.

මෙවැනි වාතාවරණයක් තුළ සැබැවින්ම රජයක් විසින් මෙම තත්ත්වයට අවතීර්ණ වනවාට වඩා කර්මාන්ත හා පරිශීලකයන් විසින්  යම් විනයක් ඇතිව ක්‍රියාත්මක වනවා නම් මෙම අහිතකර තත්ත්ව පාලනය කිරීම සඳහා ගත ගත හැකි හොඳම විසඳුම ලෙස මම දකිනවා  .එවිට මෙවැනි ක්‍රියාමාර්ග පාලනය සඳහා විශේෂයෙන් නීති පැනවීම හා ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන්නේ නැහැ.

සංජානා තන්ත්‍රීගේ

කැලණිය විශ්වවිද්‍යාලය