ගැහැණිය මෙලොව අපූරුතම නිමැවුම් අතර ඉහළින්ම සිටී. ඈ විටෙක ආදරයෙන් පිපෙයි. ආදරයෙන් සුවඳවත් වෙයි. ආදරයෙන් පැහැගැන් වෙයි. ආදරේ නාමයෙන් පරව යයි. එසේම කාන්තාවක් ලොව ජීවනාලිය බඳුය. ලෝකයට ජීවය දෙන්නිය, ලෝකය හැඩ කරන්නිය, ලෝකය සුන්දර කරන්නිය වන්නේ ඇයයි. දියණියක,මිතුරියක, සහෝදරියක, බිරිඳක, මවක ලෙස ඇය ලබා දෙන්නාවූ සේවය මිල කළ නොහැකිය. මෙවැනි සුවහසක් කාන්තාවන් වෙනුවෙන් පිදෙන උපහාරයක් ලෙස ජාත්‍යන්තර  කාන්තා දිනය සමරනු ලැබෙයි. සියවසකට අධික කාලයක් පුරා ලොව පුරා  වෙසෙන ජනතාව සෑම වසරකම මාර්තු 08 වනදා ලෝක කාන්තා දිනය සමරනු ලබයි. මෙම වසරෙහි එහි තේමාව වන්නේ “තිරසාර හෙට දිනක් වෙනුවෙන් අද දවසේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව” යන්නයි. එක්සත් ජාතීන්ගේ පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය වර්ධනය වූයේ කම්කරු ව්‍යාපාරයක් හරහාය.

1908 වර්ෂයේ කාන්තාවන් 15,000 ක් පමණ තමන්ගේ සේවා කාලයේ පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුපක් ලබාදෙන ලෙසටත්, තමන්ට ඡන්ද අයිතිය ලබාදෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝක් නගරයේ පැවැත්වූ පාගමනක් මේ සඳහා පදනම සැපයීය. ඉන් වසරකට පසු පළමු ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇමරිකානු සමාජවාදී පක්ෂය විසිනි. නමුත් මෙය ජාත්‍යන්තර දිනයක් බවට පත් වූයේ 1910 දී කෝපන්හේගන්හි පැවති වැඩකරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී ක්ලාරා සෙට්නික් මහත්මිය මෙම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත් කළ යුතු බවට ඉදිරිපත් කළ යෝජනාව අනුවය. රටවල් 17ක කාන්තාවන් 100 දෙනෙකු සහභාගී වූ එම සමුළුවෙහි ඒකමතිකව ස්ථීර වූ එම යෝජනාව 1911 වසරේදී ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය හා ස්විස්ටර්ලන්තය යන රටවල් වලදී පළමුව සැමරිණි. 

මේ වසරේදී පැවැත්වෙන්නේ 111 වන ජාත්‍යන්තර කාන්තා දිනයයි. මෙම කාන්තා දින සැමරීමේ ප්‍රධාන අරමුණ බවට පත් වූයේ ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැති සමාන ලෝකයක් වෙනුවෙන් ක්‍රියා කිරීමයි. ගෝලීය වශයෙන් කාන්තාව මුහුණ දෙන අභියෝග වලට විසඳුම් ලබා ගැනීමයි. සැබැවින්ම කාන්තා දිනයක අවශ්‍යතාව කෙබඳුද? මෙය බොහෝ දෙනෙකු තුළ මතුවන සම්ප්‍රදායික පැනයකි. ඕනෑම දෙයකට නිශ්චිත දිනයක් වෙන් කිරීම අවශ්‍යද? පෙම්වතුන් වෙනුවෙන් පෙම්වතුන්ගේ දිනයකුත්, කම්කරුවන් වෙනුවෙන් කම්කරු දිනයකුත් ලෙසින් එක් දිනක් වෙන් කිරීම ප්‍රමාණවත්ද ? මෙය ලෝකයේ බොහෝ ජාත්‍යන්තර දිනයන්හි සුලබව නැඟෙන පැනයකි. සැබැවින්ම මෙකී ඕනෑම ජාත්‍යන්තර දිනයක් වෙන් වන්නේ එම අදාළ ක්ෂේත්‍රයන්ගේ ලෝක මට්ටමින් ලබා ඇති ජයග්‍රහණ සිහි කිරීමටය. එබැවින් ඒවා සැමරුම් දිනයන් වේ. එමඟින් එම දිනයන්ගේ පමණක් අදාළ දෑ සුරැකීම හෝ ඒ වෙනුවෙන් යම් යම් දෑ කතිකාවට ගොඩනැඟිය යුතුය යන හුදු මතයට අප ලඝු නොවිය යුතුය.

ෆෙඩ්රික් එංල්ස්ගේ ‘පවුල, පෞද්ගලික දේපල හා රජය ඇති වූ සැටි’ යන කෘතියේ දැක්වෙන පරිදි කාන්තාව වනචාරී ජීවන රටාවේ පටන් උසස් සමාජ අවධීන් තුළත් ස්වාධීනත්වය හා උසස් ගෞරවණීය  ස්ථානයක් හොඹවා ඇත. මොහෙන්ජොදාරෝ, හරප්පා වැනි ශිෂ්ටාචාරයන් මාතෘ මූලික සමාජයන් විය.  නමුත් බටහිර වැඩවසම් ක්‍රමයත්, පෙරදිග පැවති බ්‍රාහ්මණ මතවාදත් සමඟ සෑම සමාජ රටාවක් තුළ කාන්තාව පැවති එකී නිදහස ගිලිහී ගියේය. පුරුෂාධිපත්‍යයයෙන් යුතු සමාජ රටාවක් බිහි වීම ස්ත්‍රී වර්ගයාම පොදුවේ ලබා ගත් පරාජයක් විය. මේ තත්ත්වය ලාංකේය ඉතිහාසය තුළත් නොඅඩුව දක්නට ලැබුනද බුදු දහමින් ලද පෝෂණය මත එය බෙහෙවින්  පාලනය වූ බව පෙනේ. නමුත් වර්තමානය වන විට මෙහි තත්ත්වය හාත්පසින් වෙනස් වී ඇති බව පෙනේ. සංස්කෘතිය, සභ්‍යත්වය විකෘති වෙමින් පවතින කලෙක කාන්තා නිදහස, අයිතිවාසිකම් පිළිබඳව කතා කිරීමට හෝ බොහෝ දෙනෙකු බිය වේ. මේ නිසාම සම්ප්‍රදායිකව කාන්තාවකට එල්ල වන අභියෝගයන්ට ඇති ප්‍රවණතාවන්ද රාශියකි.

දියණියක,මිතුරියක, සහෝදරියක, බිරිඳක, මවක ලෙස කාන්තාව සමාජයේ විවිධ භූමිකාවන්හි කටයුතු කරයි. විශේෂයෙන්ම විවාහ වීමෙන් පසුව බිරිඳක්, මවක් ලෙස ඇයගෙන් සිදුවන සේවය අපරිමිතය. ස්වාමියා වෙනුවෙන් සිය දෙමාපියන්, නෑදෑයන්ගෙන් වෙන්ව යන ඇය සිය නමෙහි පටන් බොහෝ දෑ පිරිමියෙකු වෙනුවෙන් කැප කරයි. දෛනිකව ඉවුම් පිහුම්, නිවස පිරිසිදු කිරීම්, දෙමාපියන් රැක බලා ගැනීම, දරුවන් ඇති දැඩි කිරීමත් සමඟ සියලු පවුල් සබඳතා පවත්වා ගෙන යාමේ අඩිතාලම බවට පත් වෙයි. ගැහැණිය සතුව පවතින දරා  ගැනීමේ ශක්තිය ජීව විද්‍යාත්මකව මෙන්ම ඇය වෙත පැවරී ඇති මෙම කාර්යයභාරය අනුවද වඩාත් ප්‍රකට වේ. එසේම පැරණි සමාජ ආකල්ප සමඟ සසදන විට වර්තමාන කාන්තාව පිරිමින් සමඟ කරට කර සිටිමින් සමාජ සංවර්ධනයෙහිලා මහඟු දායකත්වයක් සපයන පිරිසක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. සම්ප්‍රදායිකව ගැහැණිය සීමා කොට තිබූ රාමුව තුළ ඇයට පැවරී තිබූ කාර්යයන් සම්භාරයද නොපිරිහෙලා ඉටු කරන අතරම විවිධ මට්ටමේ රැකියාවන්හිද නිරත වෙමින් තම පවුලේ අනාගත දියුණුව වෙනුවෙන් මෙන්ම පොදුවේ රටේ සංවර්ධනය උදෙසාද අනගිභවනීය මෙහෙවරක් ඉටුකරමින් සිටී. එනිසාම කාන්තාව යනු මුළු විශ්වයටම අත්තිවාරමක් වැනිය.

කාන්තාව නිතැතින්ම සම්ප්‍රදායික රාමුව තුළ සිරවී නොසිට විධිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට, ශක්තිමත් වෘත්තීය ජීවිතයක් ළඟාකරගැනීමට, ස්වාධීන ආදායම් මාර්ගයක් ලබා ගැනීමට සමත් විය යුතුය. ඒ අතරතුර කාන්තාවකගෙන් ඉටු විය යුතු යුතුකම් හා වගකීම්ද අතපසු නොකර ඉටු කිරීමට මනා සැලසුම්කරණයකින්, සමබරතාවකින් යුක්ත විය යුතුය. වයසත් සමඟ තමන්ට තමන්ව මඟ හැරීමට නොදී සම්පූර්ණවූත් ප්‍රීතිමත්වූත් දිවියක් ගත කිරීමට තරම් දක්ෂ විය යුතුය. බුද්ධිමත් විය යුතුය. වර්තමාන සමාජ රටාව අනුව කාන්තාව තුළින් එතරම් ශක්තිමත් අනුවර්තනයක් බලාපොරොත්තු වීමට අපට සිදුව තිබේ. නමුත් සැබවින්ම කාන්තාවන්ගේ අයිතිවාසිකම්, කාන්තා නිදහස, කාන්තා හිංසනය පිළිබඳව නිසි අවධානයට යොමු කර ඇත්දැයි තවමත් විසදුම් නොමැති ගැටළුවකි.

බොහෝ ආසියාතික හා  මැදපෙරදිග රටවල කාන්තාවන්ගේ සම අයිතිවාසිකම්, කාන්තා නිදහස, හිංසනය පිළිබඳව යුරෝපීය රටවල් පවා නිරන්තර අවධානයට ලක්කර ඇති බව පෙනේ. තත්ත්වය එසේ වුවත් යුරෝපීය රටවල් තුළද කාන්තා නිදහස, සුරක්ෂිතභාවය මුළුමුනින් සහතික වී ඇති බව නොපෙනේ. ඉතාලිය වැනි රටක සෑම දින තුනකම එක් කාන්තාවක බැඟින් තම සැමියා හෝ පෙම්වතා අතින් මරණුවට පත්වේ. සෑම විනාඩි පහකටම වරක් එක් කාන්තාවක් ශාරීරිකව හෝ මානසිකව ලිංගික හිංසනයට ලක් වෙයි. එලෙස ජාත්‍යන්තර මට්ටමින් පවා බරපතල වෙද්දී කිසිඳු ක්ෂේත්‍රයකින් එයට නිසි පිළියම් නොයෙදීම අතිශයින් කණගාටුදායකය. ලාංකේය සමාජය තුළද කාන්තාව මුහුණ දෙන දුෂ්කරතා අප්‍රමාණය. අදටත් අර්ධ නාගරික හා ග්‍රාමීය සමාජ ස්ථරයන්හි සම්ප්‍රදාය කරපින්නා ගත් වැඩවසම් පිරිමින් ශේෂ වී සිටීම කණගාටුදායකය. කාන්තා හිංසනය මෑතක පටන් නිරන්තරයෙන් සමාජ කතිකාවන්ට හේතු වන්නේ ඒවායේ ප්‍රතිඵලයන් නිසාය. ගැහැණිය යම් සීමාවකට සිරකොට තබා ගැනීම හෝ සිරකොට තබා ගැනීමට උත්සහ කිරීම හෝ නොකළ යුතුය. සමාජය තුළ කාන්තා විමුක්තිය වෙනුවෙන් අරගල කොට නිවසේදී තමාගේ බිරිඳට, දියණියට පුරුෂවාදී නීති පද්ධති ක්‍රියාත්මක නොකළ යුතුය. කාන්තා අයිතිවාසිකම් මැතිවරණ කාල සීමාවන්හි පමණක් දේශපාලඥයින්ගේ ප්‍රබල මාතෘකාවක් නොවිය යුතුය. ඒවා සමාජය තුළ සර්ව සම්පූර්ණයෙන් ස්ථාපිත විය යුතුය. සමාජයේ උසස් තැන හෝ සම තැන දීමට වඩා ස්ත්‍රියට නිසි තැන ලබා දෙමින් ගරුත්වය හා නිදහස ලබා දිය යුතුය.එය නිවසින් ආරම්භ කළ යුත්තකි. එවිට සමස්ත ජාතියක්, රටක් ලෙසින්ම කාන්තාවට නිදහස භුක්ති විඳීමට මඟ සලසනු ඇත.

උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියන්නා සේ වසරකට එක් වරක් කාන්තා දිනයේදී පමණක් කාන්තාව පිළිබඳව හෝ ඇගේ අයිතිවාසිකම් පිළිබඳව අවධානයට යොමු නොකොට සෑම විටම කාන්තාවට ලැබිය යුතු ගෞරවය ලබා දිය යුතුය. මන්ද යත් ජිවිතයේ ස්වභාවික උල්පත වනුයේ කාන්තාවය. ඇය නොසිටින්නට ලොවම නිහඬ වී බොහෝ කල්ය. ඉඳින් ඔබ කාන්තාවට ආදරය කළ යුතුමය. ගෞරව කළ යුතුමය. අගය කළ යුතුමය. මන්ද කාන්තාවක් වීම පහසු නැත. ඉඳින් ලොවක් ගොඩනඟන්නට අත්තිවාරම වන්නේ කාන්තාව බව අප සැවොම සිහි තබා ගැනීම අගනේය.

බී.ලක්ෂිකා මදුශානි

විශේෂවේදී දෙවන වසර

වාග්විද්‍යා අධ්‍යයනාංශය

මානවශාස්ත්‍ර පීඨය