දහම් අධ්‍යාපනය යනු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳ අධ්‍යයනය කිරීම ය. මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් කරුණු අධ්‍යයනය කිරීම මෙන් ම ඒවා ජීවිතයට ළඟා කර ගනිමින් යහපත්, දැහැමි ජීවිතයක්  ගත කිරීමට ද දරුවා හුරු කිරීම දහම් අධ්‍යාපනය තුළින් සිදු වේ.  දහම් පාසල් තුළින් රටට සිදුවන සේවය මෙතකැයි කියා නිම කිරීම අපහසුය. එලෙසම මෙම දහම් අධ්‍යාපනය පුළුල් ලෙස ව්‍යාප්ත කිරීම සඳහා දහම් පාසල් ක්‍රමය ආරම්භ වී ඇත. ශ්‍රී ලංකාවේ පළමු දහම් පාසල ආරම්භ කරන ලද්දේ 1895  අගෝස්තු මස 03 වන දින ගාල්ල, වැලිවත්ත විජයාරාමයේදී ය. මේ සඳහා ඇමරිකන් ජාතික ඕල්කට්තුමා හා රුසියන් ජාතික බ්ලැවැට්ස්කි මැතිනිය ප්‍රධානත්වය ගන්නා ලදී.

එලෙසම  දහම් පාසල් ආරම්භයත් සමඟ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂ වෙනස්කම් කිහිපයක් ඇති විය. එනම් මෙතෙක් කාලයක් පාසල් අධ්‍යාපනය තුළින් දියුණු කළ දරුවාගේ මොළය මෙන් ම දහම් පාසල් අධ්‍යාපනය තුළින් දරුවාගේ හදවත දියුණු කිරීමට කටයුතු කරන ලදී. මෙහිදී මෙරට බොහොමයක් දහම් පාසල් පන්සල හා භික්ෂූන් වහන්සේලා ඇසුරෙහි පැවතීම ඉතා ගුණදායක ය.  දහම් පාසල්  මගින්  පාසලේ  බොදු දරුවන් තනනවා සේම මෙරට අධ්‍යාපනයේ තිබූ දැවැන්ත හිඩැසක් පුරවාලීය. බොහෝ දරුවන්ව පාසල් අධ්‍යාපනය තුළින් විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි වැනි විෂයන්වලින් පෝෂණය කරමින් ඔවුන් ව ඉදිරියටම තල්ලු කරද්දී එම පැතිකඩයන්ට දක්ෂතාවයක් නොමැති නමුත් නායකත්ව ගුණාංග හා අනෙකුත් කුසලතා ඇති දරුවන් දහම් පාසල මගින් ඉදිරියට ගෙන එන ලදී.බොහෝ දක්ෂ කථිකයන්, විවාදකරුවන්, කාව්‍යකරුවන් ආදීන් දහම් පාසල් තුළින් බිහිකර ඇත. දහම් පාසල් තුළ පවතින ශිෂ්‍ය සමිති ආදිය ඒ සඳහා අඩිතාලම දමා ඇත.

.පාසල් අධ්‍යාපනය මඟින් විවිධ විෂයන් පිළිබඳ දැනුමක් ඇති උගතුන් බිහි කරයි.පුද්ගලයකු විෂයන්ගෙන්  පමණක් උගත් වූ පමණින් ඔහු  හෝ ඇය සාර්ථක නැත. සමාජයට වින කරන, මාපියන්ට නොසලකන, අනුන්ට හිංසා කරන, මුදලට යටත් වී නොයෙකුත් අපරාධ කරන උගත් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතීඥවරුන් කොතෙකුත් අද සමාජයේ දක්නට ඇත. ඔවුන්ගේ රටට හා සමාජයට අයහපතක්ම මිස කිසිදු යහපතක් නැත.

එසේනම් අවශ්‍ය වන්නේ විවිධ විෂයන්ගෙන් බුද්ධිමත් දරු පිරිසකට වඩා උසස් හදවතක් ඇති දරු පිරිසකි. රටක් දියුණු කළ හැක්කේ ද එවැනි පිරිසක් සමගිනි. එවැනි පුද්ගලයන් රටට බිහි කිරීමේ මූලික වගකීම පැවරී ඇත්තේ ද දහම් අධ්‍යාපනයට ය.මාපියන්ට, වැඩිහිටියන්ට සලකන, දැහැමිව ධනය උපයන අන් අයට පීඩා නොකරන, තෙත හදවතක් ඇති පිරිසක් බිහි කරන්නේ දහම් අධ්‍යාපනය තුළිනි. එකී වගකිම දහම් පාසලට පැවරී ඇත.

නමුත් දහම් පාසල තුළින් පමණක් ම ගුණගරුක, යහපත් දරුවකු බිහි කිරීම කළ නොහැක. ගුණගරුක දරුවකු බිහි කිරීමේ ක්‍රියාවලියේ දී පාසල හා මාපියන් එහි කොටස්කරුවන් වන්නේ ය. ඔවුන්ට ද එහිදී ඉතා භාරදූර කාර්‍යභාරයක් පැවරී ඇත. මාපියන් බලු කූඩුවලට දමන දරුවන්, දරුවන් කුණු බක්කිවලට දමන මාපියන්, මිනීමරුවන්, අපරාධකරුවන් බොහොමයක් මෙලෙස බිහි වී ඇත්තේ ද , ළමා නිවාසයන් හා වැඩිහිටි නිවාසයන් බොහොමයක් ඉදි වී ඇත්තේ ද මෙම දහම් අධ්‍යාපනය නිසි ලෙස නොලැබීම නිසාවෙනි. දහම් පාසලක් විවෘත කිරීම මගින් හිර ගෙයක් වසා දැමිය හැකිය යනු‍වෙන් සමාජයේ මතයක් ඇති අතර එහි කිසියම් නිරවද්‍යතාවයක් ද ඇත. තවද එම ප්‍රකාශය තුළින් දහම් අධ්‍යාපනයේ වැදගත්කම නිරූපණය වේ.එනම් දහම් අධ්‍යාපනය නිසි ලෙස ලබන දරුවා සමාජයේ දුරාචාරයන්ට යොමු නොවේ.

නමුත් වත්මන් සමාජයේ  දහම් පාසල් අධ්‍යාපනයේ යම් පසුබෑමක් දක්නට ලැබේ. ඒ සඳහා බලපාන හේතු ගණනාවකි. ඒ අතරින් ප්‍රධාන කරුණක් වන්නේ දහම් පාසල් සඳහා නිසි අවධානයක් නොලැබීමයි.පවතින දහම් පාසල් දියුණු කිරීම හා ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම රජයේ වගකීමක් වන්නේ ය.නමුත් පවතින රජය මෙන් ම පැවති රජය  ද එම වගකීම නිසි ලෙස ඉටු නොකළ බවක් නම් නොපෙනේ. මේ නිසා මේ වන විට බොහෝ දහම් පාසල් වැහමෙින් පවතී.

තවද පාසල් අධ්‍යාපනයේ ඇති අධික තරගකාරීත්වය හා ඉරිදා දිනයේ උපකාරක පංති පැවැත්වීම ආදිය නිසා ද දහම් පාසල් අධ්‍යාපනය ද බිඳ වැටෙමින් පවතී.ඉරිදා දිනයේ ඇති උපකාරක පංති හේතුවෙන් මාපියන් දරුවන්ව ඒවාට යොමු කිරීම නිසා ද දරුවන්ගේ දහම් පාසල් පැමිණීමේ අඩුවක් මේ වන විට දක්නට ලැබේ. එම නිසා ඉරිදා දිනයේ  සියලුම උපකාරක පංති යෑම තහනම් කර දරුවන් දහම් පාසල් අධ්‍යාපනයට යොමු කළ යුතුය. තවද මේ වන විට මාපියන් අතර හා දහම් පාසල් අතර ද යම් තරගකාරීත්වයක් ඇති වී ඇත. ගමේ දහම් පාසල මඟ හැර ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන නගරයේ දහම් පාසලට දරුවන් යොමු කිරීමට කටයුතු කරයි. අතීතයේ එළි මහනේ, ගස් සෙවනක සිදු වූ දහම් අධ්‍යාපන ක්‍රමයක් තිබුණ ද මේ වන විට ඇතැමුන් උපරිම භෞතික සම්පත් හා සැප පහසුකම් ද සොයමින් ගමන් කරයි.

එලෙසම දහම් පාසල් තුළ මේ වන විට හොඳ, නරක, යහපත, අයහපත උගන්වනවාට වඩා මූලිකත්වය දී ඇත්තේ පෙළ පොත්වලට ය. එහිදී යම් විෂය කරුණු කිහිපයකින් සමන්විත විෂය නිර්දේෂයක් ආවරණය කිරීමට ගුරුවරුන් ද පෙලෙ‍ෙඹමින් සිටී.එම විෂය කරුණු සිසුවා විසින් ග්‍රහණය කර ගත්ත ද ඒවා එදිනෙදා ජීවිතයේ දී හා සමාජයේ දී ප්‍රායෝගිකව භාවිත කිරීම පිළිබඳ ඔවුන්ට අවබෝධයක් නැත. ඒ නිසාම විෂය කරුණු පමණක් ඉගැන්වීම ප්‍රමාණවත් නැත. ඒ තුළින් දහම් අධ්‍යාපනයේ පරමාර්ථ ද සඵල නොවේ. මේ නිසා දහම් අධ්‍යාපනය බිද වැටීමත්, දුරාචාරයන්ට යොමු වූ පුද්ගලයන් බිහි වීම වැඩි වීමත් සිදු වෙමින් පවතී.  එම තත්ත්වය වෙනස් කළ යුතුය. දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය,ධර්මාචාර්ය විභාගය ආදී විභාග පමණක්  අරමුණු කරගෙන  සිදුවන අධ්‍යාපන ක්‍රමය ද වෙනස් කළ යුතුය. ඒ තුළින් ඉතා හොඳ දහම් අධ්‍යාපනයක් නැවත රටේ ස්ථාපිත කර රටට වැඩදායී ගුණගරුක පුරවැසියන් බිහි කළ හැකි වනු ඇත.

 

මධුෂ ලක්ෂාන්

මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය (ගෞරව) 

පළමු වසර,

ජන සන්නිවේදන අධ්‍යයන අංශය,

 

සමාජ විද්‍යා පීඨය.