ක්‍රීඩාව වූ කලී නීතිරීති මාලාවක් මගින් පාලනය කරනු ලබන බොහෝ විට තරඟකාරී ලෙස නිරත වන ක්‍රියාකාරකම්ය. යමකු ක්‍රීඩාවේ නිරත වන්නේ නම් ධෛර්යය, ආත්ම ශක්තිය, ඉවසීම, නායකත්වය, වැනි ගුණාංග ප්‍රගුණ කරයි. ක්‍රීඩාව තුළින් සාමාන්‍ය ජීවිතය ගත කරන ඕනෑම පුද්ගලයකුට කායික නිරෝගී බව මෙන්ම මානසික වර්ධනයද ඇති කරනු ලබයි. එබැවින් ක්‍රීඩාව වැළඳගත් පිරිස බොහෝ ය.

ක්‍රීඩාව සමග ගනුදෙනු කරන සියල්ලෝම සැහැල්ලුවෙන් සතුටින් ජීවිතය ගෙවයි. ක්‍රීඩාව යනු ඇදිය යුතු ධර්මතාවක් මිස පැළඳිය යුතු පදක්කමක් නොවේ යැයි ප්‍රකට කියමනක් ඇත. එබැවින් ක්‍රීඩාව යනු ජය, පරාජය, සතුට, කඳුළ මුසු වූ සුන්දර අත්දැකීම්වල එකතුවකි. ක්‍රීඩා කරනුයේ දිනන්නටම පමණක් නොවේ. ක්‍රීඩාව තුළින් ලැබෙන කායික මානසික නිරෝගී බව කෙනකුගේ නිරෝගීතාවය කෙරෙහි අතිශයින්ම  බලපායි.   මනසෙහි ඇතිවන ප්‍රසන්න බව මිනිසාගේ දෛනික කටයුතු කරගෙන යාමට රුකුලක් වෙයි. ක්‍රීඩාවේදී මානසික ඒකාග්‍රතාවයක් තිබිය යුතුවා මෙන්ම ධෛර්ය ආත්ම ශක්තිය හා ඉවසීම ද ඒ හා පුරුදු පුහුණු වීමට  අවස්ථාව සැලසෙයි.

ක්‍රීඩාව තුළ නිරත වන්නා ජයග්‍රහණයේදී උද්යෝගීමත් වන අතර පරාජයදී කම්පා නොවෙයි. සියල්ල සම සිතින් දරා ගනී. පරාජිතයා ගැරහීමට ලක් නො කරයි. ජයග්‍රහණය තෙක් කැපවෙයි.

ක්‍රීඩාවේදී ලබා ගන්නා මෙවැනි අත්දැකීම් සාමාන්‍ය ජීවිතයේදී ප්‍රගුණ වීමෙන් මහා පෞරුෂයකින් යුතු යහපත් පුරවැසියන් පිරිසක් බිහි වීමට හේතු වේ. වැසියන් අතර ක්ෂණික කෝපය, ඊර්ෂ්‍යාව, වැනි සමාජයට හානි වන, ආකල්ප ඇති නොවෙයි. මෙවැනි පුද්ගල කණ්ඩායමක් සමාජයට එකතු වීම රටට ආදර්ශයකි.

අතීත සමාජයේ සාමූහික ක්‍රියාකාරිත්වය සමඟ බැඳුණු ජන ක්‍රීඩා රැසක්  අදටත් පවතී. ඒ අනුව ශ්‍රී ලංකාව ගත් විට කෘෂිකාර්මික ජන ජීවිතය සමඟ බැඳුණු සාමූහිකත්වය පදනම් කරගත් ජන ක්‍රීඩාද නිර්මාණය වී පවතී. ජන ක්‍රීඩා මඟින් ද ඒ ඒ සමාජවල පොදු ජනයාගේ ආර්ථික හා සමාජ ජීවිතය නිරූපණය වේ. ජන ක්‍රීඩාවල විශේෂත්වයක් වන්නේ පොදු ජනයාගේ විවේකය විනෝදය හා සාමූහික සතුටු වෙනුවෙන් ඒවා නිර්මාණය වී තිබීමයි. ජන ක්‍රීඩා මගින් ජන සමාජය අරමුණු කිහිපයක් ඉටු කරගෙන ඇත .

ක්‍රීඩා කිරීම ඕනෑම පුද්ගලයකුගේ ජීවිතයට අත්‍යවශ්‍ය මූලික දෙයකි. ළමුන් සම්බන්ධයෙන් ගත් කළ ඔවුන් කුඩා කල සිටම ක්‍රීඩාවට ඇති මෙම ඇල්ම ඔවුන් තුළ ඇති කළ යුතු අතර එය ශාරීරික හා මානසික දෘෂ්ටිකෝණයකින් ඔවුන් වෙත ගෙන දෙන විශාල ප්‍රතිලාභයකි. ළමුන් තුළ ක්‍රීඩාව මිත්‍රත්වයේ සහ සහයෝගීත්වය හැඟීම් ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ. දරුවන්ගේ ජීවිතයට පළමු වසරවල ක්‍රීඩාව අත්‍යවශ්‍ය දෙයකි. ඒ අනුව ක්‍රීඩාව ශාරීරික හා මානසික සෞඛ්‍යයට ඉවහල් වන්නා සේම සොබාදහම සහ පරිසරය සමග සම්බන්ධ වී ඇත. යහපත් ආකල්ප සහ නිරෝගිමත්  අනාගත පරපුරක් උදෙසා ක්‍රීඩාව වැළද ගැනීම අපි සැමගේම වහකීමකි. එබැවින් හැකි සෑම අවස්ථාවකම ක්‍රීඩාවක් වැළද ගැනීමට හැකි නම් එය ජීවිත අර්ථවත් කිරීමට අස්වැසිල්ලක් වේ.

 එස්. ඒ.එස්. දිල්හානි සෙනවිරත්න

ජන සන්නිවේදන අධ්‍යයන අංශය