කාන්තාව යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරා ගැනීමේ සංකේතයයි. ගැහැණු දරුවෙකු ලෙස මෙලොව එළිය දුටු දිනයේ සිටම කාන්තාවන් විසින් විඳ දරා ගන්නා දෑ ඔබට අමුතුවෙන් පෙන්වා දීමට අවශ්‍ය නැත. එම කාන්තාවට සමාජයේ හිමි විය යුතු ගෞරවය එලෙසම ලබා දෙන බහුතරයක් දෙනා අතරේ එසේ නොකරන සුළුතරයක් අප අතරේ නැතුවාම නොවේ. විශේෂයෙන් මෙහිදී ඔබ ගෞරවය යන්න වරදවා නිර්වචනය කර නොගත යුතුයි.කාන්තාවට හිමි විය යුතු ගෞරවය යනු දුටු තැන අචාර කිරීමක්, අසුනෙන් නැගිටීමක් හෝ හිස නැමීමක් නොවන බව ඔබ හොඳින් වටහා ගත යුතු වේ. සමාජයේ පුරුෂ පාර්ශවයට හිමි සම ස්ථානය හා අයිතිවාසිකම් කාන්තාවටද ලබා දීම ඇයට හිමි විය යුතු ගෞරවයයි.

උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට කාන්තාව විසින් පසු කර යා යුතු මග එතරම් සුමට නැත. කාන්තාවට අධ්‍යාපන අයිතිවාසිකමක් හිමි වීමට  තරම් සමාජ මතය වෙනස් වීම සතුටට කාරණයකි පාසැල් අධ්‍යාපනය සාර්ථකව අවසන් කොට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වන ගැහැණු දරුවා උපාධිය සිය දෑතට ගන්නා තුරු මුහුණ දෙන අභියෝග අනන්තය.අප්‍රමාණය. විශ්වවිද්‍යාල ජීවිතය ගැහැණු දරුවෙකුට කෙතරම් සුන්දර අත්දැකීමක් වනවාද යන්න ප්‍රශ්නාර්ථයකි. ජීවිතය උස් පහත් බිම් පසු කරන හැළ හැප්පීම් වලින් පිරි එකක් බව සැබෑවකි. නමුත් ගැහැණු දරුවෙකු මේ සමාජයේ ජිවත් වීමේදී පුරුෂ පාර්ශවයට සාපේක්ෂව අනේක දුක් ගැහැට ප්‍රමාණයකට මුහුණ දෙන බව නොරහසකි. ඒ සියල්ලක්ම අභිබවා යමින් කාන්තාව සිය අරමුණු වලට ළඟා වන අයුරු අපුර්වත්වය ජනිත කරවයි.

වත්මන් සමාජයේ කාන්තාව අධ්‍යාපනය සිය වටිනාම ආභරණය බවට පත් කරගෙන හමාරය. කාන්තාව ඉපදී ඇත්තේ කුස්සි අම්මා කෙනෙක් වීමටයි යන්නෙන් හංවඩු ගැසූ සමාජයෙන් මිදී ඇයටද නිසි අධ්‍යාපනයක් ලැබීමට ඉඩ ප්‍රස්ථාව ලැබී ඇත. කාන්තාවක් ස්ත්‍රීත්වය හමුවේ ජීව විද්‍යාත්මකව මුහුණ දෙන අභියෝග සියල්ලක්ම  විඳ දරා ගනිමින් ඒවා ජය ගනියි. සමාජයෙන් ඇයට එල්ල වන පීඩනය සිය ශක්තිය කරගනිමින් ස්වාධීනව නැඟී සිටීම වෙනුවෙන් කාන්තාව සිදු කරන්නා වූ අරගලය පුදුමාකාරය.ශක්තිමත් අධ්‍යාපනික පදනමක් සහිත කාන්තාව ඕනෑම අභියෝගයක් හමුවේ  ඉන්ද්‍රකීලයක් මෙන් නොසැලී සිටියි.  කාන්තාව යනු තම වයසට වැඩියෙන් යමක් ඉගෙනීමට උත්සහ කරන මියැදෙන තුරුම ඉගෙනීම නොනවත්වන චරිතයකි. ඇය නිරන්තරයෙන් යමක් අසා, දැක ඉගෙනීමට ප්‍රිය කරයි. ඇය පොතේ පතේ දැනුම පමණක් නොව  ප්‍රායෝගික දැනුම් ගබඩාවකි. ඇයට කළ නොහැක්කක් නොමැත. මොහොතක් සිතා බලන්න. කාන්තාව නොමැති තැන පැවැත්මක් තිබිය හැකිද ?

ඉගෙනීමේ අභාරණය පැළදී සැනින් කාන්තාවකගේ ජිවිතයේ අභියෝග, දුක් ගැහැට නිමා වී ජීවිතය සුසිනිඳු මල් යහනාවක් වන්නේ නැත. සාර්ථකව උසස් අධ්‍යාපනය නිමා කොට හොඳ රැකියාවක නිරත වීම ඕනෑම ගැහැණු දරුවෙකුගේ සිහිනයයි. නමුත් ඒ සිහිනය පහසුවෙන් සැබෑ කරගැනීමට හැකියාව වාසනාව ලැබෙන්නේ අතළොස්සකට පමණි. ඒ මන්ද යත් විටෙක සිය සමීපතමයන් තමන් රැකියාවක නියුතු වීම සම්බන්දයෙන් අසතුටුදායක විය හැක.නැතහොත් විටෙක තමාගේ සුදුසුකම් වලට සරිලන රැකියාවක් සෙවීමේදී කාන්තාවක් වීම නිසා මුහුණ දීමට සිදු වන කරදර මෙයට හේතු විය හැක. මෙවැනි හේතු කාරණා රාශියක් නිසාවෙන් කාලාන්තරයක් තිස්සේ මැවූ සිහින කෙටි කාලයකින් බොඳ වී යා හැක. රැකියා සිහිනය සැබෑ කරගත් කාන්තාවකගේ ජීවිතය පෙර පැවැතියාටත් වැඩියෙන් අභියෝගාත්මකය.ඒ විවාහය, සැමියා, දරු මල්ලන්, දෙමාපියන්  යන ජිවිත ඉනිම ඇයට ක්‍රීඩා කිරීමට සිදු වන බැවිනි. පිටතින් පෙනෙන තරම් කාන්තාව ලඳ බොළඳ සියුමැලි නොවේ. ඇය ඕනෑම තත්වයකට සුමටව මුහුණ දීමට හැකියාව ඇති තැනැත්තියකි. දහසක් රාජකාරී, අභියෝග  මැද්දේ ඇය සිය පවුල් ජීවිතය සාර්ථව ඉදිරියට ගෙන යන්නේ ඉතා සුක්ෂමවය. විටෙක ඇය දියණියකි. බිරිඳකි. මවකි. පියෙකි. තවත් විටෙක ඇය කළමනාකාරිනියකි. ඇයට පණ පෙවිය නොහැකි චරිතයක් මිහිපිට නොමැති තරම්ය. එවැනි ස්ත්‍රියකට සමාජයෙන් ගෞරවය හා පුරුෂ සම අයිතිවාසිකම්  ලැබීම කැප නොවේද?

කාන්තාවකගේ වටිනාකම අවබෝධ කරගත යුත්තේ, ගෞරව කළ යුත්තේ  පුරුෂ පාර්ශවය පමණක්ද යන්න සාකච්ඡාවට බඳුන් විය යුතු කරුණකි. නැත.සමාජයේ ජිවත් වන පුද්ගලයෙකු වශයෙන් කාන්තාවට හිමි විය යුතු ගෞරවය, වටිනාකම පුරුෂ හා කාන්තා දෙපාර්ශවයෙන්ම හිමි විය යුත්තකි.කාන්තාව විසින්ම තවත් කාන්තාවකට හිමි ගෞරවය, වටිනාකම ලබා නොදෙන්නේනම් තව දුරටත් පුරුෂ සම අයිතිවාසිකම් ඉල්ලීමෙන් ඵලක් නැත. එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට ඇනකොටා ගැනීම්, කැපිලි කෙටිලිද කාන්තාවන් අතර නැත්තේ නැත. ඔබ කාන්තවක්නම් ඔබට අවැසි ගෞරවය පෙරළා  ලැබීමට අනෙක් කාන්තාවන්ටද එසේ සැලකීමට හුරුවන්න.  ඔබට හිමි ගෞරවය, වටිනාකම තම ජිවිතයට ළඟා කරගැනීමට හැකි වන අයුරින් ජිවත් වන්න. හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න. සියුමැලි ස්ත්‍රීත්වයට වියැකෙන්නට ඉඩ නොදී ශක්තිමත් පෞරුෂත්වයක් ගොඩනඟා ගන්න. මනුසත්කම අගයන්න. ආදරය වපුරන්න. එකිනෙකාට ගරු කරන්න. ලෝක කාන්තා දිනයේදී, එනම් මාර්තු 8 වන අද දින කාන්තා ඔබට ගෙන එන සදාදරණිය ගෞරවනීය පණිවුඩය මෙයයි.

එම්.කේ.ටි නවාංජනා

මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය

විශේෂවේදී පළමු වසර

ජනසන්නිවේදන අධ්‍යයනාංශය

සමාජීයවිද්‍යා පීඨය